HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 131 පැරණි චිත‍්‍රපට කැමරාවක්! අතේ ගෙන යා හැකි ලොව පළමු සිනමා කැමරාව මේකද?

බැලූ බැල්මට එය රයිෆලයක් වගෙයි. ඒත් ඇත්තමට නම් ඒක අතේ ගෙන යන කැමරාවක්. නිකම්ම කැමරාවක් නෙමෙයි, චිත‍්‍රපට කැමරාවක්! මේ තමයි, සිනමා කර්මාන්තය පෙරළියකට ලක් කළ ලොව පළමු චලනචිත‍්‍ර කැමරාව.

මෙය සැලසුම් කිරීමේ ගෞරවය හිමි වන්නේ ඉටෙන් යූල්ස් මරේ (Étienne-Jules Marey) නම් ප‍්‍රංශ විද්‍යාඥයාටයි. (මේ නම ප‍්‍රංශ එකක් නිසා එය උච්චාරණය කළ යුත්තේ ‘ඉටෙන් යූල්ස් මායි’ කියායි.) ඔහු මේ අපූරු කැමරාව හැඳින්වූයේ ‘ෆුසිල් ෆොටෝග්රැෆික්’ (Fusil Photographique) හෙවත් ‘ඡායාරූප රයිෆලය’ කියායි.

ඒ මගින් මුලින් ම කැමරාවට නැගුවේ කුරුල්ලන් හා කුඩා සතුන්ගේ චලනයන් ආදියයි. ඒ 1882 දියි.

 
ප‍්‍රංශ විද්‍යාඥ ඉටෙන් යූල්ස් මරේගේ ‘ෆුසිල් ෆොටෝග්රැෆික්’ හෙවත් ‘ඡායාරූප රයිෆලය’ මෙය අතේ ගෙන යා හැකි ලොව පළමු චිත‍්‍රපට කැමරාව ලෙස සැලකිය හැකියි. මෙයින් මුලින් ම කැමරාවට නැගුවේ කුරුල්ලන් හා කුඩා සතුන් චලනයන්.

මේ අපූරු චිත‍්‍රපට කැමරාව ආවේ පළමු වන ලෝක යුද්ධය කාලේ අහසේ සිට වෙඩි තබන්නන් පුහුණු කිරීමට බි‍්‍රතාන්‍යයන් විසින් මාක් තී‍්‍ර හයිත් මැෂින් ගන් කැමරාව නිපදවන්නට අවුරුදු 33කටත් ඉස්සරයි.

‘ෆුසිල් ෆොටෝග්රැෆික් කැමරාව’ සැලසුම් කළේ කුරුල්ලන් ඉගිල්ලෙන අයුරු කැමරාවට නඟන්නයි.

එහි නිර්මාතෘ වූ මරේ මනෝවෛද්‍යවරයෙක්. ඔහු මේ රයිෆල් කැමරාව නිපදවූයේ සතුන්ගේ, කෘමීන්ගේ හා කුරුල්ලන්ගේ චලනයන් පටිගත කර අධ්‍යයනය කරන්නයි.

මේ රූප පටලයකින් ඡායාරූප ශිල්පය යොදා ගෙන කරන අධ්‍යයනය හඳුන්වනු ලැබුවේ කාලඡායාරූපශිල්පය (chronophotography) කියායි.

 
කාලඡායාරූපශිල්පය (chronophotography) යොදා ගෙන ගත් පිළිබිඹුවක්. 1886 දී ඊටින් යූල් මරේ විසින් ගන්නා ලද මෙයින් පිළිබිඹු වන්නේ මිනිසකු යමකට ඉහළින් පියවර කිහිපයකින් පිම්මක් පනින ආකාරයයි.

මේ රයිෆල් කැමරාව එල්ල කර කිසියම් වස්තුවක ගමන් මග හසු කර ගැනීමට මරේ මුල්වරට ගත් ඒ ප‍්‍රයත්නය අද අප හඳුන්වන්නේ කැමරාව පෑන් කිරීම (panning) කියායි.

මරේ පසුව ලොකු වස්තූන්, මිනිසුන්, අශ්වයන් ආදීන් කැමරාවට නඟන්න උත්සාහ කළා. ඒත් ඒ රූපවල පිළිබිඹු සටහන් වූයේ තැටිය මත එක මත එක වැටෙන ආකාරයටයි. ඒ රූප රාමු අනාවරණය වීමේ දී ඒවා අතර තිබූ ඉඩකඩ කෙටි වීම නිසයි.

