තාරකා යුද්ධයකින් පසු උපදින රත්තරන් - අලූත්ම අධ්‍යයනයකින් හෙළි වෙයි!

අපි රන් අගය කරන්නේ කරුණු කීපයක් නිසයි. එකක් එහි ඇති අලංකාරය. ඒ වගේ ම ආභරණ තැනීමාදියෙහි දී ඇති ප‍්‍රයෝජනය එහි වැදගත්ම අංගයයි. ඒ විතරක් නොවේ ලොව ඇති දුර්ලභ මූල ද්‍රව්‍යයක් ලෙසත් එය අපට වැදගත්. මුල්‍ය හුවමාරුවල ප‍්‍රධාන සාධකයත් එයයි.

ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් හෙළි කර ගෙන ඇති අලූත් ම තොරතුරු අනුව අනෙක් කරුණු සියල්ලට ම වඩා රන් අපට වැදගත් වෙන හේතුවක් දැන් සොයා ගෙන තියෙනවා. පෘථිවියේ ඇති සියලූ ම රන් අපට ලැබී ඇත්තේ ඉතාමත් දුර්ලභ සිදුවීමක් නිසයි. ඒ අනුව එය මිය ගිය තරු දෙකක් එකට හැපීමෙන් පසු උපන් දෙයක් ලෙසයි සැලකෙන්නේ.

 
ඇමරිකානු විද්‍යාඥයන් හෙළි කර ගෙන ඇත්තේ, පෘථිවියේ සියලූම රන් නිපදවී ඇත්තේ බොහෝ කලකට ඉහත සිදු වූ මළ තරු දෙකක් එකටෙක ගැටීමෙන් කියලයි.

තාරකාභෞතික විද්‍යාව සඳහා වූ හාවඞ්-ස්මිත්සෝනියානු කේන්ද්‍රයේ (Harvard-Smithsonian Centre for Astrophysics) විද්‍යාඥයන් කියන්නේ මෙවැනි වටිනා ලෝහයක් බිහි වූයේ ගැමා-කිරණ පිපිරීමක් නිසා බවයි. එවැනි පිපිරීමකින් තමා සැලකිය යුතු ප‍්‍රමාණයක බර මූල ද්‍රව්‍ය බිහි වන්නේ.

රන් පෘථිවියෙහි ඇති ඉතා දුර්ලභ ලෝහයක්. ඒ විතරක් නෙවෙයි, එය විශ්වයේත් ඉතා දුර්ලභයි.

‘එය කාබන් හෝ යකඩ වගේ තරුවක් ඇතුළේ නිර්මාණය වෙන්නට විධියක් නැහැ. ඒ වෙනුවට එය බිහි විය හැක්කේ කෙටි ගැමා-කිරණ පිපිරීමක් ඇති විය හැකි ඉමහත් ව්‍යසනකාරී සිදු වීමක් නිසා පමණයි, එවැනි ලෝහයක් පැන නැගිය හැක්කේ.’ ඔවුන් කියනවා.

එවැනි එක් සිදු වීමක් පසුගිය මාසයේ මේ විශ්වය තුළ සිදු වූ බවට වාර්තා වුණා.

එම සිදු වීමේ නිරීක්ෂණවලින් නිගමනය කරනු ලැබුවේ එසේ පිපිරුණේ නියුට්‍රෝන තරු දෙකක් එකට ගැටීමෙන් බවයි. ඒවා කලින් සුපර්නෝවා (අධිනවතාරාව) ලෙස පිපිරීමට ලක්ව මියගිය හරයන් (cores) ලෙස පැවති ඒවායි.

මෙවන් පිපිරීමක දී සුවිශේෂ දීප්තියක් නිකුත් වෙනවා, ඒ ගැමා-කිරණ පිපිරීම සිදු වූ ස්ථානයෙන්. දින ගණනාවක් තිස්සේ මෙය සිදු වෙනවා. එයින් සලකුණු වන්නේ රන් ඇතුළු අති විශාල බර මූල ද්‍රව්‍ය ප‍්‍රමාණයක් එහි ප‍්‍රතිඵලයක් ලෙස සැදෙන බවයි.

