HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසරේ මහා සාහිත්‍ය මංගල්‍යය වූ කොළඹ මහා පොත් දැක්ම ඇරඹේ! ‘බුක් සීකර්’ මගින් ගෙදර සිටම ඔබට පුළුවන්!

වසරක් පාසා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර මහා පොත් ප‍්‍රදර්ශනය මෙවර පවත්වනු ලබන්නේ 15 වැනි වරටයි. මෙය දකුණු ආසියාවේ පැවත්වෙන විශාලතම පොත් දැක්ම ලෙසයි, එහි සංවිධායකයන් වූ ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය හඳුන්වන්නේ. මේ පොත් දැක්ම 2013 සැප්තැම්බර් 14 වැනිදා සිට 22 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වෙනවා. උදේ 9 සිට රාති‍්‍ර 9 දක්වා දිනපතා පැවැත්වෙන මෙම උළෙලේ දී දෙස් විදෙස් පොත් ලක්ෂ ගණනක් අතුරෙන් තමන් කැමති පොත් තෝරා ගන්න පාඨකයන් අවස්ථාව සැලසෙනවා.


මෙවර පොත් දැක්මට මොරටු සරසවියේ ඉංජිනේරු පීඨය ‘බුක්සීකර්’ නමින් නව මෘදුකාංගයක් නොහොත් ‘මොබයිල් ඇප්ලිකේෂන්’ එකක් හඳුන්වා දී තියෙනවා. ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ අනුග‍්‍රහය ඇතිව ඩයලොග් සමාගම සමග එක්ව ඔවුන් ඉදිරිපත් කර ඇති මේ නව මෘදුකාංගය යොදා ගෙන ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පොත් ගෙදර සිට ම තෝරා ගන්න පුළුවන්. අවශ්‍ය වන්නේ කෙටි පණිවිඩ යැවිය හැකි ජංගම දුරකථනයක් පමණයි. ඔබට අවශ්‍ය පොත මිල දී ගත හැකි කුටිය හෝ කුටි එයින් දැන ගත හැකියි. ඒ සඳහා ලියාපදිංචි වීමට reg හිස්තැනක් isk 77115 වලට SMS එකක් එවීමෙන් පුළුවන්.

මෙම පොත් දැක්මේ සුවිශේෂ අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන් ස්වර්ණ පුස්තක සම්මාන ප‍්‍රදානයත් උළෙලට පූර්වගාමීව පැවැත්වුණා. එය මෙරට සිංහල නවකතාකරුවන්ට හා නවකතා කියවන්නන්ට සුවිශේෂ වූ එකක්. වසරේ හොඳම නවකතා කරුවා කිරුළු පලඳින්නේ ඒ ස්වර්ණ පුස්තක සම්මාන ප‍්‍රදානයේදියි. එයත් ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන්නක්.

මෙවරත් ස්වර්ණ පුස්තක සම්මාන ප‍්‍රදානය සඳහා අවසන් වටයට හොඳම නවකතා පහක් තෝරා ගනු ලැබුවා. ඒවා තෝරා ගනු ලැබුවේ විශේෂ විනිශ්චය මණ්ඩලයක් මගින්, පසුගිය වසරේ පළ වූ හොඳම නවකතා අතරින්. ඒ අනුව මෙවර අවසන් වටයට නිර්දේශිත වරම් ලැබුවේ, කපිල කුමාර කාලිංග ගේ ‘කන්දේ වීදිය’, සමරවීර විජේසිංහ ගේ ‘තැප්පාසේම ගිනි’, මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල ගේ ‘සෙංකොට්ටං’, කීර්ති වැලිසරගේ ගේ ‘කාල සර්ප’ සමග සුමිත‍්‍රා රාහුබද්ධ ගේ ‘අත අත නෑර’ යන නවකතායි. අවසන් වටයට නිර්දේශිත වරම් ලැබූ මේ සියලූ දෙනාටම රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාගයක් ද ඇගයුම් සම්මානයක් ද ලැබුණා.

අවසානයේ දී ස්වර්ණ පුස්තක සම්මානයේ අවසාන විනිශ්චය මණ්ඩලය විසින් වසරේ ස්වර්ණ පුස්තක සම්මාන ලාභියා ලෙස කීර්ති වැලිසරගේ නම් කරනු ලැබුවා. ඒ අනුව 2012 වසර තුළ පළ වූ හොඳම නවකතාව ලෙස ‘කාල සර්ප’ නම් කෙරුණා. ඔහුට රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාගය හා සම්මානය පිරිනමනු ලැබුවේ අපේ ප‍්‍රවීණ සාහිත්‍යධරයකු වූ සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු ලොකුබණ්ඩාරයන් අතින්.

සැප්තැම්බරය සාහිත්‍ය මාසය ලෙස නම් කර වසර දැනට දශක ගණනාවක් වෙනවා. ඒ අනුව සාහිත්‍ය මාසය වෙනුවෙන් රටපුරා පොත් හල් හා පොත් ප‍්‍රකාශකයන් අඩු මිලට පොත් ලබා ගැනීමට විශාල වට්ටම් ලබා දෙමින් පාඨකයන්ට අවස්ථාව සලසා දීලා තියෙනවා. මෙහි උච්චතම අවස්ථාව ලෙස ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර මහා පොත් ප‍්‍රදර්ශනය හඳුන්වන්න පුළුවන්.

