HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අලි කුරුලූ බිත්තරයක් වෙන්දේසියේ! වටිනාකම රුපියල් 58 ලක්ෂයක් විතර වේවි!

ලෝකයේ ලොකුම ඔම්ලට් එක හදන්න පුළුවන් බිත්තරය මේකයි! සාමාන්‍ය කිකිළි බිත්තරයක් වගේ සිය ගුණයකටත් වැඩියි කියලයි කියන්නෙ.

සෙ.මී. 30ක් උස, සෙ.මී. 21 විෂ්කම්භයක් ඇති මේ බිත්තරයක්, එංගලන්තයේ දී මේ සතියේ වෙන්දේසි කරාවි. ලන්ඩනයේ කි‍්‍රස්ටීස්හි වෙන්දේසියට තබා ඇති මෙය අර්ධ වශයෙන් පොසිල බවට පත් වූ අලි කුරුලූ බිත්තරයක්.

මේ බිත්තරයේ අයිතිකාර කුරුල්ලා හැඳින්වෙන්නේ ඉපියෝනිස් (Aepyornis) කියලයි. ඌ අඩි 11ක් උස පැස්බරෙක් වැනි සතෙක්. 14 වැනි හා 17 වැනි සියවස් අතර කාලයේ දී මැඩගස්කරයේ විසූ පියෑඹිය නො හැකි මේ කුරුල්ලා අද වඳ වී ගොස් ඇත්තේ මිනිසාගේ ගොදුරක් වීම නිසා කියලයි කියන්නෙ.

 
එංගලන්තයේ වෙන්දේසියට තබා ඇති ඉපියෝනිස් බිත්තරය පරීක්ෂා කරන එහි සේවිකාවක්. මෙය අර්ධ වශයෙන් පොසිල බවට පත් වූ නො බිඳුණු බිත්තරයකි.

මෙහි නො බිඳුණු බිත්තර හමු වීම හරිම දුර්ලභයි. ඒ නිසා මෙය පවුම් 30,000කට අළෙවි වේ යැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. එය රුපියල් වලින් නම් දළ වශයෙන් ලක්ෂ 58ක් විතර වේවි.

මේ බිත්තරය විතරක් නෙවෙයි, මෙදා වෙන්දේසියට ඇතුළත් වන්නේ. විද්‍යාත්මක, ඓතිහාසික හා සංචාරක කටයුතුවලට අදාළ කෞතුක වටිනාකමින් යුත් දේවල් රැසක් එහිදී වෙන්දේසියට තියෙනවා. ස්වාභාවික විද්‍යා කෞතුක භාණ්ඩ, ලෝක ගෝල, පැරණි විද්‍යාත්මක උපකරණ, දුර්ලභ පතපොත හා සිතියම්, වටිනා චිත‍්‍ර නිර්මාණ ඇතුළු කලා කෘති රැසක් එයට ඇතුළත්. ඔක්කොම අයිතම 260ක් වෙනවා.

 
කි‍්‍රස්ටීස් වෙන්දේසි නිවසේ විද්‍යා විශේෂඥයකු වූ ජේම්ස් හිස්ලොප් මේ අලි බිත්තරය සාමාන්‍ය කුකුළු බිත්තරයක් සමග සසඳමින් එහි ප‍්‍රමාණය පැහැදිලි කළ අවස්ථාව.

අර්ධ පොසිල වශයෙන් සුරැකුණු නොබිඳුණු අලි කුරුලූ බිත්තරයක් හමු වන්නේ ඉතාමත් කලාතුරකින්. ඇමරිකාවේ වොෂින්ටනයේ ජාතික භූගෝල විද්‍යා සංගමය (National Geographic Society) සතුව එවැනි එක් ආදර්ශක බිත්තරයක් තියෙනවා. එය නො බිඳුණු එකක් පමණක් නොව ඒ තුළ නූපන් පැටියකුගේ ඇටසැකිල්ලක් පවා තියෙනවා. මේ බිත්තරය ‘නැෂනල් ජ්‍යොග‍්‍රෆික්’ සඟරාවේ සංස්කාරකවරයකු වූ ලූයී මාඩන්ට 1967 දී මැඩගස්කරයේ දී ලැබුණක්.

තවත් ඉපියෝනිස් බිත්තර දෙකක් ඇමරිකාවේ ඩෙන්වර් හා ඩෙලවෙයා ස්වභාව විද්‍යා කෞතුකාගාරවල ප‍්‍රදර්ශනයට තබා තියෙනවා. තවත් බිත්තර තුනක්, එංගලන්තයේ කේම්බි‍්‍රජ්හි හවාඞ් කෞතුකාගාරයේත්, ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ග‍්‍රාන්ට් සත්ව විද්‍යා කෞතුකාගාරයේත්, ලන්ඩනයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයේත්, ප‍්‍රදර්ශනය කෙරෙනවා.

