අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට වල්ගයක් තියෙනවා! ඉබෙක්ස් යානය පොළොවට දත්තවලින් හෙළිවෙයි!

නාසා ආයතනයේ අභ්‍යවකාශ යානයක් පසුගියදා විස්මිත දෙයක් දැක්කා. කාලයක් තිස්සේ අපේ විද්‍යාඥයන් විසින් ඇතැයි සැක කළ, අප කිසිදාක නුදුටු දෙයක් තමයි, එසේ දැක්කේ. ඒ වෙනත් කිසිවක් නොව අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ වලිගයයි.

අපේ විද්‍යාඥයන් බොහෝ කලකට පෙර අපේ සෞරග‍්‍රහ මණ්ඩලයටත් ධූමකේතුවකට වාගේ වල්ගයක් තිබිය යුතු යැයි මතයක් පළ කර තිබුණා. අභ්‍යවකාශය හරහා යන ගමනේ දී අපේ සෞරග‍්‍රහ මණ්ඩලය පසුපසින් අංශු ධාරාවක් ගලා යා යුතු යැයි ඒ න්‍යායෙන් කියැවුණා.

ඒ න්‍යාය සැබෑවක් බව දැන් මේ විස්මිත දසුනත් සමග ඔප්පු වී තියෙනවා. නාසා ආයතනය විසින් යවා ඇති ඉබෙක්ස් (IBEX) යන කෙටි නමින් හැඳින්වෙන අන්තස්තාරීය පර්යන්ත ගවේෂක අභ්‍යවකාශ යානය (Interstellar Boundary Explorer) විසින් ප‍්‍රථම වතාවට මේ සෞරග‍්‍රහ ගෝලය හෙවත් සූර්ය බුබුළ මුදුනේ පටන් විහිදී සෞරග‍්‍රහ මණ්ඩලය පසුපස ඇදී යන වල්ගය දැක තියෙනවා.

 
මේ රූප සටහනේ සුදු තිතකින් දැක්වෙන්නේ අපේ සූර්යයායි. ඒ වටා ඇත්තේ අභ්‍යන්තර සූර්යගෝලයයි. පසුපසින් ඈතට විහිදී යන්නේ වල්ගයයි. නිල් පැහැයෙන් දැක්වෙන්නේ බාහිර සූර්යගෝලය සහිත කොටසයි. ඒ කලාපයට සූර්ය බලපෑම ඉතා සුළුයි.

අපේ සෞරග‍්‍රහ මණ්ඩලය හරියට පෘථිවි වායුගෝලය හරහා යන උල්කාවක් වගෙයි. ඒ උල්කාව පසුපස අංශු ධාරාවක් ඇදී යනවාක් මෙන් ඒ පසුපසත් අංශු ධාරාවක් ගලා යනවා.

ඉබෙක්ස් යානය මේ සූර්යගෝලයේ වල්ගයේ සීමා සිතියම් ගත කර තියෙනවා. මෙය මින් පෙර කිසිදාක කළ නො හැකි ව තිබූ දෙයක්.

මේ පිළිබඳව විස්තරයක් තාරකාභෞතික විද්‍යා සඟරාවක් වූ ‘ඇස්ට්‍රොෆිසිකල් ජර්නලයේ’ (The Astrophysical Journal) ලිපියක් මගින් පළ කරල තියෙනවා. එහි මේ වල්ගය විද්‍යාඥයන් විසින් හඳුන්වා ඇත්තේ සූර්යවල්ගය යන අරුත් ඇති ‘හේලියෝටේල්’ (heliotail) යන වදනෙනි.

මේ ඉබෙක්ස් යානය මගින් මුල් වසර තුන තුළ ලබා දෙන ලද නිරීක්ෂණ අනුව පර්යේෂක කණ්ඩායම වල්ගයේ හැඩ රුව සටහන් කළා. එහි වේගයෙන් හා හෙමින් ගලා ගිය අංශු දෙවර්ගයක් ඇති බව ඔවුන්ට පෙනී ගියා.

