HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇඟිලි සලකුණවලට වගේ ඔබ හෙළන හුස්මටත් තැනක්! අලූත්ම අධ්‍යයනයකින් හෙළි වූ රහස්!

ඇඟිලි සලකුණුවලට වගේම තැනක් ඔබ පහත හෙළන හුස්ම පොදටත් තියෙන බව ඔබ දන්නවද? ඇඟිලි සලකුණ වලින් වගේම ඔබ පහත හෙළන ඔබේ හුස්ම පොදෙනුත් ඔබව හඳුනා ගන්න පුළුවන්. මෑතදී කෙරුණු අලූත්ම අධ්‍යයනයකින් තමයි, මේ තොරතුරු හෙළි වී තියෙන්නෙ.

මේ අධ්‍යයනය වාර්තාව පළ වී ඇත්තේ ‘ප්ලොස් වන්’ (PLOS ONE) නම් අන්තර් ජාල විද්‍යා ජර්නලයේ යි. මූත‍්‍ර හෝ රුධිර පරීක්ෂාවකින් රෝග තත්වයන් සොයා ගන්නවා වාගේ වෛද්‍යවරුනට රෝග නිර්ණය කිරීමට මෙය යොදා ගත හැකි යැයි එම වාර්තාවෙහි සඳහන් වෙනවා.

හුස්ම පහත හෙළන ආකාරය වෙනස් නොවන නිසා ප‍්‍රතිඵල ඇසිල්ලකින් ලබා ගන්න පුළුවන්. එසේ ම නිර්වින්දන හා මත් ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්ෂණවලටත් එය යොදා ගත හැකියි.

 
ප‍්‍රශ්වාස වාතයේ ඇති සංයෝග ඇඟිලි සලකුණු වගේම පුද්ගලයාට ආවේණික දෙයක් ලෙස අලූත් ම අධ්‍යයනයකින් කියවෙනවා. එහි ඇති පරිවෘත්තීය සංයුතිය අනුව පුද්ගලයාගේ සෞඛ්‍යය ගැන, පිළිකා වැනි රෝග තත්වයක් ඇද්ද යන වග දැන ගන්න පුළුවන්.

මෙම අධ්‍යයනයට නායකත්වය දුන්නේ සූරීච් හී පිහිටුවා ඇති ස්විස් ෆෙඩරල් ඉන්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි හෙවත් ඊටීඑච් ආයතනයේ විද්‍යාඥ රෙනාටෝ ශෙනෝබියි.

ඔහු ඒ අධ්‍යයනය ගැන බීබීසීයට කීවේ මෙහෙමයි: ”මට තේරුම් ගන්න බැහැ, බටහිර වෛද්‍ය විද්‍යාවේ රෝග නිර්ණය කිරීමේදී ප‍්‍රශ්වාසය පුළුල් ලෙස යොදා නොගන්නේ ඇයි කියල. සාම්ප‍්‍රදායික චීන වෙදකමේ දී ඔවුන් නාඩි බලනවා, දිව බලනවා, ප‍්‍රශ්වාසය ආඝ‍්‍රාණය කරල බලනවා.”

”සුනඛයන් පුහුණු කරල තියෙනවා, ඉව අල්ලලා පිළිකා හඳුනා ගන්න. ඒක සෑහෙන දුරට සාර්ථකයි. ඒත් සුනඛයාට කියන්න බැහැ, ඒ ප‍්‍රශ්වාස වාතයේ අඩංගු සංයෝග මොනවද කියලා.” ඔහු වැඩිදුරටත් කියනවා.

 
ඔබ හෙළන හුස්මෙනුත් පුළුවන් මූත‍්‍රවලන් ලේවලින් වගේ ලෙඩ රෝග හඳුනා ගන්න. අධ්‍යයනයේ දී වෛද්‍යවරයකු ප‍්‍රශ්වාසය පරීක්ෂා කළ අයුරු.

මේ විශේෂඥ කණ්ඩායම ඔවුන්ගේ අධ්‍යයනය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයගේ ප‍්‍රශ්වාස වාතය දින නවයක් තිස්සේ පැය හතරින් හතරට පරීක්ෂාවට ලක් කළා.

ඔවුන් ඒවා පරීක්ෂාවට ලක් කළේ ස්කන්ධ වර්ණාවලීමානයක් (mass spectrometer) තුළින්. එම උපකරණය යොදා ගෙන ප‍්‍රශ්වාසයෙහි ඇති සියලූම රසායනික සංයෝගයන් මැන බැලූවා.

එහි සමහර සංයෝග, ජල වාෂ්ප හා කාබන්ඩයොක්සයිඞ් වැනි සංයෝග පරීක්ෂණයට භාජනය කළ සියලූ දෙනාගේම තිබුණේ එක සමානවයි. වෙනස්කම් දැක ගත හැකි වූයේ අනෙකුත් සංයෝගවලයි. ඒවායින් තමයි, පුද්ගලයාගේ රෝග තත්වයන් ගැන විමසුම් කරන්නේ.

මද්‍යපාන මාපකය (breathalyser) වැනි උපකරණයකින් පිළිකා ඇති බව හඳුනා ගනියි!

