HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

‘හඳට බසිද්දී නීල් එය ලස්සනයි කීවාට මට එය පෙනුනේ පාළු, අජීවී තැනක් හැටියටයි.’ හඳට බට දෙවැනි මිනිසා 44 වසරකට පසු කළ හෙළිදරවුව!

පසුගිය 27 වැනිදා අල් ජසීරා රූපවාහිනියෙන් අපූරු සම්මුඛ සාකච්ඡාවක් විකාශය කෙරුණා. ඒ සාකච්ඡාවට සහභාගි වූයේ හඳ මතට ගිය දෙවැනි මිනිසා වූ එඞ්වින් (බස්) ඕල්ඩි‍්‍රන් සමගයි. සාකච්ඡාව මෙහෙය වූයේ ශී‍්‍රමත් ඬේවිඞ් ෆ්‍රොස්ට්. (ඔහු රූපවාහිනී සම්මුඛ සාකච්ඡා සඳහා ජගත් කීර්තියක් දිනූ බි‍්‍රතාන්‍ය ජාතිකයෙක්, මාධ්‍යවේදියෙක්, විකට නළුවෙක්, ලේඛකයෙක්) ඔහු ඒ සඳහා විශේෂයෙන්ම ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයට ගියා.

මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුණේ මිනිසා හඳ මතට පා තබා 44 වසර සමරන අවස්ථාවෙදි. මුලින් ම හඳ මතට පා තැබූ මිනිසුන් දෙදෙනාගෙන් දැනට ජීවතුන් අතර සිටින එකම තැනැත්තා ඔහුයි.

ඕල්ඩි‍්‍රන් සිය සාකච්ඡාවේ දී ඬේවිඞ් ෆ්‍රොස්ට් සමග කීවේ ළඟට ගොස් මුලින් ම හඳ දුටු මොහොතේ නීල් ආම්ස්ට්‍රෝන් දැක් වූ අදහස්වලට ඔහු එදා එකඟ නොවූ බවයි. ‘නීල් කීවේ හඳ හරිම ලස්සන තැනක් කියලයි. එයා ලස්සන කියන වචනය හරිම අමුතු විදියකටයි. මට නම් එවේලේ හඳ පෙනුනේ පාළු, අජීවී තැනක් හැටියටයි.’ ඕල්ඩි‍්‍රන් කියනවා.

 
මීට වසර 44කට පෙර ඇපලෝ 11 යානයෙන් හඳ බලා ගිය තිදෙනා. (වමේ සිට) නීල් ආම්ස්ට්‍රෝන්, මයිකල් කොලින්ස් හා එඞ්වින් ඕල්ඩි‍්‍රන්. (ආම්ස්ට්‍රෝන් හා ඕල්ඩි‍්‍රන් හඳට ගොස් එනතුරු කොලින්ස් මව් යානය මෙහෙයවමින් හඳ වටා කක්ෂයක යමින් සිටියා.)

‘අළු පැහැය හැරෙන්න වෙන පැහැයක් හඳේ තිබුණේ නෑ. ක්ෂිතිජය කළු පාටටයි පෙනුනේ. විස්මිත දසුනක්, ඒත් අජීවී එකක්.’ ඔහු වැඩිදුරටත් කීවා.



වසර 44කට පෙර හඳ මතට ගොඩ බසින්නට ගිය මොහොත සිහිපත් කළ ඕල්ඩි‍්‍රන් කීවේ එවේලේ විස්මයක් වෙනුවට සිතට විශාල බියක් දැනුනු බවයි. ඔහු නීල් හා තමා මුහුණ දුන් ත‍්‍රාසජනක අවස්ථාවක් ලෙස හැඳින්නුවා.

‘අප ගොඩ බසින්නට සුදුසු තැනක් සොයද්දී චන්ද්‍ර යානයේ තෙල් ඉවර වෙන්නට තවත් ඉතිරිව තිබුණේ තවත් තත්පර කීපයකට විතරයි. වාසනාවට අපට සුදුසු තැනක් හමු වුණා.’

