HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විද්‍යාඥයෝ කෝස්ටාරිකාවෙන් අලූත් කෘමියෙකු සොයා ගනිති! ඇසට නො පෙනෙන තරම් පුංචියි!

පීටර් පෑන් නමින් ප‍්‍රකට ‘කිසිදාක නො වැඩුණු ළමයා’ ගැන ඔබ අසා ඇතුවා නිසැකයි. ස්කොට්ලන්ත ජාතික ලේඛක ශී‍්‍රමත් ජේ. එම්. බාරී (J.M. Barrie) විසින් ලියූ ‘පීටර් පෑන්’ (Peter Pan) චරිතය ඇතුළත් කතාවල ආ ටින්කර් බෙල් (Tinker Bell) නම් පුංචි සුරංගනාවි ඔබට මතකද?

එහෙමත් නැත්නම් වොල්ට් ඩිස්නි චිත‍්‍රපටවල සංකේතය වූ ටින්කර් බෙල් පුංචි සුරංගනාවි ඔබට මතකද? මේ සුරංගනාවිගේ නමින් තමයි, මේ පුංචි ම කෘමියා නම් කර තියෙන්නෙ. මේ කෘමියා අයත් වන්නේ අසරමැස්සන් (fairyfly) ගණයකටයි. (‘අසර’ යන වදන ‘සුරංගනා’ යන අරුත දෙන්නක්.) ඒත් ටින්කර් බෙල් පුංචි සුරංගනාවි තරම් මේ අලූතින් සොයා ගත් මැස්සා පහසුවෙන් දැක ගන්න පුළුවන්කමක් නැහැ.

ඌ ඉතා දුර්ලභ සතෙක්. ප‍්‍රමාණයෙන් ඉතා කුඩා මේ සත්ව විශේෂය සොයා ගෙන තියෙන්නේ කොස්ටා රිකා රටේ වනාන්තරවලින්. ඔවුන් සත්ව විද්‍යාත්මකව හඳුන්වන්නේ ‘ටින්කර්බෙල්ලා නැනා’ කියලයි. හොඳින් වැඩුණු මෙම කෘමියකුගේ මිලිමීටරයකින් හතරෙන් එකකටත් අඩුයි. ඒ කියන්නෙ මයික්‍රෝ මීටර් 250කටත් අඩුයි. ඒ වනාන්තරවල බිමයි, මේ සතා ජීවත්වෙන්නෙ.

 
ඉතා කුඩා ‘ටින්කර් බෙල්ලා නැනා’ (Tinker Bella Nana) නම් මේ කෘමියා දිගින් මිලිමීටර් කාලටත් අඩුයි.

‘ටින්කර්බෙල්ලා නැනා’ කෘමීන් සොයා ගෙන එක් කර ඇත්තේ කොස්ටා රිකාවේ ‘ලා සෙල්වා බයලොජිකල් ස්ටේෂන්’ නම් සත්ව විද්‍යාත්මක පර්යේෂණාගාරයයි.

මේ පුංචි මැස්සාගේ සිහින් දිගු පිහාටු දැක ගත හැකි වූයේ අන්වීක්ෂයකින් පමණයි. ඒ අත්තටුවල දාරයේ පුංචි සිහින් කෙඳි ඇති බව ඔවුන් දුටුවේත් අන්වීක්ෂයෙන්.

මේ අලූතින් සොයා ගත් කෘමියා අයත් වන අසරමැසි ගණය පොදුවේ හැඳින්වෙන්නේ මයිමැරිඬේ (Mymaridae) කියලයි. ඒ අතරට කැල්සිඞ් (chalcid) බඹර ගණයට කුල 18ක් අයත් වෙනවා. ඇන්ටාර්ටිකාවේ හැර අනෙක් හැම තැනක මේ කෘමීන් සිටිය හැකියි. ඔවුන් ප‍්‍රමාණයෙන් ඉතා කුඩා නිසා පියවි ඇසට පෙනෙන්නේ නැහැ.

ඔවුන්ගේ මේ නො පෙනෙන තරම් ප‍්‍රමාණයෙන් කුඩා වීමත්, සියුම් පිහාටු හා ඒවා දාරයේ ඇකි සිහින් කෙඳි ආදියත් නිසා වෙන්න ඇති මේ පුංචි සුරංගනාවියගෙ නමින් ඔවුන් හඳුන්වන්නට ඇත්තේ.

ලෝකයේ පියාපත් සහිත කුඩා ම කෘමියා ලෙස සැලකෙන කිකිකි හුනා (Kikiki huna) නම් ඉතා කුඩා කෘමියා අයත් වන්නේ ද මේ අසරමැසි ගණයටයි. ඒ සතකු දිගින් මයික්‍රොමීටර් 155ක් පමණ වෙනවා.

ලෝකයේ පියාපත් රහිත කුඩා ම කෘමියා ලෙස සැලකෙන ඩිකොපොමොපා එක්මටෙරිගිස් (Dicopomorpha echmepterygis) නම් පරිණක කෘමියකු දිගින් මයික්‍රොමිටර් 130ක් වෙනවා.

