HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මේ ජූලි මාසේ 19 වැනිදා නාසා ආයතනයට සුවිශේෂ දවසක්. සූර්යග‍්‍රහණයක් අස්සේ එදාට පෘථිවියේ ඡායාරූපයක් ගන්නවා.

එදාට ඔවුන් සෙනසුරු ග‍්‍රහයා වටා යමින් තිබෙන කැසිනි-හියුජින්ස් (Cassini-Huygens) අභ්‍යවකාශ යානයේ කැමරාවලින් අපේ පෘථිවියේ වඩාත් පැහැදිලි ඡායාරූපයක් ගන්න සැලසුම් කරල තියෙනවා. ඒ පින්තූරය ගන්න අවස්ථාවේ කවුරුත් කර කර ඉන්න වැඩ නවත්තල එළිමහනට ඇවිත් අහස දෙස බලා අත් වනන්න යැයි නාසා ආයතනය දැනටමත් ඉල්ලීමක් කරලයි තියෙන්නෙ.

1997 ඔක්තෝබරයේ සිට කැසිනි යානය සෙනසුරු වටා කක්ෂයක යමින් තියෙනවා. කලින් අවස්ථා කීපයකදීම සෙනසුරු වටා යමින් පෘථිවියේ ඡායාරූප ගත්තද ඒවා එතරම් පැහැදිලි වුණේ නැහැ. එයට හේතුව සූර්යාගෙන් විහිදෙන ආලෝකයෙන් ඒ පින්තූර ගැනීමට බාධා පැමිණීමයි. ඒත් මේ මාසේ සෙනසුරුට පෙනෙන පූර්ණ සූර්යග‍්‍රහණයක් සිදු වෙනවා. ඒ අවස්ථා හිරු මුවා වන නිසා පෘථිවිය හොඳින් දැක ගත හැකි වේවි කියා විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඒ නිසයි මේ කටයුත්ත සූර්යග‍්‍රහණය දාට යොදා ගෙන තියෙන්නෙ.

සෙනසුරුට පෙනෙන දුර්ලභ සූර්යග‍්‍රහණය යෙදී තිබෙන්නේ ජූලි 19 වැනිදාටයි. ඒ මොහොතේ කැසිනි යානයේ ඇති අති සංවේදී කැමරා උපකරණවලින් සූර්යාලෝකයේ බාධාවකින් තොරව අපේ පොළොවේ පැහැදිලි ඡායාරූපයක් ගත හැකි වේවි.

 
දැනට නව වසරක් තිස්සේ සෙනසුරු කක්ෂයක යන කැසිනි කලින් ගත් පෘථිවියේ ඡායාරූපයක්. මැද තිතක් සේ දිස්වෙන්නේ පෘථිවියයි. වම් කෙළවරේ ඉහළ එහි සමීප රූපයක්. හෙට අනිද්දා ගන්නා ඡායාරූපය මෙතෙක් ගත හැකි හොඳම එක වනු ඇති.

නාසා ආයතනය මේ ආකාරයට ඡායාරූපයක් ගන්නා වේලාව හරියටම කලින් දැනුම් දුන් පළමු වැනි වතාව මෙයයි. ඔවුන් බලාපොරොත්තු වෙනවා, ලෝක ජනතාව මේ සිදු වීමට සම්බන්ධ කර ගන්නට.

කැසිනි යානයේ කැමරා උපකරණ මෙහි සිට කි‍්‍රයා කරවන විද්‍යාඥ කණ්ඩායමේ නායිකා කැරොලින් පෝකෝ කියන්නේ, ‘අපි ඉතා ආසාවෙන් බලාපොරොත්තු වෙනවා පෘථිවියේ ඡායාරූපය ගන්නා ඒ අවස්ථාවේදී ලෝක ජනතාව තමන් කරමින් සිටින වැඩ නවත්වා මේ විස්මිත සිද්ධිය කෙරෙහි අවධානය යොමු කරාවිය කියා. අපේ අන්තර් ග‍්‍රහලෝක ගවේෂණ කි‍්‍රයාවලියෙන් අපේ ලෝකය ගැනත් අප ගැනත් පුළුල් ලෙස බලන්නට සැරසෙන මේ මොහොතේ අපේ උත්සාහයන් අගය කරන්නට හැම දෙනාම එක් වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.’ කියායි.

