HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විද්‍යාඥයන්ගේ විස්මිත හපන්කමක්! සකි‍්‍රය කුඩා අක්මාවක් ති‍්‍රමාන ක‍්‍රමයට මුද්‍රණය කරති!

විද්‍යාඥයන් දැන් සූදානම් වන්නේ රසායනාගාර තුළ නිම වූ අක්මා බද්ධයටයි. දැනටමත් ඔවුන් ති‍්‍රමාන (3D) මුද්‍රණ යන්ත‍්‍රය යොදා ගෙන කුඩා ප‍්‍රමාණයේ අක්මා තැනීමට සමත් වී තියෙනවා.

මිලිමීටර් බාගයක් ඝනකම ඇති, මිලිමිටර් හතරක් පළල කුඩා අක්මා කොටසක් යොදා ගෙන ඔවුන් කළ අත්හදා බැලීම්වලින් පෙනී ගියා, සැබෑ අක්මාවක් ඉටු කරන වැදගත් කාර්යයන් ගණනාවක් ම එයට කළ හැකි බව. සිරුර පුරා හෝමෝන, ලූණු හා ඖෂධ ගෙන යාමට අවශ්‍ය ප්‍රෝටීන් නිපදවීමටත් එයට හැකියාව ඇති බවත් පෙනී ගියා.

ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ඕගනෝවෝ (Organovo) කියන ආයතනයේ විද්‍යාඥයන් තමයි, මේ ජෛව මුද්‍රණ ක‍්‍රමයේ පුරෝගාමීන් වී සිටින්නේ. ඔවුන් මුල්වරට සමත් වී තියෙනවා, මේ ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රය යොදා ගෙන ස්තර 20ක් ඇති අක්මා සෛල විස්මිත ලෙස මුද්‍රණය කරන්න. මුද්‍රණයේ දී ඒවා නිර්මාණය වන්නේ ඒවා තුළ ඔක්සිජන් හා විවිධ අංශුපෝෂක ආදිය සංසරණය වන රුධිර වාහිනී ද සහිතවයි.

 
කැලිෆෝනියාවේ සැන් දියේගෝවල ඕගනෝවෝහි විද්‍යාඥයන් ඔවුන්ගේ රසායනාගාරය තුළ ති‍්‍රමාන ක‍්‍රමයට මුද්‍රණය කළ බහුසෛලීය අක්මා කොටසක්.

මේ ති‍්‍රමාන ක‍්‍රමයට මුද්‍රණය කරන රුධිරවාහිනී සෛල, එනම්, බහුසෛලීය පටකවලට දවස් 5ක් හෝ ඊට වැඩි කලක් දිවි රැක ගන්න පුළුවන්.

මෙය තනි හෝ ද්විත්ව සෛල ස්තර සහිත ද්විමාන මාදිලියන්ට වඩා ප‍්‍රගතියක් පෙන්වන දෙයක්. ඒවාට දින දෙකකට වඩා දිවි රැක ගන්න බැහැ. ඒ වගේ ම ඒවාට මේ ඕගනොවෝ නව මිනි-අක්මාවල වගේ විශේෂ කාර්යයන් කිරීමේ හැකියාවත් නැහැ.

 
මේ මිනි-අක්මාවලට සැබෑ අක්මාවක් කරන, නිර්ධූලකරණය, ප‍්‍රධාන ප්‍රෝටීන් වර්ග හා කොලෙස්ටෙරෝල් නිපදවීම වැනි වැදගත් කාර්යයන් කීපයක් ම ඉටු කරන්න පුළුවන්.

මෙහි අවාසන ප‍්‍රතිඵලය හැටියට දැන් ඕගනෝවෝ ආයතනයේ විද්‍යාඥයන් වෙසෙන්නේ අක්මා බද්ධයට සුදුසු මිනිසාගේ අක්මාවට සමාන අක්මාවක් මේ ක‍්‍රමයට මුද්‍රණය කර නිර්මාණය කිරීමටයි.

ඔවුන්ගේ මේ ‘කුඩා-අක්මාවන්’ට හැකියාව තියෙනවා, ප‍්‍රධාන ප්‍රෝටීන් ඇල්බියුමින් වගේ ම කොලෙස්ටෙරෝල් හා ඉතා වැදගත් නිර්ධූලකකරණ (detoxification) එන්සයිම වන සයිටොක්රොම් පී450 වැනි දෑ නිපදවන්නට. ඒවා තමයි, අක්මාවේ දී ඖෂධවල පරිවෘත්තීය කි‍්‍රයාව ඉටු කරන්නේ. මේ බවට අපට දැන ගන්න ලැබුණේ නිව් සයන්ටිස්ට් වෙබ් අඩවියෙන්.

මේ කුඩා ඉන්ද්‍රියවල සැබෑ ව්‍යුහය හා කි‍්‍රයාකාරිත්වය, විශේෂයෙන් ම, යාකෘතික සෛල (hepatocytes) හා තාරකාකාර සෛල (stellate cells) ඒකාබද්ධව ඒ පර්යේෂණවල දී ඒවා රෝග ආසාදනයකට ලක් කළ විට හෝ බලපෑම නිරීක්ෂණය සඳහා ඖෂධයක් ලබා දුන් විට හෝ ධනාත්මක ප‍්‍රතිචාර දක්වනවා.

