HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝක දේශපාලනයේ පරමාදර්ශී කාන්තාව - මාගරට් තැචර් (‘යකඩ ගැහැනිය’) ජීවිතයෙන් සමුගනියි.


බි‍්‍රතාන්‍යයේ ප‍්‍රථම සහ එකම අගමැතිවරිය ඇයයි. බි‍්‍රතාන්‍ය වැසියන්ගේ පමණක් නොව, මුළු ලෝකයේම ගෞරවයටත් ආදරයටත් පාත‍්‍ර වූ ඇය වඩාත් ප‍්‍රකට ‘යකඩ ගැහැනිය’ යන අන්වර්ථ නාමයෙනි. කොන්සවර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් පිට පිට තෙවරක් බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරය හෙබවූ ඇය මාගරට් තැචර්ය. මහ රැජන විසින් ආදිපාද පදවියකට උසස් කිරීම නිසා මියයන විට තැචර් ආදිපාදවරිය ලෙසින් හඳුන්වනු ලැබීය. දීර්ඝ කාලයක් පුරා අයහපත් රෝගී තත්ත්වයෙන් පීඩා විඳි ඇය, පසුගිය 8 වැනිදා මෙලොවින් සමුගත්තේ මොළයේ ඇති වූ ආඝාත තත්වයක් නිසාය. මිය යන විට ඇගේ වයස අවුරුදු 87 කි.


අය පිළිබඳ සටහනක් තබන්න අප අදහස් කළේ කාන්තාවක් වශයෙන් මේ සියවස තුළ සුවිශේෂ ජයග‍්‍රහණයක් ලත් පරමාදර්ශී චරිතය වීම නිසාය.

වත්මන් දේශපාලන ලෝකයේ කාන්තාවන් කරළියට ආවේ හැම විට ම වෙනත් බලවේග හෝ අනියම් ආකාරයෙන් සිදු වූ වෙනත් බලපෑම් නිසා ය. මේ වන තෙක් ලෝකයේ විවිධ රටවල කාන්තාවන් නායකත්වයට පත් වූයේ වෙනත් බාහිර බලවේගවල ආධාරයෙනි. එක්කෝ පියාගේ අඩිපාරේ යමිනි. නැත්නම් සැමියාගේ අඩි පාරේ යමිනි. තැචර් නායකත්වයට පත් වූයේ ඒ කිසිවක් නොමැතිව තමාගේම පිහිටෙන් වීම කාන්තාවක් වශයෙන් ඇය ලද සුවිශේෂ ජයක් ලෙස සැලකිය හැකිය.

ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එම තනතුරු පත් වීමට ප‍්‍රධාන වශයෙන් බලපෑවේ ඇය, අගමැති පදවියේ සිටිය දී ඝාතනයට ලක් වූ ඇස්. ඩබ්ලිව්. අර්. ඞී. බණ්ඩාරනායක සිරිමතාණන්ගේ භාර්යාව වීම නිසා ය. අපේ රටෙන් ම තවත් මෙවැනි උදාහරණ ගෙන හැර පෑ හැකිය. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි, බංග්ලා දේශයේ ෂීක් හසීනා, කලීඩා ෂියා, ආජෙන්ටිනාවේ ඉසෙබෙලා පෙරොන්, කි‍්‍රස්ටිනා ෆර්නෑන්ඩස් ආදී කාන්තා චරිත මතු වී ආයේ ඊට කලින් පියාගේ හෝ සැමියාගේ හෝ ආභාසය මත ය. එහෙත් මාගරට් හිල්ඩා රොබට්ස් ‘මාගරට් තැචර්’ නමින් ලෝක නායිකාවක වශයෙන් ඉදිරියට ආවේ තමාගේ ම ශක්තියෙනි.

යකඩ ගැහැනිය ලෙස ලෝ පුරා ප‍්‍රසිද්ධියට පත් ව සිටි මේ අසහාය නායිකාව උපන්නේ 1925 ඔක්තෝබර් 13 වැනිදා ග‍්‍රැන්තම්හිදී මාගරට් හිල්ඩා රොබට්ස් ලෙසිනි. ඇය බි‍්‍රතාන්‍යයේ සිල්ලර වෙළඳසැල් හිමියකුගේ දියණියකි. ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යා උපාධියක් ලැබූ ඇය රසායන විද්‍යා පර්යේෂිකාවක ලෙස රැකියාවක් කළාය. ඒ අතර නීතිය ඉගෙන බැරිස්ටර්වරියක වූවාය. 1959 දී ෆින්ච්ලි අසුන වෙනුවෙන් තරග කොට මන්තී‍්‍රවරියක වූවාය.