තවත් අධ්‍යයනයකට අනුව විද්‍යාඥයන් විසින් ප‍්‍රශ්වාසය යොදා ගෙන ආමාශයේ ඇති පිළිකා හඳුනා ගන්න හැකි වන ක‍්‍රමයක් සොයා ගෙන තියෙනවා.

ඔවුන්ගේ ඒ පරීක්ෂණය සියයට 90ක් සාර්ථක වෙලා තියෙනවා. ඒ මගින් සාමාන්‍ය ආමාශ ගත ගැටලූ සහගත තත්වයන්ගෙන් පිළිකා වෙන් කොට හඳුනා ගන්න හැකි වුණා. පිළිකාවෙන් නිකුත් කෙරෙන රසායනික සංඥා හඳුනා ගැනීමෙනුයි මෙය සිදු කර ඇත්තේ.

මෙහි දී ඔවුන් සිදු කළේ ප‍්‍රශ්වාසයේ දී රෝගියකුගේ අමාශගත පිළිකා හෝ අර්බුදවලින් නිකුත් වන ඉතා කුඩා රසායනික අංශු සංවේදක යොදා ගෙන හඳුනා ගැනීමයි.

ඊශ‍්‍රායලයේ හා චීනයේ විද්‍යාඥයන් පිරිසක් එක්ව හවුලේ කරන ලද අධ්‍යයනයකින් තමයි, මේ තොරතුරු හෙළි වී තියෙන්නෙ. මේ අධ්‍යයනය සඳහා රෝගීන් 130 දෙනකු යොදා ගෙන තියෙනවා. මේ අධ්‍යයනයේ තොරතුරු බි‍්‍රතාන්‍යයේ පළ වන ‘බි‍්‍රටිෂ් ජර්නල් ඔෆ් කැන්සර්’හි පළ කර තියෙනවා.

‘ටෙක්නියන්’ කියා හැඳින්වෙන ඊශ‍්‍රායල් ඉන්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ආයතනයේ මහාචාර්ය හොසම් හයික් කියන්නේ ප‍්‍රශ්වාස වාතය පිරික්සීම, අන්තරේක්ෂණයකින් (endoscopy) කෙරෙන පිරික්සුමට විකල්පයක් ලෙස යොදා ගත හැකි බවයි.

”සිරුරේ ජීර්ණ පද්ධතිය තුළ ඇති රෝග තත්වයන් හඳුනා ගැනීමට වැඩි වියදමක් දරමින්, නම්‍යශීලී නළයක් ඒ තුළට යවමින් කාලයත් ශ‍්‍රමයත් වැය කරමින් කරන, අප‍්‍රසන්න වූත්, වෙහෙසකර වූත් අන්තරේක්ෂණ පරීක්ෂණයකට වඩා මේ ප‍්‍රශ්වාස පරීක්ෂාව පහසු මෙන්ම ඉක්මනින් කළ හැකි දෙයක්.” ඔහු පවසනවා.

”අපි දැනටමත් මේ අධ්‍යයනයේ සාර්ථකත්වය අනුව මහා ප‍්‍රමාණයේ ශායනික පරීක්ෂණයක් සැලසුම් කරලා තියෙනවා.” ඔහු වැඩිදුරටත් කියනවා.

මේ ප‍්‍රශ්වාස පරීක්ෂාවේදී රෝගියකු ගන්නා ඖෂධ ගැනත් හෙළිදරවු කර ගන්න පුළුවන්. කී‍්‍රඩකයන්ගේ තහනම් උත්තේජක භාවිතය ගැන විමසා බලන්නත් මේ ප‍්‍රශ්වාස පරීක්ෂාව යොදා ගන්න පුළුවන්.

එසේ ම නිර්වින්දනය කළ යුතු අයකුට ඒ සඳහා ලබා දිය යුතු මාත‍්‍රාව හරියට ම දැන ගන්නත් මේ ප‍්‍රශ්වාස පරීක්ෂාව භාවිත කළ හැකියි. ඒ අනුව දැනට යොදන මාත‍්‍රාවට අඩු මාත‍්‍රාවක් යොදා ගනිමින් නිර්වින්දනය කිරීමේදී රෝගියාට ඇති අවදානම අඩු කර ගන්න පුළුවන්.

මේ පරීක්ෂණ සාර්ථක වූ පසු මේ ප‍්‍රශ්වාස පරීක්ෂාව රෝග නිර්ණය කිරීමේ පහසු හා ලාබදායී මගක් ලෙස අනාගත ලෝකයේ සෞඛ්‍ය සත්කාරක කටයුතුවලට එක් වේවි.

Post a Comment

1 Comments

  1. බොහොම නවීන ක්‍රමයක් වගේ....හෙම්බිරිසාව තියෙන ගර්ල්පෙන් කෙනෙක් හිටියොත් ඒ බෝයිට කවදාවත් හෙම්බිරිසාවෙන් සෙමෙන් ගැලවීමක් නැහැ...මටත් ඕක කලිං හිතිලා තිබුනා. ගොඩක් රෝග ආමාස රොගාදිය ඔය විදියට බලන්න හැකි වෙයි...

    ReplyDelete