තම නිර්මාණය ලෝකය වෙනස් කරන හැටි දැක ගන්නට වාසනාවන්ත වූ විද්‍යාඥයා!

ගත වූ සියවස තුළ විද්‍යාඥයන් බොහෝ දෙනකුට තමන් ඉදිරිපත් කළ නව සංකල්ප ඵල දරනු බලන්නට වාසනාවක් තිබුණේ නෑ. ඒ නිසා ම ඔවුන් මානව වංශයට කළ මෙහෙය ගැන සතුටු වන්නට ඔවුන්ට ඉඩක් ලැබුණේ නැහැ. එයට හේතුව ඔවුන්ගේ සිහින සැබෑ වන්නට ඔවුන්ගේ ජීවිත කාලයට වඩා වැඩි කාලයක් ගත වීමයි.

මට මතකයි, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් පවා වරක් කියා තිබුණා, එතුමා ලද ලොකු ම වාසනාව එතුමා ඉදිරිපත් කළ විශ්ව සන්නිවේදන සංකල්පය ඵල දරනු දකින්නට ජීවත් වෙන්නට ලැබීමයි කියා.

ඒ වාසානාව ලත් තවත් සුවිශේෂ විද්‍යාඥයෙක් ඉන්නවා. මීට වසර 20කට විතර ඉස්සර ඔහු ගෙනා නව අදහසක් හා ඒ ඔස්සේ කළ නිර්මාණය අද මුළු ලොව ම විප්ලවීය වෙනසකට ලක් කරමින්, දේශ සීමා ඉක්මවමින් හැම මිනිස් ජීවිතයකට ම බලපාන මහා පෙරළියක් සිදු කර තියෙනවා.

ඒ සියල්ල ඔහුට දැක ගත හැකි වුණා පමණක් නොව ඔහු අදත් ඒ හා සම්බන්ධ වෙමින් එහි උපරිම ප‍්‍රතිඵල ලොව සෑම මනුෂ්‍යයකුට ම ලැබෙන පරිදි සිය සේවය සලසමින් ඉන්නවා. ඔහුගේ ඒ නිර්මාණය තමා ඉංගී‍්‍රසි ‘ඩබ්ලිව්’ අකුරු තුනකින් හැඳින්වෙන ‘වර්ල්ඞ් වයිඞ් වෙබ්’.

 
ශී‍්‍රමත් ටිම් බර්නර්ස්-ලී, වර්ල්ඞ් වයිඞ් වෙබ් (World Wide Web) නිර්මාතෘ වෙබ් අඩවි සංවර්ධනය ගැන එදා පැහැදිලි කර දුන් අවස්ථාවක්, පසුපසින් ඇත්තේ ඔහු ඒ සඳහා යොදා ගත් කළු ලෑල්ලයි.

ඒ ගූගල්, ෆේස්බුක් සහ ට්වීටර් එන්න ඉස්සරින් තිබුණු ලෝකයයි.

ස්විට්සර්ලන්තයේ පර්යේෂකයන් පිරිසක් ලොවට මුලින් ම ආ ඒ ‘වෙබ්සයිට්’ එක නැවත ස්ථාපිත කරලා. ඒකට මුළු ලෝකෙම අවධානය පසුගියදා යොමු වුණා.

ඒක නිර්මාණය කළේ මින් වසර 20කට පෙර ස්විට්සර්ලන්තයේ ජිනීවාහී පිහිටි සර්න් න්‍යෂ්ටික පර්යේෂණායතනයෙහි සේවය කළ ශී‍්‍රමත් ටිම් බර්නර්ස්-ලී (Sir Tim Berners-Lee) නම් විද්‍යාඥයායි. අද අප දන්නා ‘වෙබ් එක’ට පාර කැපුවේ ඔහුගේ ඒ ව්‍යායාමයයි.

 
ශී‍්‍රමත් ටිම් බර්නර්ස්-ලී නිර්මාණ කළ මුල් ම වෙබ් පිටුව. අද යළි මතුකර ගෙන ඇත්තේ වෙබ් අඩවි ජාලය බිහි වී 20 වැනි සංවත්සරය සඳහායි.

