HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 122කට පසු පළමු වරට බෙල් ඔහුගේ හඬින් ම ලොව අමතයි! ”මේ මගේ කටහඬයි! මම ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්!”

ප‍්‍රථම වතාවට ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්ගේ කටහඬ පර්යේෂකයන් පිරිසක් විසින් සොයා ගෙන තියෙනවා. ඒ පැරණිම ශබ්ද පටි ගත කිරීම් අතරින් කළ සොයා ගැනීමක්.

ඇමරිකානු ජාතික ඉතිහාස කෞතුකාගාරයේ (ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ) පර්යේෂකයන් පිරිසක් තමයි, මේ අපූරු සොයා ගැනීම කර ඇත්තේ. 1885 දී ඉටි තැටියකට නඟනු ලැබූ මේ කටහඬ මතුකර ගෙන ඇත්තේ ඒ ස්මිත්සෝනියන් කෞතුකාගාරයට කිසිවකු විසින් පරිත්‍යාග කර ගබඩා කර තිබූ පැරණි තැටි අතර තිබිලයි.

මෑතදී ලබා ඇති තාක්ෂණික දියුණුව නිසා තමයි, වසර 100කට පසු පළමු වතාවට මේ පටිගත කිරීම් අසන්නට හැකි වී තියෙන්නේ.

 
ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්ගේ කටහඬ ඇතුළත් ව තිබූ ඉටි තැටියයි, මේ. ඇමරිකානු ජාතික ඉතිහාස කෞතුකාගාරය විසින් මේ කටහඬ මතු කර ගෙන ඇත්තේ කොංග‍්‍රස් පුස්තකාලයේ හා කැලිෆෝනියාවේ ලෝරන්ස් බර්ක්ලි ජාතික රසායනාගරයේ තාක්ෂණ ශිල්පීන්ගේ සහය ඇතිව මෙය හඳුනා ගනු ලැබුවා.

ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්ගේ කටහඬට සවන් දෙන්න.


මුල්ම ප‍්‍රායෝගික ටෙලිෆෝනය නිපදවීම පිළිබඳ ගෞරවය දිනා ගත් ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල් උපන්නේ ස්කොට්ලන්තයේ එඩින්බරෝහීදියි. ඔහු විද්‍යාඥයකු, නව නිපැයුම්කරුවකු, ඉංජිනේරුවකු නවෝත්පාදක නිපැයුම්කරුවකු ලෙස ප‍්‍රසිද්ධයි.

ඔහුගේ මවත් බිරිඳත් දෙදෙනාම බිහිරි වූ අය නිසා ඔවුන්ට ඇසෙන්නට යමක් කිව හැකි ශ‍්‍රවනාධාරයක් තැනීමට ඔහු වෙහෙසුණා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් 1876 දී ඔහු අතින් බිහි වූ ටෙලිෆෝනයට ඔහුගේ නමට හිමිකම් බලපතක් ප‍්‍රදානය කෙරුණා.


කෙසේ වෙතත්, බෙල් ටෙලිෆෝනයක් තම අධ්‍යයන කාමරයේ තබා ගත්තේවත් නැහැ. විද්‍යාඥයකු වශයෙන් ඔහු ඒ නිර්මාණය වැදගත් එකක් කොට සැලකුවේ නැහැ.

ඔහු උනන්දු වුණේ ප‍්‍රකාශ සන්නිවේදනයේ, හයිඩ‍්‍රෆොයිල හා ගගනයානා තාක්ෂණයේ නව නිමැවුම් කරන්නයි. 1888 දී ඔහු ‘නැෂනල් ජ්‍යොග‍්‍රෆික් සොසයිටි’ නමින් අද සොබාදහම වෙනුවෙන් අමිල මෙහෙයක් කරන ආයතනය පිහිටුවීමටත් පුරෝගාමී වුණා.