නාසා ආයතනය කියන්නේ, දෙපැත්තේ වඩා හෙමින් යන අංශූන් රැගත් තීරු දෙකක් ඇති අතර ඒ මැදින් වේගවත් අංශූන් රැගත් තීරු ඇති බවයි. මේ මුළු ව්‍යුහයම දඟර වී ඇතැයිද එය සිදු වන්නට ඇත්තේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති චුම්බක ක්ෂේත‍්‍රවල ඇදීමේ හා තල්ලූ කිරීමේ කි‍්‍රයාවල ප‍්‍රතිඵලයක් නිසා විය හැකි යැයි ද ඔවුන් පැහැදිලි කරනවා.

‘උදාසීන අණු පරීක්ෂා කර බලා ඉබෙක්ස් මුල්වරට නීරීක්ෂණය කළා මේ සූර්යවල්ගය ගැන’ යැයි ටෙක්සාස්වල සැන් ඇන්ටෝනියෝහි පිහිටි සවුත්වෙස්ට් පර්යේෂණ මධ්‍යස්ථානයෙහි ඬේවිඞ් මැකොමාස් කියනවා. ඔහු ඉබෙක්ස් ගවේෂණයේ ප‍්‍රධාන පරීක්ෂකවරයා. ඒ වගේ ම මේ පිළිබඳව පළ කළ පර්යේෂණ ලිපියේ සම්පාදකවරයා.

‘මේ වන තෙක් සූර්ය වලිගයේ ස්වභාවය ගැන කෙතෙක් පළ වුනත් මේ වන තෙක් කිසිවකු විසින් එය නිරීක්ෂණය කර තිබුණේ නැහැ.’ ඔහු වැඩිදුරටත් කියනවා.

දුරේක්ෂ මගින් කලින් වෙනත් තරුවල මෙවැනි වල්ගා ඇති බව නිරීක්ෂණය කර තිබුණා. ඒත් අපේ තරුව වූ සූර්යයාට එවැන්නක් තිබේදැයි නිසැකව දැන ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ.

 
උල්කාවල මෙන් වල්ගා වෙනත් තරුවලටත් තියෙනවා. නාසා ආයතනයේ ඉබෙක්ස් ගවේෂණ යානය අපේ සෞරග‍්‍රහ මණ්ඩලයටත් වල්ගයක් ඇති බව තහවුරු කළා. එවැනි වල්ගා ඇති තරු කීපයක් මේ. ඉහළ වමේ සිට, එල්එල් ඔරියෝනිස්, බීඉසැඞ් කැම් හා මීරා තරුයි, මේ.

1972 මාර්තු මාසයේදී උඩු ගුවනට යැවූ පයනියර් 10 ඉන් අවුරුදු 11කට පසු 1983 දී නැප්චූන් කක්ෂය හරහා යද්දී විද්‍යාඥයන් සිතුවා තවත් වසර කීපයකින් එය දැක ගන්න මග පෑදෙයි කියා. ඒත් ඒ වන විට වසර 20ක් තිස්සේ ගමන් කරමින් තිබූ එය සූර්යවල්ගය වෙත ළඟා වීමට පෙර එහි බලශක්තිය හීන වීම නිසා අවාසනාවකට ඒ අවස්ථාව මග හැරී ගියා.

කෙසේ වෙතත්, සූර්යගෝලයේ සීමාවල සිදුවන ගැටීම්වලින් මතුවන උදාසීන අංශූන් මැන බලා සිතියම් සකසන්න ඉබෙක්ස් සමත් වුණා.

‘උදාසීන අණු භාවිත කරමින් ඉබෙක්ස් නිරීක්ෂණ යානයට පෘථිවි කක්ෂයේ සිට වුනත් ඈත පිහිටි ව්‍යුහයන් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා’ යැයි නාසා ආයතනයේ මේ ඉබෙක්ස් මෙහෙයුමේ ප‍්‍රධාන විද්‍යාඥ මහාචාර්ය එරික් කි‍්‍රස්ටියන් කියනවා. මේරිලන්ඞ්වල ගී‍්‍රන්බෙල්ට්හී පිහිටි ගොඩාඞ් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ සිටයි ඔහු කි‍්‍රයාත්මක වන්නේ.