වෙබ් අඩවියේ යටගියාව මෙසේ මතු කර ගෙන ඇත්තේ වර්ල්ඞ් වයිඞ් වෙබ් ලෝක ව්‍යාප්ත වෙබ් අඩවි ජාලය ලොවට දායාද කළ ඒ පර්යේෂණ මධ්‍යස්ථානයේ 20 වැනි සංවත්සරය සඳහායි.

ලන්ඩනයේ උපන් භෞතික විද්‍යාඥයකු මෙන් ම පරිගණක විද්‍යාඥයකු ද වූ ශී‍්‍රමත් ටිම් බර්නර්ස්-ලී මේ වර්ල්ඞ් වයිඞ් වෙබ් ආරම්භ කරන කාලේ සේවය කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවාහී පිහිටි යුරෝපීය න්‍යෂ්ටික පර්යේෂණ ආයතනය (European Organization for Nuclear Research) යනුවෙන් හැඳින්වුණු ‘සර්න්’ (CERN) වලයි.

එහි සේවය කරද්දී ඔහුට අවශ්‍ය වුණා, ඔහුගේ සගයන් සමග වඩා හොඳ සම්බන්ධතාවක් ඇති කර ගත හැකි ක‍්‍රමයක් සොයා ගන්න. එහි ප‍්‍රතිඵලයක් ලෙසයි, ලෝක ව්‍යාප්ත වෙබ් අඩවි ජාලය හෙවත් ‘වර්ල්ඞ් වයිඞ් වෙබ්’ බිහි වුණේ.

ඔහු මුලින් ම ‘ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්’ (WWW) යන්න භාවිත කරන්න යෝජනා කළේ 1989 මාර්තු මාසයේදියි. ඒ මීට වසර 24කට ඉස්සරයි. ඔහු සිය පුවත් හුවමාරු කණ්ඩායම හෙවත් ‘විකල්ප අතිපබඳ පුවත් කණ්ඩායම’ (alt.hypertext newsgroup) වෙනුවෙන් යෝජනා කළ ව්‍යාපෘතිය විස්තර කරමින් ඉසිවර දැක්මක් පළ කරමින් එදා මෙසේ කීවා: ”මේ ‘ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ව්‍යාපෘතියේ අරමුණ සියලූ ම සැබඳුම්, තොරතුරු ඇති ඕනෑම තැනකට යා කිරීමට ඉඩ හසර සැලසීමයි.”

පසුව එය සජීවීව එක් වෙද්දී ශී‍්‍රමත් ටිම් බර්නර්ස්-ලී මෙසේ කීවා: ”අප විශාල ලෙස උනන්දුවක් දක්වනවා මේ වෙබ් ජාලය වෙනත් පැතිවලට ව්‍යාප්ත කරන්නට. ඒ මගින් අනෙක් දත්ත හා තොරතුරු සේවා සැපයුම්වලටත් අවස්ථාව සලසන්න. ඊට සහය දක්වන්න කැමති අයට අප සාදරයෙන් ඇරයුම් කරනවා.” ඒ වන විට බර්නර්ස්-ලී පසුවූයේ 56 වැනි වියේයි.

අද එය සජීවීව අන්තර් ජාලය හරහා යළිත් දැක ගන්න ඔබට පුළුවන්.

”එදා මුල්ම වෙබ් අඩවිය බිහි වෙද්දී, ඉතාමත් හුදෙකලාවයි බිහි වුණේ.” මේ වෙබ් අඩවිය අලූතෙන් මතු කර ගත් ව්‍යාපෘතියේ නායකත්වය ගත් ඩෑන් නොයේස් (Dan Noyes) කියනවා.

 
ස්ටීව් ජොබ්ගේ මේ ‘නෙක්ස්ට්’ (NeXT) පරිගණකය තමයි, ලෝකයේ ප‍්‍රථම වෙබ් සර්වරය වුණේ. පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා එයත් යථා තත්වයට පත් කරන්න.