කොංග‍්‍රස් පුස්තකාලයේ හා කැලිෆෝනියාවේ ලෝරන්ස් බර්ක්ලි ජාතික රසායනාගරයේ තාක්ෂණ ශිල්පීන්, ඇමරිකානු ජාතික ඉතිහාස කෞතුකාගාරය හා එක්ව ස්මිත්සෝනියන් කෞතුකාගාරයෙන් ලැබුණු ඉපැරණි තැටිවල තිබූ පටි ගත කිරීම් මතු කර ගන්න විශේෂ ප‍්‍රයත්නයක් ගත්තා.

පර්යේෂකයන් සොයා ගත්තා ඒ තැටිය බෙල්ගේ අත්සන යොදා ඇති බව. එසේ සටහන්ව තිබුණේ 1885 අපේ‍්‍රල් 15 කළ පටි ගත කිරීමක්.

එහි මෙසේ පටි ගත වී තිබුණා: ”මේ මගේ කටහඬයි. මම ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්” ඔහුගේ කටහඬින්ම ඔවුන්ට අසන්නට ලැබුණා.

ඒ සමග වූ සටහන්වල ඒ තැටිය නිපදවා ඇත්තේ වොෂින්ටන්හී බෙල්ගේ වෝල්ටා රසායනාගාරයේ බව සඳහන්ව තිබුණා.

ඒ කාලේ කර තිබූ අනෙක් පටි ගත කිරීම් අතර මහා කවි විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍යවල එන දෙබස් කීපයක් ද තිබුණා.

2011 වසරේ අගභාගයේ දී විද්‍යාඥයන්ට බෙල්ගේ මේ ඉපැරණි පටි ගත කිරීම් ප‍්‍රථම වරට ඇසිය හැකි වූයේ ඒ ඉටි තැටියේ වූ ඉතා සියුම් හෑරීම් සංඛ්‍යාංක ක‍්‍රමයට කියවීමට හැකි නව තාක්ෂණයක් බිහි වීම නිසයි. විද්‍යාඥයන් ඒ සඳහා ආලෝකයත් ති‍්‍රමාන කැමරාවකුත් යොදා ගත්තා.

තොරතුරු සන්නිවේදන යුගය උදාවෙද්දී මුල්ම ටෙලිෆෝනය හා ෆොනෝග‍්‍රාෆය (ග‍්‍රැමෆෝනය) සඳහා නව නිපැයුම්කරුවන් සිය හිමිකම් වෙනුවෙන් පොර බදද්දී, ශබ්දය හා පටි ගත කිරීම සඳහා කළ අත්හදා බැලීම් ගැන කෙරුණු මේ නව සොයා ගැනීම ඇත්තෙන්ම විස්මයජනක හෙළිදරවුවක්!

මේ පටි ගත කිරීම් වසර 100කට වැඩි කලක් සැඟවෙලයි, තිබුණේ. මෙය මතු කර ගැනීමට කිසිදාක හැකි වන්නේ නැහැ, ඒවා කියවිය හැකි, හා ශබ්දය යළි පණ ගැන්විය හැකි නව තාක්ෂණය බිහි නො වුණා නම්.

”අප හැමගේම කට හඬවල් අපට අසන්න සැලැස් වූ ඒ අපූරු මිනිසාගේ (ඇලෙක්සැන්ඩර් ග‍්‍රහැම් බෙල් ගේ) කටහඬ හඳුනා ගැනීම හා එය අසන්නට ලැබීම ඇත්තෙන් ම ඉතිහාසයේ ඉතාමත් වැදගත් අවස්ථාවක්.” යැයි ස්මිත්සෝනියන් ඇමරිකානු ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජෝන් ගේ‍්‍ර කියනවා.

”එයින් අපට දැනුමක් ලැබෙනවා, අපි 18 සියවසේ කතා කළ හැටි ගැන, ඔවුන් කියපු දේ කියපු ආකාරය ගැන.”

2011 අග භාගයේ දී ඉන්ඩියානා විශ්ව විද්‍යාලයේ ශබ්ද-මාධ්‍යයන් පිළිබඳ ඉතිහාසඥයකු වන පැට්රික් ෆීස්ටර් ඒ යුගයේ තැටි හා සිලින්ඩරවල තබා තිබූ සටහන්වල ගොණුවක් සකස් කළා. ඒ සටහන් බොහොමයක් ඉටි තැටියේ ම සූරා ලියා තිබුණා.