ඇයත් සමග මේ කාර්යයට එක් වන්නේ ඇමරිකාවේ කොලරාඩෝවේ බෝල්ඩර්හී පිහිටි ස්පේස් සයන්ස් ඉන්ස්ටිටියුට් නම් අභ්‍යවකාශ විද්‍යායතනයේ විද්‍යාඥයන් කණ්ඩායමක්.

නාසා ආයතනය මේ ඡායාරූපය ගැනීමට බලාපොරොත්තු වන්නේ ජූලි 19 වැනිදා ගි‍්‍රනිච් වේලාවෙන් (GMT) රාති‍්‍ර 21.27ත් 21.42ත් අතර කාලය තුළයි. මෙය නැගෙනහිර දිවා කාලයට (EDT) අනුව නම් සවස 5:27ත් 5:42ත් අතරයි.

මේ අවස්ථාව එක් වූවත් ඔබ බලාපොරොත්තු වෙන්න එපා ඔබේ ඡායාරූපයත් ඊට වැටේවිය කියා. සෙනසුරු සිටින්නේ සැතැපුම් මිලින 898ක් දුරින්. ඒ නිසා අභ්‍යවකාශයේ සිට බලන විට අපේ පොළොව පෙනෙන්නේ නිල් පාට තිතක් හැටියටයි. ඒ විතරක් නොවෙයි, ඒ මොහොතේ සෙනසුරු දෙසට හැරී තියෙන්නේ පෘථිවියේ උතුරු ඇමරිකාවත් අත්ලාන්තික් සාගරයත් අයත් කොටසයි.

 
සෙනසුරු ග‍්‍රහයා වටා කැසිනි යන මේ දසුන චිත‍්‍රශිල්පියකුගේ තෙලිතුඩින් සටහන් වූවක්. 1997 දියත් කළ කැසිනි යානය සිකුරු හා බෘහස්පතී ග‍්‍රහයන් පසු කොට ඒ ග‍්‍රහයන්ගේ ගුරුත්වාකර්ෂණය උදවු කර ගෙන සෙනසුරු වෙත ළඟා වුණා.

 
මෙයත් අභ්‍යවකාශයේ සිට ගත් අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ඡායාරූපයක්. මෙය ගන්නා ලද්දේ නාසා ආයතනයෙන් යවනු ලැබූ වොයේජර් - 1 යානයෙන්. ඊතලයකින් දක්වා ඇත්තේ පෘථිවියයි.

 
සෙනසුරු ග‍්‍රහයා හා පෘථිවි ග‍්‍රහයා දැක්වෙන දසුනක් චිත‍්‍රශිල්පියකුගේ තෙලිතුඩින්. සෙනසුරුත් පෘථිවියත් අතර දුර සැතැපුම් මිලියන 898ක්. ඒ නිසා 19 වැනිදා ගන්නා රූපයත් මේ තරම් කුඩා එකක්.

කැසිනි-හියුජින්ස් (Cassini-Huygens) අභ්‍යවකාශ යානය 1997 දී තමයි දියත් කළේ. වසර හතරකින් එහි කි‍්‍රයාකාරිත්වය අවසන් වෙතැයි සිතුවද තවමත් එය ඉතා හොඳින් කි‍්‍රයා කරනවා.

1998 දී හා 1999 දී සිකුරු වෙතත් 1999 දී පෘථිවිය වෙතත් ආ එය 2000 දී බෘහස්පතී වෙතත් ගියා. එය මේ වන විට සෙනසුරු වටා යමින් එහි චන්ද්‍රයන් පිළිබඳ තොරතුරු එවනවා.

රාත්තල් 12,600 බර මෙම අභ්‍යවකාශ යානය කි‍්‍රයා කරන්නේ න්‍යෂ්ටික බලයෙන්. එම බල ශක්තිය සැපයෙන්නේ රේඩියෝඅයිසොටෝප් තර්මෝඉලෙක්ටි‍්‍රක් විදුලිය ජනකවලින්.


Post a Comment

0 Comments