ඉන්පසු 1979 දී මහ මැතිවරණයෙන් ජය ගත් ඇය බි‍්‍රතාන්‍යයේ අගමැති පදවියට පත් ප‍්‍රථම කාන්තාව බවට පත් වීමේ ගෞරවය ලැබුවාය. එය ලෝක දේශපාලනය තුළ කාන්තාවක විසින් ලද සුවිශෙෂ ජයග‍්‍රහණයක් විය.

සෝවියට් පත‍්‍රකලාවේදියකු විසින් ඇය මුල්වරට ‘යකඩ ගැහැනිය’ යන නමින් හඳුන්වනු ලැබුවේ දේශපාලන වශයෙන් නොසැලෙන නායකත්වය හා චින්තනය අතින් ඇය තුළ පැවති තිරසාර ගුණාංග නිසාය. බි‍්‍රතාන්‍යයේ කොන්සර්වටිව් පක්ෂයට නායකත්වය දෙමින් ඇය විසින් කි‍්‍රයාත්මක කළ දේශපාලන හා ආර්ථික ප‍්‍රතිපත්ති නිසා ඇගේ දර්ශනය තැචර්වාදය ලෙසින් ද හඳුන්වනු ලැබීය.

දෙවැනි එලිසබත් මහ රැජින විශේෂ ශෝක පණිවුඩයක් තැචර් මහත්මියගේ පවුලේ අයට යැවූ බව බකින්හැම් මාලිගය නිවේදනය කළේය. එම ශෝක පණිවුඩයෙහි සඳහන් වූයේ මාගරට් තැචර් සැබෑ බි‍්‍රතාන්‍ය ජාතිකයකු බවත් සැබෑ නායකයකු බවත් සැබැවින්ම ඇය යකඩ ගැහැනියක වූ බවත්ය.


එඞ්වඞ් හීත් අගමැතිවරයා විසින් 1970 පිහිටුවූ ඇමති මණ්ඩලයේ අධ්‍යාපන හා විද්‍යා කටයුතු භාර ඇමතිවරිය ලෙසින් පත් කර ගනු ලැබීය. ඊළඟ මැතිවරණයේ දී පක්ෂය පරාජය වීමත් සමග ඇය කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වයට එඞ්වඞ් හීත් සමග තරග කොට 1975 දී එහි නායකත්වයට පත් ව විපක්ෂ නායකවරිය ලෙස පාර්ලිමේන්තුවට ආවාය. ඒ එක්සත් රාජධානියේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයකට නායකත්වය දුන් ප‍්‍රථම කාන්තාව වෙමිනි.

ඉන්පසු 1979 දී මහ මැතිවරණයෙන් ජය ගත් ඇය බි‍්‍රතාන්‍යයේ අගමැති පදවියට පත් ප‍්‍රථම කාන්තාව බවට පත් වීමේ ගෞරවය ලැබුවාය. එපමණක් නොව පිට පිට තෙවරක් ම එම තනතුර හෙබ වූ එකම කාන්තාව ද ඇය පමණය. කොන්සවර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින්, තැචර් මහත්මිය බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරයට පත්වුණේ 1979 වසරේ දීය. ඉන්පසු ඇය 1990 තෙක් තෙවරක් එම ධුරය හෙබවීමට සමත් වූවාය. අගමැති ධුරයට සමුදීමෙන් පසුව ද බි‍්‍රතාන්‍ය වැසියන් තුළ ඇයට තිබූ ආදරයත් ගෞරවයත් නොවෙනස්ව පැවැතිණි. එම නිසා ඇගේ අභාවය ඇතැමුන්ට කම්පනයක් වූ බව ද වාර්තා විය.

‘ඇගේ අභාවය අසා මා කම්පාවට පත් වුණා. අපට ශ්‍රේෂ්ඨ නායිකාවක අහිමි වුණා. ඇය බි‍්‍රතාන්‍යයේ ශ්‍රේෂ්ඨ අගමැතිවරියයි.’ යැයි වත්මන් බි‍්‍රතාන්‍ය අගමැති මෙන්ම කොන්සවර්ටිව් පක්ෂ නායකයා ද වන ඬේවිඞ් කැමරන් කියා සිටියේය. තැචර් මහත්මියගේ අභාවය සිදුවූ අවස්ථාවේ අගමැති කැමරන් යුරෝපා සංචාරයකට එක් ව සිටි අතර එම සංචාරය හදිසියේ අවසන් කර ඔහු යළි බි‍්‍රතාන්‍යයට පැමිණි බව ඩවුනිං වීදියේ අගමැති නිල නිවස නිවේදනය කළේය.


