HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත සොයා ගැනීමක්! අවුරුදු මිලියන 46ක් පැරණි ආහාර වේලක් හමුවෙයි!

මීට වසර කෝටි හතරකටත් එපිට කාලයක දී, මධ්‍ය ඉයෝසීන යුගයේ (Middle Eocene) දී, ඩයිනොසෝරයකුගේ යැයි සිතිය හැකි සතකුගේ ලේ උරා බිව් මොහොතේ දී මියගිය මදුරු පොසිලයක් විද්‍යාඥයන්ට හමු වී තියෙනවා. මෙය අතිශයින් විස්මයජනක සොයා ගැනීමක් ලෙසයි සැලකෙන්නේ.

මේ පිළිබඳව පර්යේෂණය කරන විද්‍යාඥයන් මදුරුවා එදා උරා බිව් ආහාර වේල ගැන පිරික්සන්නට නව තාක්ෂණික ක‍්‍රමවේදයක් ද භාවිත කර තියෙනවා. කෘමීන් අනාදිමත් කාලයක සිට රුධිරය උරා බිව් බව ඔප්පු කරන්නට මෙය හොඳ අවස්ථාවක් වෙලා! ඔවුන් ඩයිනොසෝරයන්ගේ පවා ලේ උරා බී ඇති බව මෙයින් පැහැදිලි වෙනවා.

මෙසේ සොයා ගෙන ඇති ඒ මදුරුවා එදා ලේ උරා බිව් මොහොතේ ම සිදු වූ අනතුරක් නිසා පොතුගලක ශල්කයක් තුළ සිර වී මිය යන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

 
මේ පිළිබඳ පර්යේෂණයේ නියුතු විද්‍යාඥයන් මේ මදුරුවා එදා උරා බිව් ආහාර වේල ගැන පිරික්සන්නට නව තාක්ෂණික ක‍්‍රමවේදයක් ද භාවිත කර තියෙනවා. වසර මිලියන 46ක් පමණ එපිට යුගයේ පවා මදුරුවන් ලේ උරා බිව් බව මෙයින් ඔප්පු වෙනවා. ඉහළ ඡායාරූපයේ දක්වෙන්නේ ඒ මදුරුවා පොතුගල තුළ සිර වී සිටි අන්දමයි.

මේ මදුරු පොසිලය හමු වී ඇත්තේ ඇමරිකාවේ මොන්ටානා කඳුකරයෙන්. මේ කෘමියාගේ සිරුර මෙතරම් කාලයක් ගෙවීත් ඉතා සුරක්ෂිතව තිබීම විද්‍යාඥයන්ගේ විස්මයට හේතු වී තියෙනවා. ඔවුන් විශ්වාස කරන අන්දමට එසේ වීමට හේතුව සත්ව සිරුරු ඉක්මනින් දිරාපත් නොවන ශල්කයක්, එනම් මඩ ගල් විශේෂයක් තුළ එය හිර වී තිබීමයි. එසේ ම ඒ සිරුර තැන්පත් වූ මෘදු මඩ ද්‍රව්‍ය ඒ වටා දැවටී සිරුරට මොනම අන්දමින්වත් හානියක් නොවන පරිදි කෙමෙන් ඝන බවට පත් වීම නිසා මෙසේ වන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. ඒ තිරිඟු ඇටයක් තරම් ප‍්‍රමාණයේ ශල්ක කැබැල්ලක් තුළ ඒ මදුරුවාගේ හැම කොටසක් ම ඉතා සුරැකිව තියෙනවා. ඒක හරියට ආරක්ෂා වී ඇත්තේ පොතක පිටු අතර තද කොට රඳවා තබා ආරක්ෂා කළ වියළි මලක් පරිද්දෙනුයි.

ඇමරිකාවේ ස්මිත්සෝනියන් ජාතික ඉතිහාස කෞතුකාගාරයේ පර්යේෂණ කටයුතුවල නිරතව සිටින පොසිලජීව විද්‍යාඥ (paleobiologist) ආචාර්ය ඬේල් ගී‍්‍රන්වෝල්ට් (Dale Greenwalt) තමයි, මේ ඉතාමත් වැදගත් පර්යේෂණ කටයුත්තට නායකත්වය දීලා තියෙන්නෙ. ඔහු මේ මදුරුවාගේ ආමාශයේ ඇති ආහාර ගැන විශ්ලේෂණය කිරීම පිණිස අති නවීන තාක්ෂණික ක‍්‍රමවේදයක් යොදා ගෙන තියෙනවා. එයට කිසිදු අයුරකින් හානියක් නොවී එහි ඇති රසායනික අන්තර්ගතයේ සවිස්තරාත්මක වාර්තාවක් සකසා ගන්නට ඔහු යොදා ගත් ඒ ක‍්‍රමවේදය හැඳින්වෙන්නේ අවිනශ්‍ය ස්කන්ධ වර්ණාවලීමිතිය (non-destructive mass spectrometry) කියායි.

