HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න කොන්කෝඞ් පැටියා! බෝයිං සුපර්සොනික් යානය නාසා ආයතනයේ පරීක්ෂාවට!

ඇමරිකාවේ නාසා ආයතනය මේ දිනවල ‘කොන්කෝඞ් පැටියා’ නමින් හැඳින්වෙන ශබ්දයේ වේගය ඉක්මවා යන සුපර්සොනික් යානයක් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා.

මෙම සුපර්සොනික් යානය සැලසුම් කර ඇත්තේ ඇමරිකාවේ සුප‍්‍රකට බෝයිං සමාගමයි. මෙය නිර්මාණය කෙරුණේ 2003 නොවැම්බර්යේ දී පියසැරියෙන් ඉවත් වූ කොන්කෝඞ් (Concorde) යානයෙන් ඇති වූ අඩුව පුරවන්නයි.

දැනට වානිජ සුපර්සොනික් ගුවන් යානාවලට ගුවනේ සැරිසරන්නට අවසර නැත. ඒ, එම යානා පියාසර කරද්දී ජනිත වන සුපර්සොනික් හෙවත් අතිධ්වනික ශබ්දය නිසයි.
 
බොයිං සමාගම විසින් සුපර්සොනික් ගුවන්යානා සංකල්පයට අනුව තනන ලද, එහි සියයට 1.79 ප‍්‍රමාණයේ අනුරුව හෙවත් ‘කොන්කෝඞ් පැටියා’ ඔහියෝහි පිහිටි නාසා ආයතනයේ ග්ලෙන් පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් සුපර්සොනික් සුළං උමඟ තුළ පරීක්ෂාවට ලක් කෙරුණු අයුරු එහි කවුළුවකින් පෙනුනු හැටි.

 
නව සුපර්සොනික් යානය තනා නිම වූ පසු පෙනෙන හැටි සිත්තරකුගේ ඇසින්.

මේ යානය ඇමරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයේ පිහිටි නාසා ආයතනයට අයත් ග්ලෙන් පර්යේෂණ මධ්‍යස්ථානයේ දී දැන් පරීක්ෂාවට ලක් කරමින් තියෙනවා. එහි දී පරීක්ෂා කරන්නේ මෙම නව සුපර්සොනික් ජෙට් යානය පියාසර කරද්දී නැෙඟන අතිධ්වනික ශබ්දය අහිතකර තත්වයෙන් තිබේ ද ඇත්නම් තවත් එය අඩු කළ හැකිද කියා විමසා බලන්නයි.

මෙහි ඇති ඡායාරූපය ගෙන ඇත්තේ නාසා ආයතනයේ ක්ලීව්ලන්ඞ්වල ග්ලෙන් පර්යේෂණාගාරයට අයත් සුපර්සොනික් සුළං උමඟ තුළ නව යානයේ කුඩා ප‍්‍රමාණයේ අනුරුව පරීක්ෂාවලට ලක් කෙරෙද්දීයි. එම යානයේ සැබෑ ප‍්‍රමාණයෙන් සියයට 1.79ක් වූ මේ කුඩා අනුරුව ඔබ මෙසේ දකින්නේ එම උමෙඟහි පැත්තක ඇති කවුළුවක් තුළිනුයි.

මේ යානය සම්බන්ධව දැනට බෝයිං ආයතනය විස්තර කිසිවක් කියන්නේ නැහැ.

මේ කුඩා සුපර්සොනික් අනුරුවේ ඉහළ ඇති වා සිදුරු කි‍්‍රයා කරන අන්දම මේ පර්යේෂකයන් විසින් මෙහි දී පරීක්ෂා කර බලනවා. ඒ, අතිධ්වනික වේගයෙන් යන විට ඒවායින් ගලන වායු ධාරා ජෙට් යානයේ කි‍්‍රයාකාරීත්වයට, වායු විමෝචනය හා ශබ්දය ඇති කරන මට්ටම්වලට යම් බලපෑමක් සිදු කරනවා ද කියා සොයන්නයි.

පර්යේෂකයන් මේ පරීක්ෂණ සිදු කරන්නේ වා සිදුරුවලින් ගලන වායු ධාරාවන් දුරස්ථ පාලක උපකරණයකින් පාලනය කරමින් තමයි. එය කරන්නේ යානයේ දකුණේ නියමුවාගේ පැත්තේ ඇති වා සිදුරට ඉහළින් සවි කර ඇති පාලක උපාංගයක් දුරස්ථව පාලනය කිරීමෙනුයි.

මේ පරීක්ෂණ පවත්වන්නේ නාසා ආයතනයේ ගගන විද්‍යා පර්යේෂණ මෙහෙයුම් අධිකාරියේ නිරන්තරව සිදු කෙරෙන ගුවන් ගමන් පිළිබඳ අත්හදා බැලීම්වල කොටසක් හැටියටයි.