1979 වසරේ දී පළමු වරට බි‍්‍රතාන්‍ය අගමැති ධුරයට තැචර් මහත්මිය පත් වූයේ වැඩි පඩි ඉල්ලා රටේ විවිධ අංශ එක්ව කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජන රැල්ලකින් බි‍්‍රතාන්‍යය අඩපණ වී සිටි මොහොතකදීය. ඇය බලයට පත් ව ඊළඟ වසර දහය තුළ කළේ එවැනි තත්වයන් ඉදිරියේ දී උද්ගත නොවීම පිණිස කටයුතු කිරීමය. ඒ අනුව ඇය ආර්ථිකයට ප‍්‍රධාන වශයෙන් බලපාන ව්‍යාපාර පෞද්ගලිකකරණයට දිරි දුන්නාය. ඇය එහි දී වැඩි තැනක් දුන්නේ කළමනාකරණ කටයුතුවලට හා පාරිභෝගික අවශ්‍යතාවලටය. ඒ නිසාම වෘත්තිය සමිතිවල බලතල කප්පාදු කිරීමක් ද ඇය අතින් සිදු විය. සුළු හා මහා පරිමාණ ව්‍යාපාර කර ගෙන යාමට පුද්ගලික අංශයට දිරිදීම ඇගේ ආර්ථික දර්ශනයේ කොටසක් විය. එසේ ම රජය පමණ ඉක්මවා ජනජීවිතවලට අත පොවනවා යැයි කියූ ඇය රජයේ සුබසාධනවලින් යැපෙනවාට වඩා ස්ව ශක්තියෙන් නැඟී සිටිමට පුද්ගලයන්ට අවස්ථාව සලසා දිය යුතු යැයි කීවාය. ඇය සිය සමාජ හා සංවර්ධනය ප‍්‍රතිපත්තිය ලෙස හුවා දැක්වූයේ එයයි. තැචර්වාදය යන දර්ශනයට අඩිතාලම වැටුණේ එයිනි.

බි‍්‍රතාන්‍යයේ ආර්ථිකය බිඳ වැටීමට හේතු විය හැකි මරු පහරක් එල්ල කෙරුණු දීප ව්‍යාප්ත පතල් කම්කරුවන්ගේ වර්ජනය ද සමථයකට පත් කිරීමට ඇගේ කාලය තුළ ඇය සමත් වූවාය. ඇගේ පාලන කාලය තුළ දැවැන්ත කර්මාන්තවලට හා සමාජ සේවාවලට පැවති රජයේ බලපෑම අවම කරන්නට ඇය සමත් වූවාය. ඇගේ කාලයේ ලෝකයේ වඩාත් ම කතාබහට, ඇහුම්කන් දීමට ලක් වූ, පමණක් නොව සමාජය කෙරෙහි වැඩි ම බලපෑමක් ඇති කළ දේශපාලනඥයා ඇය විය.

ආජෙන්ටිනාව අසල පිහිටි බි‍්‍රතාන්‍යයට අයත් ෆෝක්ලන්ඞ් දූපත හා සම්බන්ධව ඇති වූ යුද්ධයේ දී බි‍්‍රතාන්‍යයේ සිට සැතැපුම් 8000ක් දුරින් පිහිටි එම දූපත, හමුදා මෙහෙයුමක් කොට යළිත් අත්පත් කොට ගෙන බි‍්‍රතාන්‍යයට ජය අත් කර දීමට ඇය පියවර ගත්තාය.

එවකට ඇමරිකානු ජනාධිපතිව සිටි රොනල්ඞ් රීගන් සමග එක්ව එතෙක් සෝවියට් දේශය සමග පැවති නිරවි යුද්ධය අවසන් කිරීමට ද ඇය පියවර ගත්තාය.

20 වැනි සියවසේ දීර්ඝ කාලයක් බි‍්‍රතාන්‍ය අගමැති ධූරය හෙබවූ පුද්ගලයා වන්නේ ද ඇයයි. තමාට මේ තරම් දුරක් යාමට හැකි වූයේ සිය සැමියා වූ ඩෙනිස් තැචර් ලබා දුන් ශක්තිය නිසා යැයි නිතරම කීවාය. වසර 50කටත් වැඩි කාලයක් වූ ඔවුන් දෙදෙනාගේ පවුල් ජීවිතය ආදරයෙන් සෙනෙහසින් බැඳුණු එකක් විය. දේශපාලන ජීවිතයේ දී නොයෙක් විට පිරිමින් සමග ගැටුණු ඇය සිය සැමියා සමග ඔහු 2003 දී මිය යන තෙක් ම ගැටීම්වලින් තොරව සාමකාමීව ජීවත් වූවාය. සැමියා මිය ගිය පසු ඇය හුදෙකලා විය. දරුවන් ජීවත් වූයේ විදේශ ගතවය. මෑත කාලයේ දී ඇය වැඩි කාලයක් ජීවත් වූයේ ඇගේ සේවිකාව වූ කේට් සමගය. 2002 මොළයේ ඇති වූ සුළු ආඝාත තත්වයකින් කෙටි කාලයකට ඇගේ මතකය අහිමි වී ගියේය. ඉන් පසුව ද වරින්වර ඇය රෝගාතුර වූ අතර ඇය අසලින් හිඳිමින් ඇගේ සියලූ කටයුතු නොපිරිහෙළා ඉටු කළේ කේට්ය.

