HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

භාෂාවක් කතාකරන්න තවදුරටත් ඉගෙන ගන්න වෙහෙසන්න ඕනෑ නෑ. මේ ගූගල් මෙවලමෙන් ඔබට ඒක එසැණෙන් කළ හැකියි!

ගූගල් දැන් අලූත් ම පරිවර්තක මෙවලමක් නිපදවා ගෙන යනවා. උසස් තාක්ෂණයෙන් යුත් මේ මෙවලම ‘ස්ටාර් ටෙ‍්‍රක්’ විද්‍යා ප‍්‍රබන්ධ කතා මාලාවේ ආ පරිවර්තකය වගේ එකක්. එයට හැකියාව තියෙනවා, ඔබ කතා කරන වචන ඒ මොහොතේ ම වෙනත් භාෂාවකට නඟා කට හඬින් ම පවසන්න.

ගූගල් ආයතනයේ අන්ඩ්‍රොයිඞ් අංශයේ උපසභාපති වූ හියුගෝ බාරා පසුගිය දා ලන්ඩනයේ ටයිම්ස් පුවත්පතට කීවේ, ඔබේ හඬ වෙනත් භාෂාවක හඬට පෙරළිය හැකි මේ විස්මිත උපකරණය දනටමත් ගූගල් විසින් ලබා දී ඇති පරිවර්තකයේ ම දිගුවක් ලෙෂ වැඩි දියුණු කළ එකක් බවයි.

 
ගූගල් හඬ පරිවර්තකය ‘ස්ටාර් ටෙ‍්‍රක්’ විද්‍යා ප‍්‍රබන්ධ කතා මාලාවේ ආ මේ මෙවලමට සමානයි. මේ එහි කපිතන් කර්ක් (විලියම් ෂැට්නර්) හා බෝන්ස් (ඩිෆොරස්ට් කෙලී) කථා කරන පරිවර්තකය භාවිත කරන අයුරු.

හියුගෝ බාරා ලන්ඩන් ටයිම්ස් පුවත්පතට කීවේ, ‘අප දැනටමත් ඒ ඒ භාෂාවල කතා වහරේ ඇති දෙබස් රැසක ම මුලාකෘති සකසා තියනවා. මා එහි ප‍්‍රගතිය දෙසතියකට වරක් විමසා බලනවා’ කියායි.

බාරා කියන විධියට මෙහි මෘදුකාංගය සම්පූර්ණයෙන් නිම කරන්න තවත් වසර කීපයක් යාවි.

ඔවුනට මේ සමහර භාෂාවල පරිවර්තන ඉතා සාර්ථකව නිම කිරීමට හැකි වී තියෙනවා. එයින් වඩාත් සාර්ථක වී ඇත්තේ ඉංගී‍්‍රසියෙන් ස්පාඤ්ඤ භාෂාවට පෙරළීමයි. ඒත් සමහර භාෂා නම් එතරම් ලේසි වී නැහැ.

 
ස්ටාර් ටෙ‍්‍රක්: නෙක්ස්ට් ජෙනරේෂන් චිත‍්‍රපටයේ දී යුනිවර්සල් ට‍්‍රාන්ස්ලේටර් හෙවත් විශ්ව පරිවර්තකය කියා හැඳින්වුණු මේ මෙවලම ඔවුන්ගේ ඇඳුමට සවිකර තිබුණා.

ස්ටාර් ටෙ‍්‍රක් විද්‍යා ප‍්‍රබන්ධ කතාමාලාවේ දී පොදු අංගයක් හැටියටයි මේ විශ්ව පරිවර්තකය ආවේ.

එය යොදා ගත්තේ අභ්‍යවකාශයේ සරද්දී හමු වූ සක්වළ ජීවීන්ගේ භාෂා පරිවර්තනයටයි. මුල් කතාවල දී ඒවායේ හැඩය නලයක් වගෙයි තිබුණේ. එය පසුව එහි ‘එන්ටර්ප‍්‍රයිස්’ කතා මාලාවේ දී කමිසයේ ගහන කුඩා උපකරණයක් වගේ වුණා. ‘නෙක්ස්ට් ජෙනරේෂන්’ කතා මාලාවේ දී එය ස්ටාර් පිරිසේ යුනිෆෝම්වල ගහන කටුවක හැඩයක් ගත්තා.

‘ඞීප් ස්පේස් නයින්’ නමින් නිපදවූ කතා මාලාවේ දී උපදින කොට ම ෆෙරෙන්ජිස්ලාගේ කන්වලට බද්ධ කරලයි තිබුණේ.

ඒ කතා මාලාවේදී ඔවුන්ගේ භාෂා පරිවර්තකයට පරිවර්තනය කරන්න බැරි ක්ලින්ගන් කියලා භාෂාවකුත් තියෙනවා, ඒවා සැබෑ ජීවිතයෙදිත් හමුවෙන්න පුළුවන්.

‘ස්ටාර් ටෙ‍්‍රක්’ කතා මාලාවේ ‘එන්ටර්ප‍්‍රයිස්’ කතාවේ සන්නිවේදන නිලධාරි එන්සයින් හෝෂි සාටෝ භාෂා පරිවර්තකය යොදා ගෙන ශබ්දකේත මාතෘකයක් (matrix) තනනවා.

‘ස්ටාර් ටෙ‍්‍රක්’ කතා මාලාවේ කියැවෙන්නේ 24වැනි සියවසේ, එනම් අනාගතයේ දී සිදුවන කතාපෙළක් ගැනයි. 24වැනි සියවසේ දී ඔවුන් භාවිත කරන ඒ නව නිපැයුම ඊට කලින් ඔබ අතට පත් කරන්නයි, ගූගල් බලාපොරොත්තු වන්නේ.