 
ආචාර්ය ඬේල් ගී‍්‍රන්වෝල්ට් මේ මදුරුවාගේ ආමාශයේ ඇති ආහාර ගැන විශ්ලේෂණය කිරීම පිණිස අවිනශ්‍ය ස්කන්ධ වර්ණාවලීමිතිය (non-destructive mass spectrometry) කියා නව තාක්ෂණික ක‍්‍රමවේදයක් යොදා ගෙන තියෙනවා. වසර මිලියන ගණනක් ඈත අතීතයේ සිටම මදුරුවන් ලේ උරා බිව් බව මේ පොසිලයෙන් ඔප්පු වෙනවා. මේ වන විට මදුරුවන්, මැක්කන්, මකුණන් ආදී කෘමි විශේෂ 14,000ක් වෙනත් සතුන්ගේ ලේ උරා බොනවා. ඡායාරූපයේ දැක්වෙන්නේ ලේ උරා බොන වර්මාන මදුරුවෙක්.

මේ පර්යේෂණයෙහිදී හෙළිදරවී ඇති කරුණු අනුව කෘමීන් වසර මිලියන ගණනක් ඈත අතීතයේ සිටම මෙසේ ලේ උරා බිව් බව සනාථවී තියෙනවා. අද වන විට මැක්කන්, මකුණන් ආදී කෘමි විශේෂ 14,000ක් වෙනත් මිනිසා ඇතුළු වෙනත් සතුන්ගේ ලේ උරා බොමින් ජීවත්වෙනවා. ඒ අතර දැන් අප අතර සිටින ලොකුම ලේ උරා බොන්නා වන මදුරුවාට සුවිශේෂ තැනක් හිමි වෙනවා. මෙසේ ආහාර ලබා ගන්නා ක‍්‍රමෝපාය විවිධ සතුන් අතර ස්වාධීනව පරිණාමයට පත් වූවක් වුවක්. එහෙත් මේ චර්යාව විදහාපාන පොසිල මෙතෙක් හමුවී තිබුණේ නෑ. ඒවා අති දුර්ලභ ලෙසයි සැලකෙන්නේ.

”මේ නව සොයා ගැනීම නිසා කෘමි පවුලේ රුධිරය ආහාරයට ගැනීම වසර මිලියන 46ක් තරම් පැරණි බව සනාථ වුණා.” යයි එංගලන්තයේ ලන්ඩන් ස්වාභාවික ඓතිහාසික කෞතුකාගාරයේ පර්යේෂකයකු වූ ආචාර්ය රැල්ෆ් හාබාක් (Ralph Harbach) කියනවා. ඔහුත් මේ පර්යේෂණය සඳහා දායක වූ එක් අයෙක්.

මේ පොසිල මදුරුවාගේ උදරයේ වූ ආහාරය තුළ යකඩ ඉතා ඉහළ මට්ටමකින් තිබූ බව හෙළි වුණා. මෙය විශ්ලේෂණය කළ පර්යෙෂකයන් හඳුනා ගත්තේ එසේ ඇත්තේ ‘හීම්’ (haem) යකඩ බවයි. ඒවා තමයි, සිරුර තුළ ඔක්සින් ගෙන යාමට ආධාර වන්නේ.

සාමාන්‍යයෙන් ඞීඑන්ඒ වැනි ලොකු බිඳෙනසුලූ අණු පොසිල වශයෙන් ආරක්ෂා වන්නේ නැහැ. ඒත් මේ මදුරුවාගෙන් ඔප්පු වුණා, හීම් වැනි සංකීර්ණ කාබනික අණු, පොසිලවල සුරැකිව තිබිය හැකි බව.

මෙහිදී තවත් වැදගත් කරුණක් හෙළිවුණා. ඒ පසුගිය වසර මිලියන 46 තිස්සේ ම මේ කුඩා මදුරු පරපෝෂිතයා වෙනස් වී ඇත්තේ ඉතා සුළු වශයෙන් බවයි. (මෙහි ඇති ඉපැරණි මදුරුවාගේ හා වර්තමාන මදුරුවාගේ ඡායාරූප සසඳා බලන්න.)

 
වසර විස්සකට පමණ පෙර ‘ජුරාසික් පාක්’ චිත‍්‍රපටයේ විද්‍යාඥයා ලෙස රඟපෑ රිචඞ් ඇටන්බරෝ එහි එක් ජවනිකාවක, ඇම්බරවල සිර වී තිබී හමුවුණු මදුරු පොසිලය පරීක්ෂා කරන අයුරු. ආචාර්ය ගී‍්‍රන් වෝල්ට් කියන්නේ එදා චිත‍්‍රපටයේ කියවුණු ආකාරයට පොසිලය තුළින් ඞීඑන්ඒ ලබා ගෙන ඩයිනොසෝරයන් බිහි කිරීම වැරදි කල්පිතයක් වුවත් මේ ආකාරයට පොසිල ලෙස මදුරුවකු සොයා ගත් මුල් අවස්ථාව එය බවයි.