 
ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල් ගේ කටහඬ පටි ගත කර තිබූ තැටියේ සමීප රූපයක්. එහි එදා යොදා තිබූ සටහන මේ හඳුනා ගැනීම තහවුරු කිරීමට උදවු වුණා.

 
මේ ඉටි තැටියේ ඇතුළත් ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල් ගේ හඬ වසර 100කට පසු අද අපට අසන්නට හැකි වූයේ නව තාක්ෂණයේ හපන්කමක් නිසයි.

ඒ සටහන්වල ඇතුළත් ව තිබුණේ ඒ ඉටි තැවරූ කාඞ් බෝඞ් තැටිය, 1885 අපේ‍්‍රල් 15 වැනිදා බෙල්ගේ කටහඬ පටි ගත කළ එකක් බවයි.

2012 ජූනි මාසයේ 20 වැනිදා තමයි, කොංග‍්‍රස් පුස්තකාලයේ දී ඒ කණ්ඩායම, මේ කටහඬ පිරිසඳ ගත් පසු පළමු වතාවට සවන් දුන්නේ.

1880 ගණන්වල සිට ඔහුගේ මරණය සිදු වූ 1922 දක්වා බෙල් ඔහුගේ පරීක්ෂණාගාරයේ තිබූ පටි ගත කළ ද්‍රව්‍ය විහාල ප‍්‍රමාණයක් ස්මිත්සෝනියන් ආයතනයට දුන්නා. ඒ වන විට ඔහු එහි පාලක මණ්ඩලයේ සාමාජිකයෙක්.

එසේ පරිත්‍යාග කළ පටි ගත කළ සිලින්ඩර හා තැටි ගණන 100කටත් වැඩියි. ඒවා විශේෂයෙන් ම බෙල් විසින් පෞද්ගලිකව ම කළ පටි ගත කිරීම්.

එසේ ම බෙල් කළ පර්යේෂණවල විස්තර වාර්තා ද ඒ අතර වුණා. ටෙලිෆෝනය නිපදවීම පිළිබඳව පැවති හිමිකම් ආරවුල් ගැනත් ඒ සටහන්වලට ඇතුළත් වුණා.

එසේ ම කෞතුකාගාරයේ අයට හඳුනා ගන්නට හැකි වුණා බෙල්ගේ පියා වූ ඇලෙක්සැන්ඩර් මෙල්විල් බෙල්ගේ කටහඬ. ඒක 1881 කළ පටි ගත කිරීමක්.

බෙල් මේ පටි ගත කිරීම් සියල්ලත් ඒවා පටි ගත කළ යන්ත‍්‍රයත් 1881 දී ස්මිත්සෝනියන් ආයතනයට බාර දි තිබුණා. ඒ හිමිකම් ආරවුලක් ඇති වුණොත් ඊට පිළිතුරු වශයෙන්.

ඔහු මේ ශබ්දය පිළිබඳ පරීක්ෂණ කළේ 1880ත් 1886ත් අතරයි. එහි දී ඔහුගේ ඥාති සොහොයුරු චිචෙස්ටර් හා චාල්ස් සමර් ටේන්ටර් නම් තාක්ෂණික ශිල්පියකු ද සහය දුන්නා.

ඔවුන් මේ පටි ගත කිරීම් කළේ වොෂින්ටන්වල කොනෙක්ටිකට් මාවතේ අංක 1221 දරණ තැන පිහිටි බෙල්ගේ වෝලටා රසායනාගාරයේයි. එය කලින් අශ්ව ස්තාලයක් ලෙස පාවිච්චි කළ එකක්.

1877 දී ඔහු ලොකු ම ප‍්‍රතිමල්ලවයා වූ තෝමස් අල්වා එඩිසන් ඇලෙක්සැන්ඩර් තුනී ලෝහ පත‍්‍රයක ශබ්දය පටි ගත කළා. බෙල්ට ඒ ක‍්‍රමය වැඩි දියුණු කරන්න ආශාවක් ඇති වුණා.