 
වසර 44කට පෙර හඳ මතට ගොඩ බසින්නට ගිය මොහොතේ නීල් හා ඔහු මුහුණ දුන් ත‍්‍රාසජනක අවස්ථාවක් ගැන ඕල්ඩි‍්‍රන් ඒ සාකච්ඡාවේ දී කීවා. ‘ගොඩ බසින්නට තැනක් සොයද්දී චන්ද්‍ර යානයේ තෙල් තිබුණේ තවත් තත්පර කීපයකට විතරයි. වාසනාවට අපට සුදුසු තැනක් හමු වුණා.’ ඕල්ඩි‍්‍රන් හඳ මත දී - ඡායාරූපය ගත්තේ නීල් ආම්ස්ට්‍රෝන්

නීල් ආම්ස්ට්‍රෝන් හා එඞ්වින් ඕල්ඩි‍්‍රන් දෙදෙනා හඳට මුලින් ම පා තැබුවේ 1969 ජූලි 20 වැනිදා පැය 20:18 (20:18 UTC) යි. ඔවුන් පැය 21යි මිනිත්තු 30ක් හඳ මතුපිට ගත කළා. ආපසු එන විට ඔවුන් හඳේ පස් ඇතුළු සාම්පල කි.ග‍්‍රෑ. 21.5ක් රැගෙන ආවා.

හඳ මත පා තබද්දී නීල් ආම්ස්ට්‍රෝන් කී ලෝක ප‍්‍රකට කියමන, ‘ඒ මිනිසකු තැබූ එක් පියවරක්, මිනිස් වර්ගයා වෙනුවෙන් පිනූ මහ පිම්මක්’ (That’s one small step for man, one giant leap for mankind) යන්න ඔහු විසින් කල් තියා සූදානම් කර ගත් එකක්දැයි ඕල්ඩි‍්‍රන්ගෙන් අසනු ලැබුවා.

ඔහු කීවේ, ආම්ස්ට්‍රෝන්ට ඒ අවස්ථාවට උචිත කියමනක් හිතා ගන්නට හඳට බසින්නට සූදැනම් වූ අවස්ථාවේ ඕනෑ තරම් කල්වේලා තිබුණු බවයි. තමා කුමක් කියන්නේ දැයි නිශ්චිතව සිතා නැති බවයි නීල් ඒ අවස්ථාවේ දී ඔහු කීවේ.

ඕල්ඩි‍්‍රන් කීවේ ඇපලෝ 11 යානය මෙහෙය වූ නියමු මයිකල් කොලින්ස් ඔවුන් දෙදෙනා ලූනා මොඩිලයෙන් හඳ මතට ගොස් ආපසු එනතුරු එම යානය මෙහෙයවමින් හඳ වටා කක්ෂයක යමින් සිටිය බවයි. ‘චන්ද්‍ර යානය වෙන්වී යාමට පෙර කොලින්ස් ඇසුවා, නීල්ගෙන්, හඳ මතට පා තබන මොහොතේ ඔහු කියන්නට යන්නේ කුමක් දැයි කියා. නීල් එවේලේ කීවේ, ”එහාට ගිහින් බලමු” කියායි.’

‘ඇත්තෙන් ම අපට කාලය ඕනෑ තරම් තිබුණා, පැය ගණනක් ම තිබුණා ආම්ස්ට්‍රෝන්ට ඔහුගේ හඳට පා තබන මොහොතේ කිව යුතු දේ කුමක්දැයි හිතා ගන්න.’ ඕල්ඩි‍්‍රන් කීවා.

අභ්‍යවකාශ ගමන්වල අනාගතය ගැන සඳහන් කරමින් ඕල්ඩි‍්‍රන් කීවේ, ‘දැනට කි‍්‍රයා කර ගෙන යන්නේ අඟහරු මත ජනාවාසයක් ඇති කර ගන්නයි’ කියායි.

කීර්තිය පතා අඟහරු මත ජනාවාස ඇති කිරීම සඳහා කරන මුදල් නාස්තිය ගැන විවේචනය කරන අයට පිළිතුරු දෙමින් ඕල්ඩි‍්‍රන් කීවේ එය මනුෂ්‍ය වර්ගයාගේ අනාගත ආරක්ෂාවට ගත යුතු අවශ්‍යම පියවරක් බවයි.