මේ නිශ්චල රූප පෙළ එහි අනුපිළිවෙළ අනුව සකසනවා. අද ‘ජීඑෆ්අයි’ කියා හැඳින්වෙන ආලේඛ අන්තර්මාරු සංරූපය (Graphic Interchange Format) නම් රූප ගැළපීමේ ක‍්‍රමයේ ආරම්භය එයයි.

මේ රූප තැටියට හසු කර ගැනීමේ දී මරේ ෂටර 12ක් පාවිච්චි කළා. තුවක්කුවේ කඳ ඉදිරියෙන් තමයි මේ ෂටර සවි කළේ.

ඒ තැටියට ඉදිරියෙන් තවත් ආවරණ ඕපෙක් තැටියක් තැබුවා, එක් කවුළුවක් සහිතව.

මේ කැමරාව මගින් රූපය පැහැදිලිව ගන්නට නාභි ගත කිරීමේ දී මරේ කළේ තුවක්කු කඳේ දිග අඩු වැඩි කිරීමයි.

ඔහු ඊළඟට කළේ තුවක්කුවේ පතරොම් රඳවනය තුළට ජෙලටීන් තැටියක් දැමීමයි.

රූප කැමරාවට නැඟීමට මරේ විසින් කළ යුතු වූයේ කොකා ගැස්සීමයි. එවිට තැටි තුනම එකවර චලනය වුණා, ඒ තුවක්කුවේ යොදා තිබුණු යාන්ත‍්‍රණය අනුව. ඒ සමගම රූපය පටිගත වුණා.

කැමරාවෙන් එක් තත්පරයකට රූප රාමු 12ක් ගත හැකි වුණා. ඒ රූප කවාකාර ජෙලටීන් තැටිය මත සටහන් වුණා.

එක් රූප රාමුවක් කැමරාවට නඟන්නට තත්පරයකින් 1/720 ක කාලයක් තමයි, ගත වුණේ. නාභි ගත කිරීමට මරේ තුවක්කු කඳ එහා මෙහා කළා.

මරේගේ ‘ෆුසිල් ෆොටෝග්රැෆික් කැමරාව’ ඔහු උපන් නගරය වූ ප‍්‍රංශයේ බොන් (Beaune) නගරයේ ඉටෙන් යූල්ස් මරේ (Étienne-Jules Marey) කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා, ඊට අයත් තැටි ඇතුළු උපාංග සියල්ල සමඟ.

 
ඡායාරූපශිල්පීය රයිෆල් කැමරාවේ ඇතුළත කි‍්‍රයා කරන ආකාරය දැක්වෙන රූප සටහනක්. මේ තුවක්කුවේ පතරොම් කොපුව වෙනුවට ඇත්තේ ජෙලටීන් තැටියක්. කොකා ඇද්ද විට එය කැරකෙමින් ජෙලටින් තැටිය මත අවශ්‍ය රූප පෙළ සටහන් කෙරෙනවා.

කාලඡායාරූපශිල්පය යනු කුමක්ද?

කාලඡායාරූපශිල්පය (chronophotography) කියන්නේ වික්ටෝරියානු යුගයේ පැවති ඡායාරූප ශිල්පීය තාක්ෂණයක්. මෙය ප‍්‍රධාන වශයෙන් භාවිත කෙරුණේ 1867 සිට 1868 කාලය තුළයි.

කාලඡායාරූපශිල්පය මගින් කිසියම් චලනයක් රූපරාමු කිහිපයකින් ඡායාරූප පෙළකට නගා ගන්න පුළුවන්.

මේ රූප රාමු පිටු පෙරළුම් පොතකට සමාන ආකාරයට නිසි පිළිවෙළට සකසා ගන්න පුළුවන්. එසේ නැත්නම් තනිරාමුවකට මුද්‍රණය කොට ඒ චලනය දක්වන්න පුළුවන්.

චලනය වන පිළිබිඹු ප‍්‍රථම වරට රූපයට හසු කර ගැනීමට හැකි වූ තාක්ෂණය මෙයයි. මෙය තනන ලද්දේ විශේෂයෙන් ම චලනය විද්‍යාත්මකව හැදෑරීමටයි.

 
ප‍්‍රංශ මනෝවිද්‍යාඥ ඉටෙන් යූල්ස් මරේ 1882 දී මේ කාමරයේ දී තමයි, අතේ ගෙන යා හැකි ලෝකයේ ප‍්‍රථම චිත‍්‍රපට කැමරාව තැනුවේ.


Post a Comment

0 Comments