මේ කාලයේ ආලෝකය හා ශබ්දය පිළිබඳව බෙල් කළ සමහර පර්යේෂණ ප‍්‍රකාශ තන්තු ඔස්සේ සන්නිවේදනයට යොමු වී තිබුණා.



මෙහි ඇති ඉටි යෙදූ බෙරයේ පටි ගත කර තිබුණේ බෙල්ගේ පියාගේ හඬයි. මෙය පසුගිය වසරේ විශ්ලේෂණය සඳහා බර්ක්ලේ රසායනාගාරයට එවා තිබුණා.

ටෙලිෆෝනයේ ඉතිහාසය

 
1892 දී ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල් නිව්යෝක් නගරයේ සිට චිකාගෝ නගරයට ටෙලිෆෝනයෙන් කතා කළ අවස්ථාව.

බෙල්ගේ මව හා බිරිඳ දෙදෙනා ම බිහිරි ව සිටි නිසා බෙල්ට මුලින් ම අවශ්‍ය වුණේ ඔවුන්ට ශබ්දය ඇසෙන්නට සැලැස්විය හැකි ක‍්‍රමයක් තනන්නයි. ඔහු ශ‍්‍රවණ උපකරණ තනන්න කාලය වැඩියෙන් ගත කළේ ඒ නිසයි.

1875 දී ඔහු සරල රිසීවරයක් තැනුවා විදුලිය ශබ්දය බවට පෙරළිය හැකි.

මේ අතින් නව නිපැපයුම් කිරීමට වෙහෙසුණු අනෙක් අතර ඉතාලි-ඇමරිකානු ජාතික ඇන්ටෝනියෝ මියුසිත් එන් කෙනෙක්. ටෙලිෆෝනයේ නිර්මාතෘ ලෙස ගෞරවය හිමි විය යුත්තේ ඔහුට ද බෙල්ට ද යන්න තවමත් විවාදයට තුඩු දුන් කරුණක්.

කෙසේ වෙතත් මුල්ම ටෙලිෆෝනයේ හිමිකම් පත‍්‍රය 1876 මාර්තු 7 වැනිදා බෙල්ට ප‍්‍රදානය කරනු ලැබුවා. ඒ වගේම එය ඉක්මනින් ම වැඩි දියුණු කරනු ලැබුවා.

වසරක් යාමට මත්තෙන් ලොව ප‍්‍රථම ටෙලිෆෝන් හුවමාරු මධ්‍යස්ථානය කනෙක්ටිකට්වල පිහිටුවනු ලැබුවා. 1877 දී බෙල් ටෙලිෆෝන් සමාගම ස්ථාපිත කෙරුණා. එහි තුනෙන් එකක කොටස් හිමි වූයේ බෙල්ටයි. ටෙලිෆෝනය නිසා ඔහු ඉතා ඉක්මනින් ධනවතකු වුණා.

ප.ලි. මේකට මටත් එකතු කරන්න දෙයක් තියෙනවා. 1994 නොවැම්බර් 25 දා ජපානයේ ‘හයිඩෙෆිනිෂ්න් ටෙලිවිෂන් ක‍්‍රමය’ ලෝකයට හඳුන්වා දුන් මොහොතේ ‘සිළුමිණ’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් සූරීන් මා සමග පැවසූ දෙයක් මට මතක් වෙනවා.

”ගත වූ වසර 100 තුළ ලෝකයේ බිහි වූ විශිෂ්ටතම නව නිපැයුම කුමක්දැයි ඔබ මගෙන් අසනවා. මං කියනවා ඒක මේ විස්මිත හයිඩෙෆිනිෂන් ටෙලිවිෂනය නම් නොවෙයි, ටෙලිෆෝනයයි. ටෙලිෆෝනය නිසා අනාගත ලෝකය වෙනස් වන තරම අද අපට හිතා ගන්නවත් බැහැ. එය තව වසර විස්සකින් සන්නිවේදන ක්ෂේත‍්‍රයේ විස්මිත දෑ කරාවි.”

-පර්සි ජයමාන්න

Post a Comment

3 Comments

  1. ගොඩක් ස්තූතියි ...අසාවෙන් බැලුවා...

    ReplyDelete