HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇයි අපි තරහ ගියාම එකිනෙකාට කෑ ගහ ගන්නේ?

හින්දු සාධුවරයෙක් ගංගා නම් ගඟ දෙසට යමින් සිටියේ ස්නානය කිරීම පිණිසයි. ඔහු පසුපස ගෝල බාලයන් පිරිසක් ද යමින් සිටියා.

ඒ යන අතරමඟ ගං ඉවුරේ තැනක එක පවුලකට අයත් පිරිසක් රණ්ඩු වෙමින් සිටියා. ඔවුන් සිටියේ කෝපයෙන් දැවෙමින් එකිනෙකාට කෑකෝ ගසමින්.

සාධුවරයා ගෝලයන් දෙසට හැරී සිනාවක් මුහුණට නඟා ගෙන මෙසේ ඇසුවා: ‘ඇයි මේ මිනිස්සු තරහ ගියාම එකිනෙකාට මහ හඬින් බැණ අඬ ගහන්නේ?’


ගෝලයන් ටිකක් වෙලා කල්පනා කළා. ඉන්පසු අයෙක් මෙහෙම කීවා: ‘අපේ හිතේ සාමය නැති වුණාමයි අපි මේ විදියට කෑගහන්නේ’

‘ඉතින් ඇයි ඔබ කෑගහන්නේ, අනික් තැනැත්තා ඔබ ළඟම ඉන්නවා නම්. ඔබට කියන්න තියෙන දෙයක් හෙමිහිට එයාට කියන්න පුළුවන් නෙ.’ සාධුවරයා ඇසුවා.

අනිත් ගෝලයනුත් එක එක උත්තර දුන්නා. ඒ එකක්වත් හරි ගියේ නැහැ.

අන්තිමේ දී සාධුවරයා එය මෙසේ පැහැදිලි කළා.

‘දෙදෙනෙක් එකිනෙකා සමග කෝප ගත්තාම ඔවුන්ගේ හදවත් එකිනෙකා ගෙන් ඈත් වෙනවා. ඒ දුර නිසා එකිනෙකාට ඇහෙන්න නම් ඒ දුරට හරියන විධියට කෑ ගහලා කතා කරන්න ඕනෑ. ඔවුන්ගේ තරහ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ වැඩි දුරට හරියන විධියට තව තවත් හයියෙන් කෑ ගහල කතා කරන්න ඔවුන් දෙදෙනාට සිද්ධ වෙනවා.’

‘දැන් බලන්න දෙදෙනෙක් ආදරය කරන කොට මොකද වෙන්නේ? ඔවුන් එකිනෙකාට කෑ ගහ ගන්නෙ නැහැ. හෙමින් කතා කරන්නෙ. ඒ මොකද ඒ අයගෙ හදවත් ළං වෙලයි තියෙන්නෙ. ඒවා අතර දුරක් ඇත්තෙම නෑ. නැත්නම් තියෙන්නෙ ඉතාමත් කෙටි දුරක්.

සාධුවරයා තවත් කතා කරන්නට වුණා. ‘ඔවුන් දෙදෙනා එකිනෙකාට තව තවත් ආදරය කරන්න පටන් ගත්තා ම කතා කරන්නෙ නෑ. එකිනෙකාට කොඳුරනවා විතරයි. ඒ දෙන්නා තව තවත් ළං වුණාම කොඳුරන්නෙත් නැහැ. ඔවුන් එකිනෙකා දෙස නිහඬව බලා ඉන්නවා විතරයි. එහෙම තමයි දෙන්නකු එකිනෙකාට ආදරය කරන විට.’

සාධුවරයා ඊළඟට ගෝලයන් දෙස බලා අවසාන වශයෙන් මෙහෙම කිව්වා: ‘ඒ නිසා, ඔබලා වාද කරන විට හදවත්වලට ඈත් වෙන්න ඉඩ දෙන්න එපා. හදවත් තව තවත් ඇත් කරන වදන් එකිනෙකාට කියා ගන්න එපා. එහෙම වුනොත් ඔබලා අතර ඇති දුර කොතරම් වැඩි වෙයිද කීවොත් ආපසු එන පාරවත් ඔබලාට හොයා ගන්න බැරි වේවි.’

(අපට ලැබුණු හින්දු උපමා කතාවක්)





Post a Comment

6 Comments

  1. ඉතාමත් ම හොඳ ආදර්ශවත් කථාවක්...මේක අද කාලෙටනම් හොඳට ගැළපෙනව........තව....මේ කථාවේ කියවෙන මේ, හදවත් අතර සම්බන්ධය, දැන් කෙරෙන සමහර මනෝ විද්‍යාත්මක පරීක්ෂණ වලටත් හසු වෙලා තියනවනේද?....විශිෂ්ට ලිපියක්...ඔබලාට ස්තුතියි!...

    ReplyDelete
  2. උදේ පාන්දර හරි අපූරු ආදර්ශමත් කතාවක් කියවන්න සැලැස්සුවට ඔබලාට පින් අත්වේවා!!

    ReplyDelete
  3. ඒකත් ඇත්ත...... මේ ලින්ක් එක මේල් එකක් දිගේ මට ආවේ සෙන්නා හරහා.... සෙන්නට ස්තුතියි.

    මේ බ්ලොග් එකට එහෙමනං මම ඉදිරියෙදි මුකුත් කියන්නේ නැ.... නිහඩව බලාගෙන ඉන්නංකෝ....

    ReplyDelete
  4. නියම කතාවක් හිතන්න දෙයක් තියෙනවා

    ReplyDelete
  5. නියම තේරුමක් තියෙන කතාවක්..

    ReplyDelete
  6. ගොඩාක් හොදයි

    ReplyDelete