HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ආජෙන්ටිනාවේ ශීත හිමගිරේදී හමු වූ විස්මිත මමි තුනේ කතාව!

ආජෙන්ටිනාවේ කෞතුකාගාරයක දැනට ප‍්‍රදර්ශනය කෙරෙන යොවුන් වියේ මමියක් තියෙනවා. ඒ මමිය කෙතරම් සුරැකිව තියෙනවාද කීවොත් ඒවා ඊජිප්තුවේ දී හමු වූ මිසර මමිවලට වඩා වෙනස්. ඒ නිසා ම ඒවා විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වුණා.

ඒ එක මමියක් හැඳින්වෙන්නේ ‘ලා ඩොන්සෙලා’(La Doncella) කියලයි. එහි අරුත ‘කන්‍යාවිය’ නැත්නම් ‘යෞවනිය’ යන්නයි. තවත් විධියකින් කීවොත් ‘නාඹර කෙල්ලක්’ ඇය මිය ගොස් ඇත්තේ මීට වසර 500කට පෙරයි.


ලෝකයේ උසම ස්ථානයකින් හමු වූ මමිය මෙයයි. 1999 දී ඇන්ඞීස් කඳුකරයේ අඩි 22,000ක් පමණ උසක දී හමු වූයේ මේ මමිය විතරක් නෙමෙයි, තවත් ළමයින් දෙදෙනකුගේ ද මමි හමු වුණා. මේ මමි පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ රැසක් සිදු කෙරුණා. ඒ අනුව දැන් රහස් රැසක් හෙළිදරවු වී තියෙනවා.

විද්‍යාඥයන් කියන විධියට මේ මමිවල අයත් වන යෞවනිය හා අනෙක් ළමුන් දෙදෙනා ඒ සීතල කඳු මුදුන්වල තැන්පත් කරන්නට ඇත්තේ ඉන්කා ගෝති‍්‍රකයන් විසින් වසර 500කට පෙර දෙවියන්ට කළ බිලිපූජා වශයෙන්.

නැෂනල් ජ්‍යොග‍්‍රෆික් සංගමයේ ආජෙන්ටිනාවේ නේවාසික නියෝජිත ජොහාන් රේන්හාඞ් කියන විදියට මේ තරම් හොඳින් සුරැකුණු මමි තවත් ඇත්තේ නැහැ.

දැනට ‘ලා ඩොන්සෙලා’ මමිය ආජෙන්ටිනාවේ සෝල්ටාහී කඳුරට පුරාවිද්‍යා කෞතුකාගාරයේ (Museum of High Altitude Archaeology) මහජන ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා. ඒ මමිය තැන්පත් කර ඇත්තේ මෙතෙක් එය ස්වභාවිකව සුරැකිව තිබූ පරිසරයට සමාන වූ අඩු ඔක්සිජන් මට්ටමක් සහ අධිශීත තත්වයක් යටතේයි.

අනිත්වා තවමත් අධ්‍යයන අවසන් වී නැති නිසා කලඑළියට ආවේ නැහැ. ඒවා දැනටත් ලෝකයේ විවිධ විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කරමින් තිබෙනවා.



‘ලා ඩොන්සෙලා’ මමිය

මෙම මමිය හමුවන විට අත්‍යාලංකාර ශීර්ෂ පලඳනාවක් හිසෙහි තිබුණා. එයින් අදහස් කෙරෙන්නේ ඇය සූර්ය කන්‍යාවක් ලෙස තෝරාගෙන තිබෙන්නට ඇති බවයි. ඇය කුඩා කාලයේ ම තෝරාගෙන ඉන්කා ගෝති‍්‍රක රජුගේ කන්‍යාවන් අතරට එක්කර ගන්නට ඇති.

එසේ තෝරා ගන්නා දරුවන් පසුව රාජකීය බිසෝවරුන්, පූජකවරියන් හා බිලිපූජා සඳහා කන්‍යාවන් ලෙස යොදා ගැනීම එකල ඉන්කා වරුන්ගේ සිරිතක්.

ඇය හැඳ සිටියේ දුඹුරු පැහැති ඇඳුමක්. ඇය සමග තවත් ප‍්‍රතිමා කීපයක් ද තැන්පත් කර තිබුණා. ඇගේ හිසකේ අලංකාර ලෙස ගොතා තිබුණා. කෙස් ගස් කීපයක් ඉදී තිබුණු අතර ඒවායින් ඇය මානසික ආතතියකින් පෙළෙන්නට ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා.

පූජාවක් ලෙස කඳු මුදුනේ දමා එන්නට පෙර ඇයත් අනෙක් අයත් බඩඉරිඟුවලින් පෙරූ බීර විශේෂයක් වූ චිකාවලින් මත් කරවන්නට ඇතැයි සැලකෙනවා. පුරා විද්‍යාඥයන් විසින් සොයා ගන්නා විට ඔවුන්ගේ සිරුරු කෝකා කොළ අතුරා ඒ මත තබා තිබුණා.