”ඒ කාලේ සුපිරික්සනයන් හෙවත් බ‍්‍රවුසරයන්ට හෝ වෙබ් සර්වරයන්ට පිවිසීමේ හැකියාව තිබුණේ ඉතාමත් ටික දෙනකුට විතරයි. ඒ නිසා අනික් අතට තමන්ගේ දෙයක් ඊට එක් කිරීමේ හැකියාව තිබුණේ නැහැ. ඒත් මේ අනාගතයේ දී මෙය පුළුල් වී ඉතාමත් ඵලදායී විස්මයජනක දෙයක් සිදු කරාවි යැයි සිතීම පවා සුවිශේෂ ඉසිවර දැක්මක් ලෙස හඳුන්වන්න පුළුවන්.

”එදා සර්න්හී සිටි ශී‍්‍රමත් ටිම් බර්නර්ස්-ලී ප‍්‍රමුඛ ඒ පැරණි ‘ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්’ කණ්ඩායමට එවන් දැක්මක් තිබූ බව අපට පැහැදිලිවම කියන්න පුළුවන්.

”ඇත්තෙන් ම ඔවුන්ගේ ඒ තාක්ෂණය ‘ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්’ යන ඉංගී‍්‍රසි අකුරු තුන යොදා ගෙන එය ‘ලෝක ව්‍යාප්ත වෙබ් ජාලය’ කියා හඳුන්වන්නට තීරණය කිරීමෙන් ම එය සුවිශේෂ වූත් කිසියම් ආකාරයක දැවැන්ත වූත් දෙයක් බව ඔවුන් අවබෝධ කොට ගෙන සිටි බව තහවුරු වෙනවා.” ඩැන් වැඩිදුරටත් කියනවා.

පර්යේෂකයන් දැන් වෙසෙනවා, මේ මුල් වෙබ් පිටුවේ තවත් පැරණි ඒවා සොයා ගත හැකිදැයි සොයන්න.

ඩෑන් කියන විධියට ඔවුන් දැනට අන්තර් ජාලයට එක්කර ඇති වෙබ් පිටුව 1992 භාවිත කළ එකක්.

”මෙය දැනට අපට සොයා ගත හැකි වූ පැරණිම පිටුවයි. තවත් ඒවා ඇද්දැයි අප ගවේෂණය කරමින් ඉන්නවා.” ඩෑන් පවසනවා.

 
මේ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ආරම්භක උත්සව අවස්ථාවයි. ලන්ඩනයේ ඔලිම්පික් කී‍්‍රඩාංගණයේ නරඹන්නන්ගේ අසුන් මත සවි කරන ලද එල්සීඞී දල්වමින් දැවැන්ත අකුරුවලින් ‘මෙය සෑම සියලූ දෙනාටමයි’ යන අරුත් දෙන වැකිය සටහන් කෙරුණේ ‘ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්’ නිර්මාතෘ ශී‍්‍රමත් ටිම් බර්නර්ස්-ලීට ගෞරව කළ මොහොතෙදියි.

ශී‍්‍රමත් තිමති (ටිම්) ජෝන් බර්නර්ස්-ලී නම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ගැනත් තවත් තොරතුරු ටිකක් මෙහි ඇතුළත් කළ යුතු යැයි සිතෙනවා. ටිම්බීඑල් (TimBL) යන කෙටි නමින් ද හැඳින්වෙන ඔහු උපන්නේ 1955 ජූනි 8 වැනිදා එංගලන්තයේ ලන්ඩනයෙදියි. ඔහුගේ දෙමාපියන් වූ කොන්වේ බර්නර්ස්-ලී හා මේරි ලී වුඞ්ස් දෙදෙනාම මුල්ම වානිජ වශයෙන් නිපදවූ පරිගණකය වූ ෆෙරන්ටි මාක් හා සම්බන්ධව වැඩ කළ පරිගණක හා ගණිත විශේෂඥයන්. ටිම් ළමයකු ව සිටියදී ම කුඩා ඉලෙක්ට්‍රොනික දුම්රියක් තැනීමට පවා සමතෙක් වුණා.

