HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මාර්තු 17 වැනිදා ලොකු උල්කාවක් හඳට කඩා වැටුණා! එය පොළොවේ සිටි අපටත් පෙනුණා!

මාර්තු 17 වැනිදා කිලෝග්‍රෑම් 40ක් පමණ බර උල්කාපාතයක් සඳ මතට කඩා වැදුණා. ඒ උල්කාවේ ඝට්ටනයෙන් නිකුත් වූ ආලෝකය පොළොවටත් පෙනුණා. මෙය මෙතෙක් දැක ගන්නට ලැබුණු ලොකුම උල්කා ගැටුමයි.

මේ බව මුලින් ම හඳුනා ගත්තේ සඳ වෙතට යොමුවූ දුරදක්නයක්. ඒ උල්කාභය සඳ මතට වැදුණු කෙණෙහි ම එම ස්ථානයෙන් දීප්තිමත් ආලෝක ධාරාවක් විහිදුණා. එය පියවි ඇසට පවා දැක ගත හැකි එකක් කියලයි නාසා ආයතනය කියන්නේ.

නාසා ආයතනය සඳට සිදුවන මේ උල්කාපතනයන් ගැන දැන් වසර අටක් තිස්සේ සෝදිසියෙන් ඉන්නවා. ඔවුන් දැනටමත් මෙසේ උල්කාපතනයන් 300කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා ගත කරගෙන තියෙනවා. ඒ අතරින් සිදු වූ විශාලතම උල්කා ඝට්ටනය මෙයයි.

"සඳ මත වැදුණු සැණෙන් එය පුපුරා ගියේ අප මෙතෙක් දැක ඇති දීප්තිමත් ම ආලෝක ධාරව මෙන් දස ගුණයක දීප්තියක් සහිතවයි." කියා නාසා ආයතනයේ බිල් කුක් කියනවා. ඔහු ඇමරිකාවේ ඇලබාමා ප‍්‍රාන්තයේ හන්ට්ස්විල් හී පිහිටුවා ඇති මාෂල් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ උල්කාංශු පරිසර කාර්යාලයේ නිලධරයෙක්.

 
ඊතලයෙන් දැක්වෙන්නේ හඳ මතුපිට හැපුණු උල්කාවෙන් නිකුත් වූ ආලෝකය දුරදක්නයට පෙනුන ආකාරයයි.

හඳ වටා යමින් ඇති නාසා ආයතනයේ චන්ද්‍රිකාවක් දැනටමත් සඳ මත ඇති වූ අලූත් ම ආවාටය සොයමින් යනවා. විද්‍යාඥයන් කියන විධියට මේ ආවාටය මීටර 20ක් විතර පළල එකක් විය හැකියි.

මේ ගැටුමෙන් නිකුත් වූ ආලෝකය කෙතරම් දීප්තිමත්ව විහිදුණාද කීවොත් ඒ මොහොතේ හඳ දෙස බලා සිටි අයට දුරදක්නයක් නොමැතිව ඒ ආලෝකය සියැසින් දැක ගන්න පුළුවන් බවයි, නාසා ආයතනය කියන්නේ.

දැනට නිරන්තරයෙන්ම හඳ දෙසට යොමු කර ඇති දුරදක්නවලින් ලබා ගත්, මේ උල්කා ගැටුමේ ඩිජිටල් පටිගත කිරීම් විමසා බැලූ විද්‍යාඥයන් කියන්නේ මේ උල්කාව අඩි 1ක් (මීටර 0.3ක්) පමණ විෂ්කම්භයක් ඇති එකක් කියායි. එය හඳ මතට කඩා වදින්නට ඇත්තේ පැයට හැතැප්ම 56,000ක් වේගයෙන් වන අතර එයින් ඇති වූ පිපිරුම ටීඑන්ටී ටොන් 5ක් ඇති කරන පිපිරුමට සමාන බවයි.

එදා රාති‍්‍රයේ ම පෘථිවි වායුගෝලයේත් අසාමාන්‍ය ලෙස විශාල උල්කාවන් ප‍්‍රමාණයක් දිස් වූ බවත් ඒවා පොළොවට පතිත වන්නට පෙර ඉහළ අහසේ දී පුපුරා ගිය බවත් කැමරාවන්ට හසු වී තිබෙනවා.

 
නාසා ආයතනයේ ලූනා නිරීක්ෂණ වැඩසටහන මගින් සඳ මතට වැටුණු උල්කාපාත සිය ගණනක් මේ වන විට නිරීක්ෂණය කර තියෙනවා. අංක යොදා ඇත්තේ ඒවා වැටුණු තැන්වලටයි. එයින් වඩාත් දීප්තිමත් වූ 17 වැනිදා උල්කාව පතිත වූ තැන රතු කොටුවකින් දක්වා තියෙනවා.

බොහොමයක් උල්කා ඉහළ අහසේ දී පුපුරා ගියත් හැම විට ම එහෙම වෙන්නේ නෑ. ඔබට මතක ඇති ‘මල්කැකුළු’ තුළින් ගෙනාවා, පසුගිය පෙබරවාරියේ රුසියාවට කඩා වැටුණු විශාල උල්කාව හෙවත් ග‍්‍රහකය ගැන විස්තර. එදා එය චෙල්යාබින්ක්ස්වලට කඩා වැටුණු හැටි වීඩියෝවකින් පවා ඔබ දුටුවා ඔබට මතක ඇති.

ඒ ග‍්‍රහකය අඩි 66ක විෂ්කම්භයක් ඇති එකක්. 1908න් මෙපිට කඩා වැටුණු විශාලතම උල්කාව එයයි. එයින් 1500 දෙනාට තුවාල සිදුවුණා, ගොඩනැගිලිවල බිඳුණු වීදුරු නිසා.

කුක් කියන්නේ හඳට මෙවර වැටුණු උල්කාවේ ශක්තියට වඩා ලක්ෂ වාරයක් ප‍්‍රබල ශක්තියක් ඒ රුසියාවට වැටුණු උල්කාවෙන් ජනිත වූ බවයි.

ඔහු කියන විදියට, එදා පෙබරවාරියේ අපට කඩා වැටුණු ග‍්‍රහකයත්, මාර්තු 17 වැනිදා පෘථිවි වායුගෝලයේ පැවති උල්කා වැස්සත්, සඳට කඩා වැදුණු උල්කාවෙනුත් පෙනී යන්නේ අපේ පෘථිවියත් සඳත් මේ කාලයේ, කුඩා පාෂණ කැබලි හා දූවිලිවලින් ගහන අවකාශ කලාපයක් පසු කර ගෙන යන බවයි.

"අපට සමහර විට ඊළඟ වසරේ මේ කාලයේ දී මේ කලාපය පසු කර යන විට මේවා යළිත් දකින්නට ලැබේවි." කියා ඔහු වැඩිදුරටත් කියනවා.

හඳ මත උල්කාව පතිත වූ මොහොතේ ඇති වූ මහා පිපිරුම වීඩියෝවෙන් නරඹන්න!


Post a Comment

0 Comments