අක්මාවෙන් තමයි, රුධිරය පෙරන්නේ, ඖෂධ පරිවෘත්තීය හා ප‍්‍රවාහන කි‍්‍රයාවලිය ඉටු කරන්නේ. ඒ වගේ ම සිරුරේ සමස්ථායිතාව පවත්වා ගෙන යාමට අවශ්‍ය ප්‍රෝටීන් වර්ග ගණනාවක් ම නිපදවන්නේ.

ජානමය වශයෙන් ඇති වන රෝග ගණනාවක් ම හේතු වෙනවා සාමාන්‍යයෙන් අක්මාවෙන් නිපදවෙන ප්‍රෝටීන් අඩුවන්නට හා හිඟ වන්නට.

දැන් සැන් දියේගෝ රසායනාගාරයේ ඉන්නා පර්යේෂකයන් කි‍්‍රයා කර ගෙන යන්නේ රුධිර වාහිනීන් විශාල සංඛ්‍යාවක ජාලයක් සහිත ව්‍යුහයක්, එනම්, මිනිස් අක්මාවක ප‍්‍රමාණයේ අක්මාවක් මේ ක‍්‍රමයට මුද්‍රණය කරන්නයි.

ඕගනෝවෝ ආයතනයේ විද්‍යාඥයන් විසින් සාර්ථකව නිම කළ මේ වර්ගයේ කුඩා-අක්මා කීපයක් පසුගියදා ඇමරිකාවේ බොස්ටන්හී පැවති පර්යේෂණාත්මක ජීව විද්‍යා සම්මන්ත‍්‍රණයේ දී එළි දැක්වුණා.

ඕගනෝවෝ ආයතනය මේ ජෛව මුද්‍රණ ක‍්‍රමයේ පූරෝගාමීන්. ඒ අය දැනටමත් මේ ක‍්‍රමයට මිනිස් පටකවලට සමානව කි‍්‍රයා කළ හැකි පටක නිපදවනවා.

මේ ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රය කි‍්‍රයා කරන්නේ මුද්‍රණ ශීර්ෂ දෙකක් යොදා ගෙනයි. එකක් මගින් සෛල රඳවන පාදම සකස් කරනවා. අනෙක් සිරස මගින් මිනිස් සෛල තැනිය යුතු ඉන්ද්‍රියේ හැඩයට සෛල තැන්පත් කරනවා.

මේ කුඩා අක්මා සඳහා යොදා ගන්නේ සැත්කම්වලින් හා බයොප්සිවලින් ඉවත් කර ගන්නා පටකවලින් ලබා ගන්නා සෛලයි.

ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමය කි‍්‍රයා කරන්නේ කොහොමද?

ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රවලට ඕනෑම හැඩයක වස්තුවක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ වස්තුවේ ස්වභාවය ඇතුළත් ඩිජිටල් ක‍්‍රමයේ පරිගණක ක‍්‍රමලේඛයක් සහිත ගොණුවක්.

එය කි‍්‍රයා කරන්නේ හරිම සරල විධියකටයි. ති‍්‍රමාන වස්තුව ගොඩ නගන්නේ ද්‍රව්‍ය ස්තරවලින්.

ඔබට මතක ඇති කලින් ‘මල්කැකුළු’ තුළින් මේ ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රය මුලින් ම හඳුන්වා දුන්නා.

සාම්ප‍්‍රදායික තීන්ත ජෙට් මුද්‍රණ යන්ත‍්‍රයක් මෙන් සාමාන්‍ය විධියට ප්ලාස්ටික් යොදා ගෙන පාදම මුද්‍රණය කරනවා. ඉතිරි ස්තර සියල්ල ඒක මත පියවරෙන් පියවර මුද්‍රණය කෙරෙනවා, ති‍්‍රමාන වස්තුවක් බවට පත් වෙන තෙක්.

මේ තාක්ෂණය යොදා ගන්නවා, දැන් විවිධ පරාසයක කර්මාන්ත රැසකට, ඉදිකිරීම්වල සිට ගගනයානා තාක්ෂණය දක්වා.

සපත්තු, ස්වර්ණාභරණ, විතරක් නෙවෙයි, ඇඳුම් පැලඳුම් පවා මේ ක‍්‍රමයට නිර්මාණය කරන්න පුළුවන්. මේ මෝස්තර අන්තර්ජාලයෙන් මිලදී ගෙන ගෙදරදී ති‍්‍රමාන ක‍්‍රමයට ඔබටම මුද්‍රණය කර ගත හැකියි.

දැන් වැඩි දෙනකු කියන්නේ මේ ක‍්‍රමය නිසා ගෙදර විසිත්ත කාමරය තුළ ‘කුඩා කම්හලක්’ තියෙනවා වගෙයි කියලයි. අන්තර්ජාලයෙන් නව සැලසුම් ලබා ගෙන තමන්ගේ අතට දමන බ්රේස්ලට් එකේ පටන් ඕනැම දෙයක් තමාට ම ති‍්‍රමානව මුද්‍රණය කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔබේ නිවසේ ඇති ගෘහ උපකරණයක කොටසක් හෝ උපාංගයක් ඔබටම තනා ගෙන සවි කර ගන්නත් පුළුවන්.


Post a Comment

3 Comments

  1. ලොව ඇති එකම සත්‍ය දහම බුදු දහමයි. එය තවත් එක් ආගමක් නොවේ

    ReplyDelete
  2. මට පස්සෙ මතක් උනේ! වකුගඩුවකුත් කෘතිමව හදල බද්ධ කලා මතකයි!

    ReplyDelete