මේ විද්‍යාඥයන්ට මෙහිදී පොසිල මදුරුවන් දෙදෙනකු හමු වී තියෙනවා. පිරිමි සතකු හා ගැහැනු සතකු වශයෙන්. විද්‍යාඥයන් හෙළිදරවු කර ගෙන තියෙනවා, ඔවුන් දෙදෙනා, කලින් හඳුනා ගෙන තිබූ සත්ව විශේෂ දෙකකට අයත් බව. ගැහැනු සතා සත්ව විද්‍යාත්මකව නම් කර ඇත්තේ කුලිසෙටා ලෙමිනිස්කාටා (Culiseta lemniscata) කියායි. රුධිරය පිරුණු උදරයක් සමග හමු වී ඇත්තේ ඇයයි. පිරිමි සතා සත්ව විද්‍යාත්මකව නම් කර ඇත්තේ කුලිසෙටා කිෂෙන්එන් (Culiseta kishenehn) කියායි.

මේ පොසිල මදුරුවන්ගේ සිරුරු අවයවවල ඉතා සියුම් කොටස් පවා සුරැකිව තිබීම විශේෂත්වයක්, ඒවා අතර අත්තටුවල ශිරා වැනි රුධිර නාල, ලිංගික අවයව, ඉසියුම් කොරපොතු මෙන්ම අත්තටුවල කෙස් තරම් සියුම් ව්‍යුහයන් ද දැක ගන්න පුළුවන්.

ආචාර්ය ගී‍්‍රන් වෝල්ට් හා සගයන්ගේ මේ පර්යේෂණයේ ප‍්‍රතිඵල මෙවර ජාතික විද්‍යා ඇකඩමියේ සැසිවාරයට ඉදිරිපත් කර තියෙනවා.

මේවා මෙසේ පොසිලයක් ලෙසින් සුරැකිව තිබීම ‘ඇදහිය නොහැකි’ අතිශයින් විස්මයජනක දෙයක් ලෙසයි විද්‍යාඥයන් සලකන්නේ.

”මේ මදුරුවා රුධිරය උරා බිව් මොහොතේම තද සුළඟකින් ගසා ගෙන ගොස් පොකුණක් වැනි ජලය තිබූ තැනකට වැටී, ඉන් නොනැවතී, එහි පතුලට කිඳා බැස එහි මඩ අස්සේ සැඟ වී යන්නට ඇති. මේ සියල්ල සිදු වෙන්නට ඇත්තේ සුළු පීඩනයකින් පවා පුපුරා යා හැකි උගේ රුධිරයෙන් පිරි උදරයට කිසිම අයුරකින් හානියක් නොකරමිනුයි. ඒ නිසයි අද අපට මේ අති විස්මිත පොසිලය හමු වී ඇත්තේ.” ආචාර්ය ගී‍්‍රන් වෝල්ට් කියනවා.

ආචාර්ය ගී‍්‍රන් වෝල්ට් කියන්නේ මින් වසර විස්සකට පෙර එදා ‘ජුරාසික් පාක්’ චිත‍්‍රපටයේ කියැවුණු ආකාරයට මදුරු පොසිලයක් තුළින් ඞීඑන්ඒ ලබා ගෙන ඩයිනොසෝරයන් බිහි කිරීම වැරදි කල්පිතයක් වුවත් මේ ආකාරයට පොසිල ලෙස මදුරුවකු සොයා ගත් මුල් අවස්ථාව එය බවයි.

”මේ ආකාරයට අති දුර්ලභ පොසිලයක් හමු වීමෙන් අපට සනාථ කර ගත හැකි වූ වැදගත් ම කරුණ වන්නේ මේ කෘමි පවුලේ ලේ උරා බීමේ චර්යාව වසර මිලියන 46ක් තරම් අතීතයට දිව යන්නක් බවයි.” ආචාර්ය ගී‍්‍රන් වෝල්ට් අවධාරණය කරනවා.

”රුධිරය පුරවා ගත් උදරයක් සහිත මදුරු පොසිලයක් හමු වූ පළමු වතාව මෙයයි. එසේම ඒ ආකාරයට හමු වූ එකම පොසිලයත් මෙයයි. මේ තරම් ඈත යුගයක පොසිලයක් තුළ කාබනික අණුවක් සුරැුකිව තිබිය හැකි බව පැහැදිලි කරන එකම විද්‍යාත්මක සාධකයත් මෙයයි.”

”ඉතා ඉක්මනින් විනාශ වී යන ඞීඑන්ඒ වැනි ජාන ද්‍රව්‍යයක් මෙවැනි පොසිලයක සුරැකිව තිබිය නොහැකි බව අප හොඳින් දන්නා නිසා අප ඒ ගැන පිරික්සන්න වෙහෙසුණේ නැහැ.”

”මේ පොසිලය තුළ තවත් නොයෙක් දේ සැඟවී ඇතිවා නිසැකයි. ඒවා මොනවාදැයි අපට කිව නොහැකියි. අනාගතයේ දී ඒවා හෙළිදරවු කරගනීවි.” ඔහු තවදුරටත් කියනවා.



Post a Comment

1 Comments

  1. ඇග කිලිපොලා ගියා. මං හිතුවෙම වඩේ පොසිලයක් කියලා. දෙමල නිජ බිම ඔප්පු වෙනවා එහෙනම්.

    ReplyDelete