ඞීඑන්ඒ හා ප්‍රෝටීන් ඒකාබද්ධ කළ විශ්ලේෂණ ක‍්‍රමවේදයක් යොදා ගෙන පළමු වරට මේ 15 හැවිරිදි වියේ දී මිය ගිය දැරියගේ මමිය අධ්‍යයනය කළා. ඒ අනුව විද්‍යාඥයන් කියන්නේ මේ අවුරුදු 500 පැරණි මමිය අයත් තැනැත්තිය පෙණහලූ ආසාදනයකින් පෙළුණු බවයි. මේ නව ක‍්‍රමයෙන් ඉතා සාර්ථකව ඒ බව කිව හැකි බවයි. මේ බව තාරා ක්ලියරි වාර්තා කරනවා.

මේ මමිය හමු වූයේ 1999 දී ආජෙන්ටිනාවත්, පේරූ රාජ්‍යයත් අතර මැද ලූලයිලාකෝස් කඳු මුඳුනෙදියි. ආචාර්ය ජොහාන් රෙයින්ඞ්හාඞ් හා ආජන්ටිනා ජාතික කොන්ස්ටන්සා සෙරුටි යන දෙදෙනාට තමයි, මේ මමි හමුවුණේ. ලෝකයේ වැඩිම උසක පිහිටි ඉන්කා ගෝති‍්‍රකයන්ගේ සොහොන් බිම මෙයයි. එය හැඳින්වෙන්නේ ටාවන්ටින්සුයු (Tawantinsuyu) කියායි.

ඒ සමකාලීන ස්පාඤ්ඤ පූජකයන්ගේ ලේඛනවලට අනුව මේ ළමයින් තෝරා ගෙන ඇත්තේ ඉන්කා අධිරාජයාගේ ජීවිතයේ වැදගත් දින වකාවනුවලට බිලිපූජා පැවැත්වීමට මේ ළමයින් තෝරා ගන්නට ඇතැයි සිතිය හැකියි.

පිරිමි ළමයාගේ මමිය
හත් හැවිරිදි මේ ළමයාගේ ඇඳුම්වල ලේ සහිත වමනය තැවරී තියෙනවා. ඒ අනුව විද්‍යාඥයන් නිගමනය කර ඇත්තේ ඔහු පෙණහලූ රෝගයකින් පෙළී ඇති බවයි. ඔහු මිය ගොස් ඇත්තේ හුස්ම හිරවීමෙන්. ඒ මමි අතුරින් රෙදි පටිවලින් තදින් බැඳ තිබූ මමිය එයයි. ඒවා කෙතරම් තදින් බැඳ තිබුණේ කීවොත් ඉළ ඇට බිඳී උකුල් ඇටය විසන්ධි වී තිබුණා.

හෙණ වැදුණු ගැහැනු ළමයාගේ මමිය
මේ හය හැවිරිදි ගැහැනු ළමයාගේ සිරුරට මරණයෙන් පසු අකුණු සැර වැදී තිබෙනවා. ඇය ලෝහ තහඩුවකින් තැනූ නළල් පටියක් පැලඳ සිටිනවා. ඇය වළලා තිබූයේ ටිටිකා විලෙන් හා කුස්කෝවලින් ලබා ගත් මැටිවලින් තැනූ බරණි සමගයි. එයින් පෙනී යන්නේ ඇය බොහෝ දුරක සිට එතැනට ගෙන එන්නට ඇති බවයි. ඒ මමි තුනෙන් ම මුහුණ උඩුකුරුව තිබූයේ ඇයගේ මමිය පමණයි. මෙම දේහයේ කොටසක් පිලිස්සී ගොස් තිබුණා. අනික් හරිය 500කට පෙර තිබුණු ආකාරයට ම ඉතා හොඳින් සුරැකිව තිබුණා.

මෙම මමි තුන ම දැන් ආජන්ටිනාවේ සෝල්ටාහී ‘මාම්’ (MAAM) කඳුරට පුරාවිද්‍යා කෞතුකාගාරයේ එක මමියක් මාස හයක කාලයන් බැගින් මාරුවෙන් මාරුවට මහජන ප‍්‍රදර්ශනයට තබනවා. මේ මමි තවදුරටත් පළමු තත්වයෙන්ම සුරක්ෂිතව තබන්නටයි, එසේ පියවර ගෙන ඇත්තේ.



Post a Comment

3 Comments

  1. ithama apoorui..mata mulinma meka
    mummy ekakda kiyalath andunaganna
    bari unaa.

    ReplyDelete
  2. අවුරුදු 500 ක් කියන්නෙ ලොකු කාලයක් නෙමෙයි නේද?

    ReplyDelete