මෙම පර්යේෂණයට සම්බන්ධ වූ මහාචාර්ය එඩෝ බර්ජර් කීවේ, ‘අපි ඇස්තමේන්තු කළා ඒ නියුට්‍රෝන තරු දෙක එකට බද්ධ වෙන එම පිපිරීමේදී නිපදවෙන හා විමෝචනය කෙරෙන රන් ප‍්‍රමාණය චන්ද්‍රයන් 10කගේ ස්කන්ධයටත් වැඩියි.’ කියායි.

‘ඒක ඇත්තෙන් ම ඉතාමත් ආකර්ෂණීය පිපිරීමක්.’ ඔහු වැඩිදුරටත් කීවා.

 
රන් උපන්නේ මහා ව්‍යසනයක් සේ සැලකිය හැකි අභ්‍යවකාශ වස්තූන් දෙකක් ගැටීමෙන්. එවැන්නක් පසුගිය මාසේ සිදු වුණා. එය හැඳින්වුණේ කෙටි ගැමා-කිරණ පිපිරීමක් ලෙසයි. එම සිදු වීමේ නිරීක්ෂණවලින් නිගමනය කරනු ලැබුවේ එසේ පිපිරුණේ නියුට්‍රෝන තරු දෙකක් එකට ගැටීමෙන් බවයි. ඒවා කලින් සුපර්නෝවා (අධිනවතාරාව) ලෙස පිපිරීමට ලක්ව මියගිය හරයන් (cores) ලෙස පැවති ඒවායි.

මෙම ගැමා-කිරණ පිපිරීම් අධික බලශක්තියක් ජනනය කරන අති ප‍්‍රබල පිපිරීම් පමණක් නොව එවැනි දෑ වැඩි හරියක් සිදුවනු දැක ගත හැක්කේ ඈත විශ්වයේයි.

මහාචාර්ය බර්ජර් හා සගයන් පසුගිය ජූනි මාසයේ අධ්‍යයනය කළ මේ 130603 බී ගැමා-කිරණ පිපිරුම සිදු වූයේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන හතරක් පමණ ඈතින්. එය මෙතෙක් හඳුනා ගෙන ඇති පෘථිවියේ අපට ආසන්නතම පිපිරුම ලෙස දක්වන්න පුළුවන්.

ගැමා-කිරණ පිපිරීම් දෙයාකාර වෙනවා, දිගු හා කෙටි ආදී වශයෙන්. එය රඳා පවතින්නේ ගැම-කිරණවල දීප්තිය පවතින කාලය අනුවයි.

ගැමා-කිරණ පිපිරීමක් (130603 බී) නාසා ආයතනය විසින් යවන ලද ස්විෆ්ට් (Swift) චන්ද්‍රිකාව මගින් සොයා ගනු ලැබුවා, පසුගිය ජූනි 3 වැනිදා. එය රඳා පැවතියේ තත්පරයකින් දහයෙන් දෙකකටත් අඩු කාලයක් විතරයි.

ගැමා-කිරණ ඉක්මනින් වියැකී ගියත් ඒ ‘130603 බී’ නම් ගැමා-කිරණ පිපිරුමේ දීප්තිය කෙමෙන් අඩු වී ගියේ අධෝරක්ත කිරණවල බලපෑමෙන්.

එහි දීප්තිය හා හැසිරීම නියම ‘පසුදිලියුමකට’ සරිලන ආකාරයට සිදු වුණේ නැහැ. එසේ වූයේ අධි වේගයෙන් විහිදුණු අංශු ධාරාවලින් අවට පරිසරය වසා ගත් නිසා විය හැකියි. ඒ වෙනුවට එම දීප්තිය හැසිරුණේ බැහැරින් ආ විකිරණ මූල ද්‍රව්‍යවලින් සිදු වන්නක් ලෙසයි.

 
විද්‍යාඥයන් මේ නියුට්‍රෝන තරු දෙක (වමේ) එකට ගැටී සිදු වූ පිපිරීමෙන් (දකුණේ) නිකුත් වූ ගැමා කිරණ දීප්තීන් අධ්‍යයනය කළා. ඔවුන් සිතනවා මෙවැන්නකින් බර මූල ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් ජනිත වෙතැයි කියා.