‘ඉබෙක්ස් සිටින්නේ මුළු අහස ම ස්කෑන් කරමින්. ඒ නිසයි එයට හැකි වුණේ, මුලින් ම දත්ත ලබා දෙන්න සූර්යගෝලයේ වල්ගය කෙබඳුදැයි කියා. මෙය ඉතා වැදගත් අවස්ථාවක් අපේ ක්ෂීර පථය හරහා ගමනේ දී එහි අපට හිමි තැන කෙබඳුදැයි තේරුම් ගන්න.’ යැයි මහාචාර්ය කි‍්‍රස්ටියන් වැඩිදුරටත් කියනවා.

විද්‍යාඥයන් මේ සිතියම යොදා ගෙන සූර්යවල්ගය තැනී ඇති ආරෝපිත අංශු ගැනත් සූර්යයාගෙන් හමා එන සූර්ය සුළං ගැනත් වැඩි වැඩියෙන් තේරුම් ගන්න තැත් කරනවා.

‘මේ වල්ගය තමා ක්ෂීරපථය තුළ අප තබන පිය සටහන්. ඒ ගැන තේරුම් ගන්නට අපට ඉඩක් ලැබෙනවා කියන්නේ අප ලබන ලොකු ජයග‍්‍රහණයක්.’ මහාචාර්ය කි‍්‍රස්ටියන් කියන්නේ සතුටින් ඉපිලෙමින්.

‘අපේ ඊළඟ පියවර විය යුත්තේ මේ නිරීක්ෂණ අපේ මොඩලයන්ට ඇතුළත් කර අපේ සූර්යගෝලය හොඳින් ම තේරුම් ගත හැකි කි‍්‍රයාවලියක් ආරම්භ කිරීමයි.’ මහාචාර්ය කි‍්‍රස්ටියන් පවසනවා.

‘ඒ වගේම විද්‍යාඥයන්ට හැකියාව ලැබෙනවා සූර්යගෝලය පිළිබඳව ඇති ඔවුන්ගේ පරිගණක අනුකරණයන් මේ නව නිරීක්ෂණ සමග සසඳා ඔවුන්ගේ මොඩල වැඩි දියුණු කර ගත හැකියි.’

මේ දෙයාකාරයෙන් ම අපට අවස්ථාව ලැබෙනවා අභ්‍යවකාශයෙන් ලැබුණු දත්ත මේ මිහිමත පිහිටි රසායානාගාරවලදී විශ්ලේෂණය කොට බලා අප පසුපසින් විහිදෙන විස්මිත වලිගය ගැන අපේ දැනුම තවත් වැඩි කර ගන්න.

 
මේ දත්ත නාසා ආයතනය විසින් යවා ඇති ඉබෙක්ස් නිරීක්ෂණ යානය මගින් සෞරග‍්‍රහ මණ්ඩලයේ වල්ගය නිරීක්ෂණය කර ලබා දුන් ඒවායි. කහ හා රතු වර්ණ පෙන්වන්නේ හෙමින චලනය වන අංශූන් වන අතර නිල් පැහැයෙන් දක්වෙන්නේ වේගයෙන් චලනය වන අංශූන්ය.

එහි වීඩියෝව පහතින් නරඹන්න.



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. විශිෂ්ට ලිපියක්! ...එහෙනම්, අපේ සූර්යයාත්, වල්ගාතරුවක් වගේ එකක්...¡

    ReplyDelete
  2. වැදගත් ලිපියක් දැනුම බෙදා හදා ගත්තාට ස්තුති අප සුර්යග්‍රහ මංඩලෙම තව කොතරම් නම් සැගවුනු රහස් ඇතිද..

    ReplyDelete