ඔක්ස්ෆර්ඞ් භෞතික විද්‍යා උපාධිධරයකු වූ ටිම් ඉංජිනේරුවකු වශයෙන් සේවය කරමින් පිට පසුව 1978 දී මුද්‍රණය සඳහා පරිගණක වර්ණයෝජන මෘදුකාංගයක් සැකසුවා. 1980 දී ස්විට්සර්ලන්තයේ සර්න් ආයතනයට සේවය කරද්දී තමයි පළමුවරට අතිපබඳ (hypertext) සංකල්පය ඉදිරිපත් කළේ. ඒ මගින් එහි පර්යේෂකයන් අතර තොරතුරු පරිගණක ජාලය ඔස්සේ හුවමාරු කර ගත හැකි බව පෙන්වා දුන් ඒ සඳහා ‘එන්ක්වයර්’ (ENQUIRE) යන නමින් නිදර්ශකයක් නිපදවා පෙන්නුවා.

ඉන්පසු එංගලන්තයේ පද්ධතියක සේවය කළ ඔහු එහිදී පරිගණක ජාල ගැන අත්දැකීම් ලැබුවා. යළිත් 1984 දී සර්න් වෙත ගිය ඔහු එහි දී තමයි, අන්තර් ජාලයට අතිපබඳ සංකල්පය එක් කළේ. 1989 මාර්තුවල මෙහි මූලික යෝජනාවලිය ඉදිරිපත් කළ ඔහු 1990 දී ‘ඉන්ක්වයර්’ පද්ධතියට යොදා ගත් අදහස් යොදා ගෙන ලෝක ව්‍යාප්ත ජාලය (WorldWideWeb) නිර්මාණය කළා. ප‍්‍රථම වෙබ් බ‍්‍රව්සරය (Web browser) හෙවත් සුපිරික්සනය නිර්මාණය කළේ ඒ සඳහායි. එපමණක් නොව ප‍්‍රථම වෙබ් සර්වරය වන සර්න් එච්ටීටීපීඞී (CERN HTTPd) නිර්මාණය කළේත් ඒ සඳහායි.

ප‍්‍රංශයේ දේශසීමාව අසල පිහිටි සර්න්වලදි තමයි මුල් වෙබ් අඩවිය නිර්මාණය වුණේ. එය අන්තර් ජාලයට එක් කෙරුණේ 1991 අගෝස්තු 6 වැනිදායි.

2004 දී දෙ වන එලිසැබත් මහ රැජින ඔහුට නයිට් පදවියක් පිරිනමා ගෞරව කළා. 2009 දී ඇමරිකාව ඔහුට එක්සත් ජනපද ජාතික විද්‍යා ඇකඩමියේ ගරු සාමාජිකත්වයක් පිරිනැමුවා. 2012 ඔලිම්පික් උළෙලේ ආරම්භයේ දී ඔහුට විශේෂ ගෞරවයක් පිරිනැමුවා. ඔහු එහි දී නෙක්ස්ට් පරිගණකය කි‍්‍රයා කරවමින් ටීවිටරය ඔස්සේ ‘දිස් ඉස් ෆෝ එව්රිවන්’ (This is for everyone) යන පණිවිඩය ලෝකයට එව්වා. ඒ වදන් එසැණ එහි නරඹන්නන් වාඩි වී සිටි අසුන්වල සවිකර තිබූ එල්සීඞී දල්වමින් ප‍්‍රදර්ශනය වූ අතර මුළු ලෝකයේ ම නරඹන්නන් ඒ මොහොතේ සජීවීව එය දැක ගත්තා.

අදත් ඔහු වෙබ් අඩවි ජාලයේ අඛණ්ඩ වර්ධනය අධීක්ෂණය කරනවා. ඒ වර්ල්ඞ් වයිඞ් වෙබ් කොන්සෝටියම් හී අධ්‍යක්ෂවරයා හැටියටයි.



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. internet exoplorer බ්‍රව්සරයේ නිර්මතෘත් මොහු තමයි [මම දන්න විදියට]

    ReplyDelete
  2. හොද ලිපියක්, නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. බොහොම ස්තුතියි.

    ReplyDelete