මෙම අංශයේ අරමුණ ශබ්ද දූෂණයෙන් හා පරිසරයට එයින් වන හානිවලින් තොරව අනාගත සුපර්සොනික් ගුවන් ගමන් අහසේ පහතින් සිදු කළ හැකි ආකාරය ගැන සෙවීමයි. හරිත ගුවන් ගමන් ක‍්‍රමයක් ලොව පුරා ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දීම මේ අධිකාරියේ එක් කාර්යයක්. ඉන්ධන භාවිතය හා අහිතකර වායු විමෝචනය අවම කර ගැනීමට යෙදිය යුතු පිළියම් සෙවීම ද මේ කි‍්‍රයාවලියේ පදනම වී තියෙනවා.

මේ හා සමාන පරීක්ෂණ වර්ජිනියා ප‍්‍රාන්තයේ පිහිටුවා ඇති නාසා ආයතනයට අයත් ලෑන්ලි පර්යේෂණ ආයතනයෙදිත් සිදු කෙරෙනවා.

එෆ්-100 වර්ගයේ ජෙට් ප‍්‍රචාලන පද්ධති ඇතුළත් සුපර්සොනික් තාක්ෂණය රැගත් නව ගුවන් යානා අනුරූ, තියුණු වේගයෙන් වායු ධාරා නිකුත් කෙරෙන ප‍්‍රචාලන ක‍්‍රම, විවිධ හැඩ යානා වල්ගා සහිතව එහිදී අත්හදා බලනවා. පරිසරයට හානි නො වන සේ අවම ශබ්ද තරංග නිකුත් කරන පද්ධති හඳුනා ගැනීමයි, මෙහි දී සිදු කෙරෙන්නේ.

මේ පරීක්ෂණ සාර්ථක වුවහොත් කොන්කෝඞ්වලින් පසු ගුවන්ගමන් සඳහා යළිත් සුපර්සොනික් මගී යානා බිහි වනු ඇති.

කොන්කෝඞ් මංගල මගී ගමන සිදු වූයේ 1976 ජනවාරි 21 වැනිදායි. එය එදා සිට ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපොළේ සිට පැරීසියේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළ දක්වාත්, එතැනින් ඇමරිකාවේ නිව්යෝක් හා වොෂින්ටන් නගර දක්වාත් නිරන්තර සේවයේ යෙදුණා.

 
කොන්කෝඞ් යානයේ ප‍්‍රථම මගී ප‍්‍රවාහන ගමන සිදු වුණේ 1976දියි. 2003 දී අවසන් ගමන් යන තෙක් එය ලන්ඩනයත්, නිව්යෝක් නගරයත් අතර නිතිපතා එහා මෙහා ගියා.

ලන්ඩනයත්, නිව්යෝක් නගරයත් අතර යන එක් ගමනකට පැය තුනහමාරක් ගත වුණා. සාමාන්‍ය උපධ්වනික ජෙට් යානයකට මේ ගමන යන්නට පැය අටක් පමණ ගත වෙනවා.

1986 දී කොන්කෝඞ් යානය ලෝකය වටා සැතැපුම් 28,238ක දුරක් පැය 29කුත් මිනිත්තු 59ක් ඇතුළත පියාසර කිරීමට සමත් වුණා.

2000 ජූලි 25 වැනිදා කොන්කෝඞ් යානයක් ප‍්‍රංශයේ ගොනස් (Gonesse) හී හෝටලයකට කඩා වැටී එහි සිටි සිවු දෙනකු හා යානයේ සියල්ලන් ම මිය ගියා. එය කොන්කෝඞ් යානයක් මුළු කාලයටම මුහුණ දුන් එකම මාරක අනතුරයි. ඉන් වසර තුනකට පසු එය මුළුමනින් ම නවතා දැමුණා. එහි අවසාන මගී ප‍්‍රවාහන පියසැරිය සිදු වූයේ 2003 ඔක්තෝබර් 24 වැනිදා නිව්යෝක්හි සිට ලන්ඩන් දක්වායි.

කොන්කෝඞ් ඉලක්කම් වාර්තා

1976 - මුල්ම මංගල මගී ගමන. 1969 සිට කොන්කෝඞ් පරීක්ෂණ ගමන්වල යෙදුණා.

පැ.සැ. 250 - කොන්කෝඞ්හී ආරම්භක වේගය.

මිලියන 2.5 - කොන්කෝඞ් යානයෙන් ගෙන ගිය මගීන් සංඛ්‍යාව.

අඩි 204 - කොන්කෝඞ් යානයෙහි දිග.

4 - කොන්කෝඞ් යානයේ එන්ජින් ගණන.

28,238 - 1986 නොවැම්බරයේ දී කොන්කෝඞ් යානය ලොව වටා ගමන් අරඹද්දී පියාසර කළ මුළු සැතැපුම් ගණන. මේ එක් ගමනක් සඳහා පැය 29කුත් මිනිත්තු 59ක් ගත වුණා.


Post a Comment

2 Comments

  1. කෝ මේ දාපු කමෙන්ට්

    ReplyDelete
  2. සුටුස් ගාලා ගිය හැකි

    ReplyDelete