විශාල වට්ටම් සහිතව අඩු මිලට පොත් මිලදී ගැනීමට පාඨකයන් පෙලඹ වූ මේ පියවර ආරම්භ වූයේ 1960දි කියලයි, පුවත්පත් කලාවේදියකු හා ලේඛකයකු වන ඒ. ඞී. රංජිත් කුමාර කියන්නේ. ඒ මීට වසර 63කට පෙරයි. ඒ සඳහා පුරෝගාමී වූයේ එවකට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ වින්සන්ට් පණ්ඩිත කියලයි, රංජිත්ගේ ‘නොව පරැණිය ලිපි සරණිය’ පොතේ සඳහන් කරල තියෙන්නේ.

මේ කටයුත්ත ආරම්භ කරල තියෙන්නේ ගාල්ලෙන්. ඒ ඇම්.ඞී. ගුණසේන සමාගමේ ගාල්ලේ ශාඛාවෙන්. 1960 සැප්තැම්බර් 11 වැනිදා පාසල් ළමුන් අතර පැවති සාහිත්‍ය තරගයක්, පොත් දැක්මක් හා කලා සංදර්ශනයක් මේ නිමිත කොට පවත්වලා තියෙනවා. මේ කටයුත්ත සංවිධානය කිරීමේ ගෞරවය හිමි වන්නේ එකල එම සමාගමේ ගාලූ පොත් හලේ කළමනාකරුව සිටි ප‍්‍රකට ලේඛකයකු වූ ලාල් පේ‍්‍රමනාත් ද මැල්ටයි.

මෙවරත් සාහිත්‍ය මාසය වෙනුවෙන් රටපුරා සාහිත්‍ය උත්සව හා තරග රැසක් සංවිධානය කෙරුණා. ඒ වගේ ගත වූ වසරේ පළවූ හොඳම පොත්වලට සම්මාන පිරිනැමෙන උත්සව ගණනාවක් ම පැවැත් වුණා. සැප්තැම්බර් 1 වැනිදා මෙවර සාහිත්‍ය සම්මාන උත්සව ආරම්භ වූයේ ජයවර්ධනපුර සරසවිය විසින් වාර්ෂික සම්මාන ප‍්‍රදානයෙන්. එහිදී වසරේ හොඳම නවකතාව ලෙසින් සම්මාන ලැබුවේ මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල ගේ ‘සෙංකොට්ටං’ නවකතාවයි. එහි දී වසරේ හොඳම කෙටිකතා සංග‍්‍රහය ලෙසින් සම්මාන ලැබුවේ ලියනගේ අමරකීර්තිගේ ‘අර මිහිරි සීනු නාදය’ කෘතියයි. වසරේ හොඳම කාව්‍ය සංග‍්‍රහය ලෙසින් සම්මාන ලැබුවේ මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල ගේ ‘ඇහිපිය ඇහැරිලා’ කෘතියයි.

සැප්තැම්බර් 11 වැනිදා පැවැත් වූ ගොඩගේ සාහිත්‍ය සම්මාන ප‍්‍රදානයේ දී වසරේ හොඳම නවකතාව ලෙසින් නවකතා දෙකක් සම සම්මාන ලැබුවා. ඒ මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල ගේ ‘සෙංකොට්ටං’ හා සුමිත‍්‍රා රාහුබද්ධ ගේ ‘අත අත නෑර’ යන නවකතායි. ඔවුන් දෙදෙනාට සම්මානය සමග මුදලින් රුපියල් ලක්ෂය බැගින් හිමි වුණා. මෙයට අමතරව සාහිත්‍යයේ විවිධ ක්ෂේත‍්‍රවලටද ගොඩගේ සම්මාන පිරිනැමුණා.

මෙවර සාහිත්‍ය මාසයේ උත්සව නිමාවට පත් වෙන්නේ රාජ්‍ය සාහිත්‍ය උත්සවයෙන්. ඒ සංස්කෘතික දෙපාර්තමේන්තුව, කලා මණ්ඩලය හා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කෙරෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවයෙන්. එය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 30 දායි. සාහිත්‍යයේ සෑම ක්ෂේ්ත‍්‍රයකටම සම්මාන පිරිනැමෙන මෙම උළෙලේදී සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි මාධ්‍යවලින් ලියැවුණු පොතපත ඇගයීමට ලක් කෙරෙනවා.


Post a Comment

2 Comments

  1. කියවන්න දැනුම වර්ධනය කර ගන්න අක්ෂර වින්‍යාසය ඉගෙන ගන්න පුළුවන් පොත් ටිකක් දැම්මොත් නරකද?අපට ගිහිං ගන්න.

    ReplyDelete
  2. ස්තුතියි දැනුවත් කලාට

    ReplyDelete