 
ශී‍්‍රමත් ඬේවිඞ් ෆ්‍රොස්ට් (වමේ) එඞ්වින් (බස්) ඕල්ඩි‍්‍රන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව. හඳට ගොඩ බැසීම ගැන කියද්දී මිනිසා අනාගතයේ අඟහරු මත ජනාවාස තනනු ඇතැයි ද කීවා.

 
ශී‍්‍රමත් ඬේවිඞ් සමග ඕල්ඩි‍්‍රන් හඳ ගමන ගැන සිය මතක සටහන් අවදි කළ අවස්ථාව.

ඕල්ඩි‍්‍රන් හඳ ගමනේ වැදගත්කම ගැනත් කීවා: ‘අප හැටේ හැත්තෑවේ දශකවල අත්පත් කර ගත්තේ කුමක්ද? තාක්ෂණයේ ලෝක නායකත්වය දිනා ගත්තා. ඒ බව ලෝකයට ප‍්‍රදර්ශනය කෙරුණේ ඇපලෝ වැඩසටහනෙන්.

‘බලන්න සිලිකන් නිම්නය පරිගණකය අතින් ලබා ඇති දියුණුව දිහා. අපි ලෝකයට නායකත්වය දෙනවා. කොච්චර ආර්ථික අපහසුකම් තිබුනත් අපෙන් ජනතාවට මග පෙන්වීම සිදු වෙන්න ඕනෑ.’ ඕල්ඩි‍්‍රන් කියනවා.

මෙම වැඩසටහනට හඳ මතට පෑ තැබූ අයුරු ඕල්ඩි‍්‍රන්ගේ විස්තර කථනයත් සමග ඇතුළත් වුණා. ඊට අමතරව මීට කලින් කිසිදාක නොපෙන්වූ චිත‍්‍රපට කොටසක් ද එක් කෙරුණා. ඒ ඕල්ඩි‍්‍රන් 1950 දශකයේ කොරියානු යුද්ධයේ දී ප‍්‍රහාරක යානා නියමුවකු ලෙස කටයුතු කරද්දී කැමරාවට නැඟූවක්. එහි විස්තර කථනය කළේත් ඕල්ඩි‍්‍රන්මයි. මුල් වතාවට ප‍්‍රහාරක යානයකට කැමරාවක් සවි කළේ ඒ අවස්ථාවේදියි.

ඕල්ඩි‍්‍රන් උපන්නේ 1930දියි. වයස 21 දී ගුවන් නියමුවකු වුණා. කොරියානු යුද්ධයේ දී ප‍්‍රහාරක යානා නියමුවකු ලෙස කටයුතු කළා. තමා සතුරු අහස් යානා බිම හෙළුෑ හැටි ඔහු ඒ සාකච්ඡාවේ දී කීවා. ඒවා ඔප්පු කරන්නත් චිත‍්‍රපට ගත කළ සාක්ෂි ඔහු ළඟ තිබුණා. ඔහුගේ ප‍්‍රහාරක යානය මුලින් ම සිනෙ කැමරාවක් සවි කළ එකක් වූ නිසයි, ඒ.

 
ඕල්ඩි‍්‍රන් හඳට පා තබන්නට යද්දී චන්ද්‍ර යානය තුළ සිට ගත් ඡායාරූපයක්. ඔහු තමන් හඳ මත තැබූ පා සටහනෙහි ඡායාරූපයක් ද ගත්තා. අද එය මිනිස් වර්ගයාගේ අභ්‍යවකාශ ගමන් සංකේතවත් කරන්නක් වී හමාරයි.

ඇමරිකා එක්සත් ජනපදයත් සෝවියට් දේශයත් අතර අභ්‍යවකාශ තරගයක් ඇති වුණා. ඔහු සිය ආචාර්ය උපාධියට කළ නිබන්ධනය වූ ‘රෙන්ඩුවෝ ඉන් ස්පේස්’ (Rendezvous in Space) හෙවත් ‘අභ්‍යවකාශයේ දී හමුවීම’ නිසා ඔහුට නාසා ආයතනයට බැඳෙන්න ඉඩ සැලසුණා, 1963දි.