නියුට්‍රෝන තරු එකිනෙක ගැටීමේ දී නියුට්‍රෝන අධික ද්‍රව්‍ය විමෝචනයක් සිදු වෙනවා. එවැනි අවස්ථාවලයි මේ බර මූල ද්‍රව්‍ය ඇති වන්නේ. එහිදී ඒවායේ විකිරණ ක්ෂය වීමක් සිදු වෙනවා. ඒ අවස්ථාවල දී තමයි, අධෝරක්ත ආලෝකයක් නිකුත් වන්නේ. මේ විද්‍යාඥ පිරිස නිරීක්ෂණය කළේ හරියටම මේ තත්වයයි.

තාරකාභෞතික විද්‍යාව සඳහා වූ හාවඞ්-ස්මිත්සෝනියානු කේන්ද්‍රයේ මේ පර්යේෂණාත්මක අධ්‍යයනයට එක් වූ වෙන් ෆායි ෆොන් (Wen-fai Fong) ඒ ගැන කීවේ මෙහෙම කතාවක්: ‘‘අප සොයා ගියේ ‘පත්තු වූ තුවක්කුවක දුමාරය’ වැනි යමක්. එය කෙටි ගැමා-කිරණ පිපිරුමක් හා නියුට්‍රෝන තරු ගැටුමකින් පසු හමුවන්නක් ලෙසයි, එනම් 130603 බී ගැමා-කිරණ පිපිරුමත් එවැනි විකිරණශීලී දීප්තියක් ඇති කරන්නක් ලෙසයි අප සිතුවේ.’’

විද්‍යාඥයන් ගණනය කළා මේ ගැමා-කිරණ පිපිරුමෙන් සියයට එකක් තරම් වූ සූර්ය ස්කන්ධ ද්‍රව්‍ය ප‍්‍රමාණයක් පිටතට විසි වෙනවා. ඒ අතර රන් කිසියම් ප‍්‍රමාණයක් ඇතැයි සැලකෙනවා.
එක කෙටි ගැමා-කිරණ පිපිරුමකින් උත්පාදනය වන රන් ප‍්‍රමාණය සැලකූ විට විශ්වයේ ආයු කාලය තුළ සිදු වූ එවැනි පිපිරුම් ගණනාවකින් මතු වූ රන් ප‍්‍රමාණය විශාල විය හැකියි. මේ සමස්ත සක්වළ සියලූ රන් බිහි වී ඇත්තේ ඒ ආකාරයෙනුයි.

මහාචාර්ය බර්ජර් කියන විධියට අප තරුවලට අයත් අයයි. අප පලඳින්නේත් තරු ගැටීමෙන් ලත් රන්වලින් තැනූ අබරණයි.

තොම්සන් රොයිටර් ජගත් රන් සමීක්ෂණයට (Thomson Reuters GFMS survey) අනුව මිනිසා විසින් තවමත් පරිහරණයට එක් කර ගෙන ඇත්තේ පෘථිවියේ ඇති ටොන් 172,000ක් වූ මුළු රන් සංචිතයෙන් ඉතාමත් සුළු මාත‍්‍රාවක් පමණයි.

මෙයින් රන් වැඩි ප‍්‍රමාණයක් ඇත්තේ ළඟා විය නොහැකි තරම් ගැඹුරින්, එනම්, පෘථිවියේ හරයේයි. ඒවා සියල්ලම අපට එක තැනකට ගත හැකි වුවහොත් එයින් අපට තැනිය හැක්කේ මීටර 21කක් දිග, පළල හා උස ඇති හතරැස් කුට්ටියක් විතරයි.



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

4 Comments

  1. amazing great story thanks for share

    ReplyDelete
  2. රත්තරන් ඔච්චර ගනන් ඒකයි නේද?

    ReplyDelete
  3. ඉතාමත් වටිනා ලිපියක් ! බොහොම ස්තුතියි ! ...ඒවගේම ඔබතුමාලගෙන් තව එක ඉල්ලීමක් කරන්න තියෙනව...මම අද ප්‍රවෘත්ති වලට දැක්ක 'ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගන්න නව මදුරු විශේෂයක් ලංකාවෙන් සොයාගෙන තියෙනව කියල'...ඒ ගැන විස්තරයක් පුළුවන්නම් පළකරන්න...

    ReplyDelete