17 හැවිරිදි යුවතියක අතින් බිහිවෙන ලෝකයේ ලොකුම ලිලී මල මෙන්න!

උද්භිද විද්‍යාඥයන් යෝධ ශාක විශේෂ දෙකක් පරපරාගණය කොට ලෝකයේ විශාලතම ලිලී ශාකය බිහි කරන්න කළ උත්සාහයක් ගැන කතාවක්, මේ.

ආධුනික උද්භිද විද්‍යාඥවරියක් වන 17 හැවිරිදි හැනා රොජර්ස් (Hannah Rogers), බි‍්‍රතාන්‍යයට අයත් ලොකුම දූපත වූ අයිල් ඔෆ් වයිට් (Isle of Wight) හී වෙන්ට්නෝර් උද්භිද උද්‍යානයේ විශේෂඥයන් හා එක්ව ඇමසෝනියානු වෝටර් ලිලී ශාකයක් පරාගණය කරන්න සමත් වෙලා තියෙනවා. ලෝකයේ දැවැන්ත ශාක අතර එකක් වන මේ ජලජ ශාකයේ මල් පිපීම වසරකට රාති‍්‍ර දෙකකට සීමා වෙලයි තියෙන්නෙ.

රාති‍්‍ර කාලයේ සැරිසරණ ස්ක‍්‍රෑබ් (කුරුටු) කුරුමිණියන් තමයි, මේ ශාකය පරාගණය කරන්නේ. ඒ මල පිපී පවතින රාති‍්‍ර දෙක තුළ මුල් රාති‍්‍රයේදී ඒ මලෙන් අන්නාසිවල සුවඳට සමාන සැර සුවඳක් නිකුත් කරනවා. ඒ සුවඳට තමයි, ස්ක‍්‍රෑබ් කුරුමිණියන් ඒ කරා ඇදී එන්නේ.

 
මේ ශාක ලෝකයේ විස්මය පසුගියදා පිපුණේ බි‍්‍රතාන්‍යයේ අයිල් ඔෆ් වයිට් දූවේ පිහිටි වෙන්ට්නොර් උද්භිද උද්‍යානයේදියි. මහ රෑ පිපෙන මේ මල ඇගේ අතින් ම පරාගණය කළේ හැනා රෝජර්ස් කියන 17 හැවිරිදි වීර තරුණියක්.

මේ අසාමාන්‍ය පැළෑටියේ මල් පිපෙන්නේ රාති‍්‍ර කාලයේ දීයි. එය පිපෙන්නේ මුලින්ම සුදු පැහැති මලක් ලෙසයි. ඒ පළමු රැයේ දී විතරයි. ඉන්පසු ඒ මල ලිංගය මාරු කරනවා. පසුවදා රැයේ දී ඒ මල පිපෙන්නේ තද රතු පැහැයෙන් පිරුණු මලක් ලෙසයි. එදා රෑ එය දියේ ගිලෙනවා, සදහටම. ඒ මලේ ආයු කාලය රෑ දෙකක් විතරයි.

උද්භිද විද්‍යාඥයන් උත්සාහ ගත්තා, මේ ලිලී වර්ගයේ ශාක විශේෂ දෙකක් එක් කොට දෙමුහුමක් තනන්න. ඒ වික්ටෝරියා කෘසියානා හා වික්ටෝරියා ඇමසෝනියා යන දෙ ජාතියයි. ඒ මුසු කිරීමෙන් උපන් ශාකය ලෝකයේ ලොකුම ලිලී විශේෂය කියලයි ඔවුන් කියන්නේ.

මේ යෝධ පැළෑටිය අඩි 6ක් පළලයි. විස්මිත වේගයකින් වැඩෙනවා. මෑ ඇටයක් තරම් මෙහි බීජයකින් පැළයක් හැදෙන්න ගත වෙන්නේ තුන් මාසයක් විතරයි.

මේ පුංචි ඇට හිටවන්නේ අඩි 8ක ප‍්‍රමාණයේ හතරැස් බඳුන්වලයි. මෙයට පොහොර ටොන් දෙකක් ඕනෑ. එයින් පසු එය ගැලූම් 22,000ක ජලය ඇති ජලාශයක ගිල්වා තියනවා.