ඩග්ලස් ඇඩම්ගේ ‘ද හිච්හයිකර්ස් ගයිඞ් ටු ද ගැලැක්සි’ නම් පොතේ එන ආකාරයට එහි පුද්ගලයකුගේ කනට කුඩා මාළුවකු රිංගවනවා. ඒ මාළුවාට පුළුවන් සිතෙන් නිකුත් කරන තරංග තේරුම් ගෙන සංවාද පරිවර්තනය කරන්න.

ගූගල් ආයතනය සැලසුම් කර පරිදි 2010 දී ඔවුන්ගේ ප‍්‍රථම භාෂා පරිවර්තකය එළි දැක්වූ අවස්ථාවේ දී එහි පරිවර්තන අංශයේ ප‍්‍රධාන ෆ්රාන්ස් ඕච් (Franz Och) ඉඟියක් පළ කළා වසර කීපයක් ඇතුළත කතාබහ එවේලේම පරිවර්තනය කළ හැකි මෙවලමක් එළි දක්වන බව.

දැනටමත් ලිඛිත භාෂා පරිවර්තකයක් සහිත පරිගණක යෙදවුමක් ඔවුන් විසින් හඳුන්වා දී තියෙනවා. එයට භාෂාවකින් තවත් භාෂාවකට ලිඛිත පරිවර්තනයක් සාර්ථකව දිය හැකියි.

ඒ වගේ ම එයට දැන් එක් භාෂාවක කටහඬකින් වෙනත් භාෂාවක ලිඛිත පරිවර්තනයක් දෙන්නත් පුළුවන්. ඒත් කටහඬකින් ප‍්‍රකාශ කරන දෙයක් තවත් භාෂාවක කටහඬකින් පරිවර්තනය කර දෙන්නට තවමත් හැකියාවක් නැහැ.

 
ඩග්ලස් ඇඩම්ගේ ‘ද හිච්හයිකර්ස් ගයිඞ් ටු ද ගැලැක්සි’ නම් පොතේ කුඩා මාළුවකු පුද්ගලයාගේ කන තුළට වී හිඳිමින් පරිවර්තකයේ රාජකාරිය ඉටු කරනවා. ඒ මාළුවා සිතෙන් නිකුත් කරන තරංග තේරුම් ගෙන සංවාද පරිවර්තනය කර දෙනවා.

ගූගල් භාෂා පරිවර්තකයේ කටහඬ හඳුනා ගැනීම සඳහා වූ මෘදුකාංගය වැඩි දියුණු කිරීම දැන් කර ගෙන යනවා. අවට ඇති වෙනත් ශබ්ද හා මයික්‍රෝෆෝනවල ඇති දුර්වලතා අතරින් කටහඬ නිරවුල්ව, නිවැරදිව හඳුනා ගැනීම ඇත්තෙන් ම ඔවුන් ඉදිරියේ ඇති ලොකු අභියෝගයක්.

දැන් ඒ විශ්ව පරිවර්තක සිහිනය හැබෑවක් වෙලා ඉවරයි. ඉදිරි අනාගතයේදී ඔබට වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමේ අවශ්‍යතාවක් ඇති වන්නේ නැහැ. මේ ගූගල් භාෂා පරිවර්තකය ඔබේ අතේ ඇත්නම් ඔබට වෙනත් භාෂාවක් කතා කරන කෙනෙකු සමග කෙළින්ම කතා බහේ යෙදිය හැකියි.

 
‘ඞීප් ස්පේස් නයින්’ නමින් නිපදවූ කතා මාලාවේ දී ෆ්‍රෙන්ජීස් කුරුමිට්ටලාට උපදින කොට ම ඔවුන්ගේ කන්වලට විශ්ව පරිවර්තකය බද්ධ කරලා තිබුණා.

මේ වන විට ගූගල් භාෂා පරිවර්තකයට භාෂා 71කක් පෙරළන්න පුළුවන්. ඒක ලෝකයේ දැන් භාවිත වන භාෂා 6,000න් සොච්චමක් විතරයි.

මෙය සකසද්දී පසුගිය පෙබරවාරියේ දී ඕච් ප‍්‍රකාශ කළා ඕනෑම විශ්ව පරිවර්තක මෙවලමකට එක් එක් පුද්ගලයාගේ උච්චාරණ රටාවේ වෙනස්කම් පවා හඳුනා ගැනීමේ හැකියාව තිබිය යුතු බව.

‘එකම භාෂාවක් කතා කළ ද පුද්ගලයාගෙන් පුද්ගලයාට උච්චාරණය වෙනස්. ඒවා හඳුනා ගැනීම නිවැරදිව කරන්න ඕනෑ.’ ඕච් කියනවා. දැන් ඒ අභියෝගයත් ඔවුන් ජය ගෙන තියෙනවා.

‘මේවා වඩාත් සාර්ථකව ජංගම දුරකතනවලින් කළ හැකියි. ඒවා ස්වභාවයෙන්ම පුද්ගලිකව පාවිච්චි කරන ඒවා වන නිසා.’ ඔහු වැඩිදුරටත් කියනවා.

 
මේ තමා වර්තමානයේ සංවර්ධනය කර ගෙන යන ගූගල් පරිවර්තක මෘදුකාංගය සකසා ඇති අන්දම. දැන් විශ්ව පරිවර්තකය හැබෑවක් වෙලා ඉවරයි. මේ වන විට ගූගල් භාෂා පරිවර්තකයට භාෂා 71කක් පෙරළන්න පුළුවන්. ඒක ලෝකයේ දැන් භාවිත වන භාෂා 6,000න් සොච්චමක් විතරයි.


Post a Comment

1 Comments

  1. niyamai.apitath ethin dan bhasha purudu wenna wedak nehe.pattai

    ReplyDelete