මේ අසරමැසි ගණයේ කෘමීන් ජීවත්වන්නේ වෙනත් කෘමින්ගේ බිත්තර හා කීටයන් ආහාරයට ගෙනයි.

ඔවුන් බිත්තර දමන්නේ ශාක පටක ඇතුළේ හෝ පොළොවේ සැඟවුණු තැන්වල හෝ පසෙහියි.

අපට පියවි ඇසට නො පෙනෙන නිසා අසරමැසි වර්ග අතර තවත් අප හඳුනා නො ගත් සත්ව විශේෂ කොතෙකුත් ඇති.

 
කොස්ටා රිකාවේ දී අලූතින් සොයා ගත් සත්ව විශේෂය අන්වීක්ෂයකින් දැක ගත හැක්කේ මෙහෙමයි.

 
‘ටින්කර්බෙල්ලා’ නම් අසරමැසි විශේෂය මුලින් ම හමුවී ඇත්තේ මේ වනාන්තරයෙයි.

කැනඩාවේ ස්වාභාවික සම්පත් ආයතනයේ ජෝන් හබර් මේ අලූතින් සොයා ගත් ‘ටින්කර්බෙල්ලා නැනා’ ගැන කළ විශේෂ අධ්‍යයනය ලිපියක් වශයෙන් ‘හිමිනොප්ටෙරා රිසර්ච්’ (Hymenoptera Research) සඟරාවේ අලූත් ම කලාපයේ පළ කර තියෙනවා. එම ලිපිය පළ කර ඇත්තේ ‘නව සත්ව ගණයක අසරමැස්සන් විශේෂයක්’ (A New Genus and Species of Fairyfly) නම් සිරස්තලය යටතේයි.

”ජීවීන් අතර, විශේෂයෙන් කුඩා කෘමීන් අතර, තවමත් අප විසින් හඳුනා නො ගත් සත්ව විශේෂ රාශියක් තියෙනවා. සමහර සත්ව විශේෂ දැනටමත් අප නො දැනම වඳ වී ගිහින් ඇති. ඒ වගේ ම අලූත් විශේෂ පරීණාමය වී දැනටමත් අපට නො පෙනී සිටිනවා විය හැකියි.” ඔහු ඒ ගැන සඳහන් කරමින් කියනවා.

මේ අසරමැස්සන්ගේ ජීවන චක‍්‍රය ගැන තවමත් අප දන්නේ ඉතා ටිකයි.

ඔවුන්ගේ පියාපත් ඉතා සියුම්. ඒත් පියාසර කිරීමේ හැකියාව ඉතා ඉහළයි. තත්පරයකට වාර සියගණනක් පියා සලන්නට ඔවුන්ට පුළුවන්.

 
මේ අලූතින් හඳුනා ගත් කෘමි විශේෂයට ‘ටින්කර්බෙල්ලා’ යන නම ලැබුණේ පීටර් පෑන්ගේ ලෝක ප‍්‍රකට මේ මිතුරිය වූ ටින්කර් බෙල් පුංචි සුරංගනාවි නිසයි.

ලෝකයේ කුඩාම කෘමීන්ගේ ලෝකය කෙබඳුද?

ලොව පුරා විසිර ඇති අසරමැසි සත්ව විශේෂ අතර දැනට හඳුනාගෙන ඇති සත්ව විශේෂ ගණන 1,424ක් පමණ වෙනවා.

එයින් අඩු තරමින් සත්ව විශේෂ පහක් වත් ජීවත් වන්නේ ජලාශි‍්‍රතව මිරිදිය විල්වල හා කුඩා දියපාරවලයි.

ඔවුන් අතරින් කාරාප්රැක්ටස් සින්ක්ටස් (Caraphractus cinctus) නම් විශේෂයට පියාපත් යොදා ගෙන දිය මත පිහිනා යන්නත් දින 15ක පමණ කාලයක් දිය යටට වී සිටීමටත් හැකියි.

මේ කුඩා ම අසරමැසි විශේෂ ලෝකයේ සෑම සරිසරයක ම ජීවත්වෙන අතර කාන්තාරවල සිට වැසිවනාන්තර දක්වා විසිර ජීවත්වෙනවා.

මේ කුඩා සත්ව ගණය මුලින් ම වර්ගීකරණයට ලත් කළේ 1833 දියි. ඒ අයිරිෂ් ජාතික කීට විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් හෙන්රි හැලිඬේ විසින්.

මේ අසරමැසි වර්ග කීපයක් ම පළිබෝධ නාශක කටයුතුවලට යොදා ගන්නේ ඔවුන් ආහාරයට ගන්නා කෘමීන්ගේ බිත්තර ඇති තැන් සොයා යාමට ඔවුන් සතු විශේෂ හැකියාව නිසයි.



Post a Comment

0 Comments