මල් පිපුනෙ මේ ජූලි මාසයේ. ඔක්තෝබර් වෙන කොට මේ ශාකය මිය යනවා. මේ ශාකය විශේෂයෙන් වැඩෙන්නෙ නිශ්චිත උෂ්ණත්වයක් යටතේ. එංගලන්තයේ මේ ශාකය රෝපණය කර ඇත්තේ ඒ ආකාරයට විශේෂ පරිසරයක් මවලයි. මුළු ලෝකයටම මේ විදියේ තැනක් ඇත්තේ සකසා මේ උද්‍යානයේ විතරයි.

මේ ගෘහය ඇතුළේ පුරවා ඇති ජලය සෙල්සියස් අංශක 26ටයි තියෙන්නෙ. අවට පරිසරයේ වාතයේ උෂ්ණත්වය සෙල්සියස් 45යි. ආර්ද්‍රතාව ඇත්තේ 95ක ප‍්‍රතිශතයකින්.

බි‍්‍රතාන්‍යයේ වෙන්ට්නෝර් උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ කි‍්‍රස් කිඞ් මේ ගැන කියන්නේ අපූරු කතාවක්. ‘මේ යෝධ ඕලූ විශේෂයේ ප‍්‍රජනන කි‍්‍රයාවලිය අතිශයින් පුදුමාකාර එකක්. පිපුණු මුල් රාති‍්‍රයේ දී මේ මල දීප්තිමත් සුදු පැහැයක් ගන්නවා. ඉතා සැර සුවඳක් නිකුත් කරනවා, ඉදුණු අන්නාසිවල සුවඳට සමාන. එයින් තමා පරාගණකාරකයා ආකර්ෂණය කර ගන්නේ. ප‍්‍රජනන කටයුතුවලට තියෙන්නේ එක රැයයි. මෙහිදී පරාගණකාරකයා වන්නේ ස්ක‍්‍රැබ් බීට්ල් (කුරුටු කුරුමිණියා).’ යැයි ඔහු කියනවා.

 
මේ යෝධ ඇමසන් ලිලී ශාකයේ මල් පිපෙන්නේ අවුරුද්දකට එක් වරක් පමණයි. ඒ පිපුණු මග් පවතින්නේ රාති‍්‍ර දෙකක් විතරයි. හනා රෝජර්ස් රාති‍්‍රයේ ම දිය මතින් පිහිනා ගොස් මේ වික්ටෝරියා ක්රූසියානා ශාකයේ පිපුණු මලේ පරාග අතින් ගෙන පරාගණය සිදු කළා.

‘මේ කුරුමිණියා මලට ඇදී ඇවිත් මලෙන් රොන් ගන්න ආවාම මල හෙමිහිට පෙති හකුළා ඌව වැළඳ ගන්නවා. ඒක ඇතුළේ පැණි සහිත කොටස් ඌ ආහාරයට ගන්නවා. ඒ වගේ ම ඒ මල ඇතුළේ උණුසුම අංශක පහක් පමණයි. පසුවදා වන තෙක් කුරුමිණියා ඒ ඇතුළේ හිර වෙනවා. පසුවදා රාති‍්‍රයේ යළිත් මල පිපුණාමයි, ඌට එළියට යන්න හැකි වන්නේ.

‘ඒ වන විට අපූරු දෙයක් සිද්ධ වෙලා. සුදෝ සුදු මල ලිංග පෙරළියකට ලක් වෙලා. තද රත් පැහැයට හැරිලා. ඒ ඇත්තේ පිරිමි මලක්. කුරුමිණියා ඒ පිරිමි මලේ පරාග ඇෙඟ් තවරා ගෙන එතැනින් ඉගිලිලා වෙන මලක් සොයා ගෙන යනවා. කලින් දා මේ මලට එන කොටත් තවත් මලකින් පිරිමි පරාග අර ගෙනයි ඌ ආවේ. මේ සුවිශේෂ මල පරාගණය වෙන්නේ එහෙමයි.’ කිඞ් පැහැදිලි කළා.

‘අපි මේ කටයුත්ත පින්සලකින් අතින් කළා. ඒ විදියටම. හැනා තමයි රාති‍්‍රයේ නිදි මරා ගෙන ඒ කටයුත්ත කළේ.’ කිඞ් වැඩිදුරටත් කීවා.

