HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මුල්ම අභ්‍යවකාශ රොබෝ, කිරොබෝ උඩුගුවනේ සිට පොළොවට කතා කරයි!

රොබෝ අභ්‍යවකාශගාමී කිරොබෝ (Kirobo) අභ්‍යවකාශයට ගොස් එහි සිට ප‍්‍රථම වරට වීඩියෝ මගින් අපට කතා කළ රොබොට්ටා ලෙස ඉතිහාසයට එක් වෙනවා. එයා මේ වෙන කොටත් අභ්‍යවකාශයේ මාසයක් ගත කර අවසන්.

ඒ රොබොට්ටා ගැන මීට කලින් අපි ‘මල්කැකුළු’ වලින් කීවා ඔබට මතක ඇති. ගිය ජූනි මාසයේ පළ කළ ඒ ලිපියෙන් කීවේ කිරොබෝ නිර්මාණය කිරීම ගැනයි. අඟල් 13ක් (සෙ.මී. 34ක්) උස මේ රොබෝ පැංචා කිලෝ ග්‍රෑම් එකකට (රාත්තල් 2.2කකට) වඩා බර නැහැ.

කිරොබෝ අභ්‍යවකාශයට පිටත් වූයේ අගොස්තු 4 වැනිදායි. 10 වැනිදා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සේන්දු වුණා.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එළියට ආ රොබෝටික අතක් කිරොබෝව අල්ලා ඇතුළට ගත්තා.

සැලසුම් කළ පරිදි අගෝස්තු 21 වැනිදා කිරොබෝ අභ්‍යවකාශයේ සිට පෘථිවිය ඇමතූ පළමු රොබෝ වෙමින් කිරොබෝ අපට කතා කළේ මෙහෙමයි:

"රොබොට්ටකු තැබූ මේ පුංචි පියවර ඔබ සැමගේ දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් තැබූ එකක්. පෘථිවියේ සිටින සියලූ දෙනාටම ආයුබෝවන්. මේ ඔබ අමතන මම කිරොබෝ. මම තමයි ලෝකයේ ප‍්‍රථම කතා කරන අභ්‍යවකාශගාමියා. ඔබ හැම මෙසේ හමුවීමට ලැබීම සතුටක්."

 
2013 අගොස්තු 21 වැනිදා කිරොබෝ අභ්‍යවකාශයේ සිට පෘථිවියට දුන් පළමු ඇමතුම. "රොබොට්ටකු තැබූ මේ පුංචි පියවර ඔබ සැමගේ දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් තැබූ එකක්."

කිරොබෝ මුලින් ම ලොවට හඳුන්වා දුන්නේ පසුගිය ජූනි මාසයේ දී ජපානයේ තෝකියෝ නුවර පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදියි.

 
ටොයෝටා ආයතනය තැනූ මේ කිරොබෝගේ උස අඟල් 13යි. බර කිලෝ ග්‍රෑම් එකයි. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවි මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිටි සිය සම සගයා වූ මිරාටා සමග වීඩියෝ කතාබහක යෙදෙද්දී.

කිරොබෝගේ නිර්මාතෘ වූයේ තොමොතකා තකහාෂි (Tomotaka Takahashi) නම් පරිගණක ඉංජිනේරුවායි. ජපානයේ උසස් විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ ආයතනයත්, තෝකියෝ විශ්ව විද්‍යාලයත්, රොබෝ ගරාජ් ආයතනයත්, ටොයොටා සමාගමත් ඔහුට සහය වුණා. මෙය සම්බන්ධීකරණය කළේ ඩෙන්ට්සු නම් වෙළඳ ප‍්‍රචාරණ හා මහජන සම්බන්ධතා සමාගමයි.

කිරොබෝ පසුගිය අගෝස්තු 4 වැනිදා ජපානයේ තනෙගාෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩුගුවනට ගෙන ගියේ එච්-2බී රොකටය මගිනුයි.