ශී‍්‍රමත් ඬේවිඞ්ට ඕල්ඩි‍්‍රන් කීවේ 1966 දී ඔහු ජෙමිනි 12 සාමාජිකයකු ලෙස මුල්වරට අභ්‍යවකාශ තරණයට අවස්ථාව ලැබුණේ සිය අභ්‍යවකාශ සගයකු හදිසියේ ඛේදජනක ලෙස අනතුරට පත් වීම නිසා බවයි. ඒකෙන් තමයි, ඔහුට ඇපලෝ 11 ගමනට එක් වී හඳේ ඇවිදින්නට නියමිත දෙදෙනා අතරට එක් වීමටත් හැකි වූයේ.

හඳ ගමනෙන් ලැබුණු ජගත් කීර්තියෙන් උදා වූ අභිනව ලෝකය නිසා ඔහුගේත් ආම්ස්ට්‍රෝන්ගේ ජීවිත උඩුකුරු යටිකුරු වුණා. අවිවේකී බවත් එයින් ඇති වූ පීඩනයත් නිසා විෂාදයටත් (depression) මදිරාබාධයටත් (alcoholism) ලක්වුණා.

පසුව එයින් මිදුණු ඔහු විෂාදියෙන් හා මත්ලෝලීත්වයෙන් ජනතාව මුදවා ගනු පිණිස ‘මෙන්ටල් හෙල්ත් ඇමරිකා’ (ඇමරිකාවේ මානසික සෞඛ්‍යය) කියා සංවිධානයක් පිහිටුවා එහි තවමත් සභාපති වශයෙන් කටයුතු කරනවා.

ඔහු සිය අත්දැකීම් අලළා ‘රිටර්න් ටු අර්ත්’ (Return to Earth) කියා පොතක් ද ලියුවා.

නාසා ආයතනයෙන් විශ‍්‍රාම ලැබූ පසුත් ඕල්ඩි‍්‍රන් අභ්‍යවකාශ ගමන් හා සංවර්ධනය පිළිබඳ බලසම්පන්න අයකු බවට පත් ව සිටියා. ඇමරිකා ජනාධිපතිවරුන්ට උපදෙස් දුන්නා.

ඔහු ශී‍්‍රමත් ඬේවිඞ්ට කීවේ මිනිසා නැවත හඳට යාම අනවශ්‍ය බවයි. ඒ සඳහා විශාල සම්පත් ප‍්‍රමාණයක් යෙද විය යුතු වෙනවා. ඒ නිසා ඒ සම්පත් කැප කොට විශ්වයේ තවත් ඈතට යාමට උත්සාහ කළ යුතු බවයි. ‘අඟහරු මත ජනාවාස ඇති කරන්න උත්සාහ ගත යුතුයි.’ ඔහු අවධාරණය කරනවා.

ඔහු ‘කැටපෝලයකින් විදීම’ වැනි ක‍්‍රමයකට සමාන කක්ෂගත පද්ධතියක් සංවර්ධනය කර තියෙනවා, අඟහරු වෙත මිනිසුන් ගෙන යාම සඳහා.

අභ්‍යවකාශ තරණය ගැන පුද්ගලික අංශය දක්වන උනන්දුව ගැන ඔහු සතුටු වෙනවා. විශ්වයේ වෙනත් ජීවීන් සිටීම ඔහු ප‍්‍රතික්ෂේප කරන්නේ නැහැ. මෑතදී රුසියාවට වැටුණු උල්කාශ්මය ගැන සඳහන් කරමින් ඔහු කීවේ, ‘කොයි මොහොතේ හෝ අපට අනතුරක් විශ්වයෙන් එන්න ඉඩ තියෙනවා. මනුෂ්‍ය වර්ගයාට එන එවන් උවදුරකින් බේරෙන්න වෙනත් ලෝකයක් අප විසින් සූදානම් කර ගත යුතු වෙනවා.’ ඔහු අවසාන වශයෙන් කීවා.

වීඩියෝව නරඹන්න.



Post a Comment

0 Comments