 
මේ මල හරිම පුදුම මලක්. මනාලියක් වගෙයි. මුල් දවසේ සුදෙන් සැරසිලා. පසුවදා තද රත් පැහැයෙන් සැරසිලා. ජීවත්වෙන්නේ රෑ දෙකයි.

උද්භිද විද්‍යාඥයන් මේ විධියට ඔවුන්ගේ කාරිය කරන එක ගැන එංගලන්තයේ ඉන්නා කුරුටු කුරුමිණියන් දැන ගත්තොත් ‘කුරු කුරු’ ගාන්න බැරි නෑ.

මේ මලට වික්ටෝරියා කියන නම දැම්මේ 19 වැනි සියවසේ මැද හරියේ දී ඒ සොයා ගත් බි‍්‍රතාන්‍ය ජාතික විද්‍යාඥයන් එවකට බි‍්‍රතාන්‍යයේ රජකම් කළ වික්ටෝරියා රැජින සිහිවීමටයි.

උද්භිද විද්‍යාඥ කිඞ් එංගලන්තයේ කීව් උද්‍යානයේ සේවය කරද්දී 1996 දී මේ වර්ගයේ ශාකයක් රෝපණය කළා. එහි පත‍්‍රයක පළල අඩි 8 යි අඟල් නවයක් වුණා. දෙමුහුන් කිරීමෙන් විශාල පත‍්‍ර සහිත ශාක බිහි කළ හැකියි කියලයි ඔහු කියන්නෙ. ‘මේ අලූතින් කළ දෙමුහුන් පැළෑටියේ මීටත් වඩා ලොකු පත‍්‍ර ඇති වේවි. ඒ පත‍්‍රවල දාරත් මීට වඩා උස් වේවි. සාමාන්‍යයෙන් මේ ශාකයක පත‍්‍රයක් අඩි 6ක් විතර වුනත් මේ නව පැළෑටියේ පත‍්‍රයක් අඩි 9ක් විතර වේවි කියලයි අපි හිතන්නෙ.’ ඔහු ඒ පිළිබඳ විස්තර කළා.

‘ලබන වසරේ මේ කාලෙ වෙන කොට මෙය ගිනස් පොතට ඇතුළත් ව තියේවි’ ඔහු අවසන් වශයෙන් කීවා.

 
මේ යෝධ පැළෑටිය වැඩෙන්න විස්මිත වේගයකින්. මෑ ඇටයක් තරම් වූ බීජයකින් මාස තුනක් වැනි කෙටි කාලයකට උඩදියි රෝපණය කළේ. අද එය මල් බිහි කරන දැවැන්ත පැළයක්. මේ මලක් පවතින්නෙ රෑ දෙකක් විතරයි. හැනා රොබට්ස් පින්සලක් යොදා ගෙන මේ මල පරාගණය කළා.

 
උද්භිද විද්‍යාඥ කි‍්‍රස් කිඞ් මේ ශාකය වැවීමට අවශ්‍ය උණුසුම සහිත පරිසරය සකසා දෙන ප‍්‍රකාශ වෝල්ටීය කෝෂ සවි කළ වහලය මත සිටින අයුරු. මෙය ඉදි කර ඇත්තේ බි‍්‍රතාන්‍යයේ අයිල් ඔෆ් වයිට් දූවේ පිහිටි මේ උද්භිද උද්‍යානයේයි. මෙවැනි පරිසරයක් තනා ඇති ලෝකයේ ඇති එකම තැන මෙයයි.

 
හැනා රොජර්ස් තමයි ස්ක‍්‍රෑබ් කුරුමිණියා කරන පරාගණ කාර්යය මෙහි දී ඉටු කළේ. මහ රෑ මැදියම මේ පොකුණ තුළ බැස ගෙනයි ඇය ඒ කටයුත්ත ඉටු කළේ.

 
මේ පුංචි බීජයෙන් තමයි, ඒ දැවැන්ත ශාකය බිහි වන්නේ, තුන් මාසයක් වැනි කෙටි කාලයකින්. මෙය රෝපණය කරන්න වර්ග අඩි 8ක ඉඩක් ඕනෑ.



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. අර නංගි මලටත් වඩා ලස්සනයි නේද සුද්දො

    ReplyDelete
  2. නියම ලිපියක්

    ReplyDelete