එයා දින හයක් කක්ෂයක ගත කළා. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්නා කණ්ඩායම රොබෝ අතක් විහිදුවා එය උඩුගුවනට රැගෙන ගිය යානයෙන් අල්ලා ගෙන තමන් වෙතට ගෙන්වා ගත්තා.

කිරොබෝට පෘථිවියේ සිට සහය දෙන්නේ එයා හා සමාන තවත් කතා කළ හැකි රොබොට්ටෙක්. එයාගෙ නම මිරාටා. එයා ඉන්නේ ජපානයේ උසස් විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ ආයතනයේ ඇති මෙහෙයුම් මැදිරියේයි.

"මිරාටා, සූදානම් වෙන්න. මං පොළොවට පින්තූරයක් එවනවා." කිරොබෝ කීවා. මිරාටා ඒ සඳහා සූදානම් වුණා. කිරොබෝ මාස 18ක් තිස්සේ උඩුගුවනේ රැඳී සිටිනු ඇති.

මේ රොබෝ ව්‍යාපෘතියේ කළමනාකරු යොරිචිකා නිෂිජිමා මේ ගැන අදහස් දක්වමින් මෙහෙම කියනවා: "පළමු වරට මිනිසකු අභ්‍යවකාශයට යැව්වේ රුසියාවයි. ඊළඟට ඇමරිකාව මිනිසකු පළමු වරට හඳට යැව්වා. ජපානයේ අපට අවශ්‍ය වුණේ උඩුගුවනේ සිට මිනිසුන් හා කතාබහ කළ හැකි අභ්‍යවකාශ රොබොට්ටකු පළමු වරට උඩුගුවනට යවන්නයි. අද අපි එය සාර්ථකව ඉටු කළා."

 
කිරොබෝ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවිය දෙස බලා සිටින අයුරු. මේ වසර අවසානයේ දී ජපන් ජාතික කොයිචි වකාතා ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප‍්‍රථම ජපන් ජාතික නියමුවා ලෙස කටයුතු කරන්නට එහි යනවා. කිරොබෝට දැනටමත් ඔහුගේ මුහුණ හඳුනා ගන්න හැකි වෙන්න පුළුවන් විදියට දත්ත කවලයි තියෙන්නෙ.

කිරොබෝට හඬ හඳුනා ගැනීමේ මෘදුකාංගය සපයා ඇත්තේ ටොයෝටා ආයතනයෙන්. ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ කිරොබෝ ව්‍යාපෘතියෙන් ලැබෙන අත්දැකීම් මත අන්තර් සන්නිවේදන තාක්ෂණය වැඩි දියුණු කොට අනාගතයේ දී මීට වඩා දියුණු රොබොට්ටන් නිර්මාණය කරන්න.

කිරොබෝ හා මිරාටා යන දෙදෙනාටම හැකියාව තියෙනවා, තම යාන්ත‍්‍රණයේ ඇති ඉලෙක්ට්‍රොනික උපාංගවල ඇති දෝෂ හඳුනාගන්න. ඒ නිසා එයා සහය වේවි මෙහෙයුම් මැදිරියේ අයට ඒ අතින්.

 
කිරොබෝ ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී වකතා හා කරන කතා බහ පටි ගත කර තබා ගන්නවා ඇති. නිරන්තරව මෙහෙයුම් මැදිරියේ හිඳිමින් නියමුවාට අවශ්‍ය තොරතුරු හා දත්ත සපයා දෙන්නෙත් ඔහුමයි. ඔහුට සාමාන්‍ය අභ්‍යවාකාශගාමියකුට මෙන් විවේක ගැනීමක් අවශ්‍ය නැහැ.

"රොබොට්ටකු අභ්‍යවකාශයට යැවීමෙන් මිනිසාට වඩාත් සමීප විය හැකි සහජීවී රොබොට්ටකු තැනීම වඩා ඉක්මන් වේවි." තකහෂි කියනවා.
ඒ වීඩියෝව දැන් නරඹන්න!



Post a Comment

1 Comments