බි‍්‍රතාන්‍ය මහ රැජන විසින් ඇය ආදිපාද පදවියකින් ගෞරව කරනු ලැබීය. එහෙත් ඇය මිය ගියේ ඒ ආදිපාද මන්දිරයේ නොවේ. අවසාන කාලයේ දී රෝගාතුර වීම නිසා එහි පඩි නැගීම අපහසු වූ නිසා පදිංචිව සිටියේ රිට්ස් හෝටලයේ විශේෂ කාමර කට්ටලයකය. ඇය මිය ගියේ එහි දීය.

රෝගී තත්වය නිසා මහ රැුජනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් හිටපු අගමැතිවරුන් වෙනුවෙන් පැවැත් වූ භෝජන සංග‍්‍රහයට ද ඇයට සහභාගි වීමට නොහැකි විය. ඉන් වසර දෙකකට පසු ඇගේ 85 වැනි උපන්දිනය වෙනුවෙන් අගමැති කැමරූන් පැවැත් වූ භෝජන සංග‍්‍රහයට ද ඇයට සහභාගි වීමට නොහැකි වූයේ ද රෝගී තත්වය හේතුවෙනි.

ඇගේ අවමඟුල රාජ්‍ය ගෞරව සහිත පැවත්වීම අනවශ්‍ය යැයි ඇය ජීවත්ව සිටියදී කියා තිබුණ ද ඇගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බව බි‍්‍රතාන්‍ය රජය නිවේදනය කර තිබේ. අවමංගල කටයුතු පැවැත්වීමට නියමිතව ඇත්තේ ශාන්ත පෝල් දෙව් මැඳුරේදීය. අවසන්වරට බි‍්‍රතාන්‍ය දේශපාලනඥයකුට ගරු බුහුමන් දක්වමින් මෙම දෙව් මැදුරේ අවමංගල කටයුතු පවත්වා ඇත්තේ 1965 වසරේදීය. ඒ, තවත් කීර්තිමත් බි‍්‍රතාන්‍ය අගමැතිවරයකු වින්ස්ටන් චර්චිල්ගේ අවමංගල්‍යයයි. අපේ‍්‍රල් 17 වැනිදා පැවැත්වෙන තැචර් ආදිපාදවරියගේ අවමංගල උත්සවයට චාරිත‍්‍ර නොසලකා හරිමින් මහ රැජින ද සහභාගි වන බව නිල වශයෙන් ප‍්‍රකාශ කර තිබේ. මහ රැජන මීට කලින් මෙසේ අවමඟුලකට සහභාගි වූයේ 1965 දී ය. සර් වින්ස්ටන් චර්චිල්ගේ අවමංගල්‍යයටය.

මෙම අවමඟුල සඳහා බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ඇතුළු විවිධ දේශපාලනඥයන්, තැචර් මහත්මියගේ පවුලේ අය සහ සමීපතම මිතුරන් සහභාගි වනු ඇතැයි ද වාර්තා වේ.

තැචර් මහත්මියගේ නිවුන් දරුවන් දෙදෙනා වන, 59 හැවිරිදි පුතු සර් මාර්ක් බාබෙඩෝස්වල සිටත්, දියණිය කැරොල් ස්විට්සර්ලන්තයේ සිටත්, මවගේ අවමඟුලට සහභාගි වීම සඳහා දැනටමත් එංගලන්තයට පැමිණ සිටිති.

ශාන්ත පෝල් දෙව් මැඳුරේ පැවැත්වෙන දේව මෙහෙයෙන් පසු දේහය ආදාහනය කෙරුණු ඇති අතර, ඒ සඳහා පවුලේ සමීපතමයන් පමණක් සහභාගී වීමට නියමිතය. අවසන් කටයුතු සිදුවනු ඇත්තේ තැචර් මහත්මියගේ පවුලේ අයගේ කැමැත්ත අනුව යැයි ද පැවැසිණි.

තැචර්ගේ ජයග‍්‍රහණය බි‍්‍රතාන්‍යයට පමණක් නොව ලෝකයේ සමස්ත කාන්තා ප‍්‍රජාවට ම ආදර්ශයකි. තවමත් බිඳ හෙළිය නොහැකි ලෙස පුරුෂාධිපත්‍යය පවතින මේ ලෝකයේ පුරුෂයන්ගේ අඩිපාරේ නොගොස් ඔවුන් අබිබවා කාන්තාවකට ලෝකයේ ඉහළ ම තැනකට පත් වීම කළ හැක්කක් බව ඔප්පු කළ මේ සියවසේ එකම කාන්තාව ඇයයි.

Post a Comment

1 Comments