බීබීසී ආයතනයේ සත්ව විද්‍යා ගවේෂකයකු වූ ඬේවිඞ් ඇටන්බරෝ සතුව තියෙනවා තවත් ඉපියෝනිස් බිත්තරයක්. 6 වන 7 වන සියවස්වලට අයත් යැයි සලකෙන එය ඔහු විසින් කැබලි එක් කර තනා ගත් එකක්. ඒ බීබීසීයට ඔහු නිෂ්පාදනය කළ ‘ඇටන්බරෝ හා යෝධ බිත්තරය’ (Attenborough and the Giant Egg) යන පැයක වාර්තා වැඩසටහනට යොදා ගත් ඉපියෝනිස් බිත්තරයයි.

ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කෞතුකාගාරයේ මෙවැනි බිත්තර දෙකක් ම තියෙනවා. එහි මුල් ම බිත්තරය මහාචාර්ය ෆ්‍රෙඞ්රික් මැකෝයි විසින් 1862 දී පවුම් 100කට මිල දී ගත් එකක්.

වැඩි දෙනකුගේ විශ්වාසය වන්නේ ඉපියෝනිස් වඳ වී යාමට හේතුව මිනිස් කි‍්‍රයාකාරකම් කියලයි. මුල දී මැඩගස්කරයේ උතුරේ සිට දකුණට එකසේ විසිරී ජීවත් වූ ඌ කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන් ම අතුරුදන් වුණා. ප‍්‍රධාන වශයෙන් ඒ සතුන් දඩයම් කිරීමත්, ඔවුන් ජීවත් වූ වාසබිම් විනාශ වීම නිසාත්, ඒ වගේ ම බිත්තර ආහාරයට ගැනීම නිසා ඔවුන් බෝ වීම නො සිදු වීමත් වඳ වී යාමට හේතු සාධක වුණා.

ඉපියෝනිස් බිත්තර කෑම එකල ජනයා අතර ඉතා ජනපි‍්‍රය ව පවතින්නට ඇති. එක් බිත්තරයක් පවුල් කීපයකට ආහාර සපයන්නට ඇති. මෑත දී කරන ලද පුරාවිද්‍යා කැණීම්වල දී ඒ බව හෙළි වුණා. කැණීම් වල දී මතු වූ මිනිසා ගිනි ගැසූ බොහෝ තැන් අසල තිබී ඔවුන්ගේ බිත්තර කටු කැබලි තිබී හමු වුණා.

 
අලි කුරුල්ලකුගේ චිත‍්‍රයක්. පියෑඹිය නො හැකි මේ යෝධ කුරුලූ විශේෂය ජීවත් වූයේ මැඩගස්කරයේ පමණයි. 17 වැනි සියවසේ දී වඳ වී ගිය මේ කුරුල්ලාගේ බිත්තර එහි තිබී සොයා ගනු ලැබුවා. වෙන්දේසි නිවසේ විද්‍යා විශේෂඥයකු වූ ජේම්ස් හිස්ලොප්ගේ හිස තරමට ම මේ බිත්තරය විශාලයි.

 
ළමයෙකු තරම් ලොකු බිත්තරයක්. දහ අටමස් වියැති ටොඞ්ලර් ඇලෙක්සැන්ඩර් දරුවා මව සමග විත් ඉපියෝනිස් බිත්තරය කි‍්‍රස්ටීස් වෙන්දේසි නිවසේ දී නරඹන අයුරු.

අලි කුරුල්ලාට සිදු වුණේ කුමක් ද?

අලි කුරුල්ලන් පියාසර කළ නො හැකි කුරුලූ පවුලකට අයත් සත්ව විශේෂයක් වෙනවා. ඊට කුරුලූ ගණ දෙකක් අයත් වෙනවා. ඒවා නම් ඉපියෝනිස් (Aepyornis) හා මුලෙරෝනිස් (Mullerornis) නම් දෙකයි. ඔවුන් ජීවත් වූයේ අපි‍්‍රකා මහාද්විපය අසල මැඩගස්කරය නම් දූපතේ පමණයි.

ඔවුන් ලෝකයේ බරින් වැඩිම කුරුල්ලන් අතරට වැටෙනවා. එසේ ම ඩ්‍රෝමෝනිස් ස්ටිර්ටෝනි නම් තවත් මෙතරම් බරින් යුත් කුරුලූ විශේෂයක් ඕස්ටේ‍්‍රලියාවේ ඉන්නවා.

මේ අලි කුරුල්ලන් වඳ වී ගිය කාලවකවානුව පැහැදිලි ව කියන්න බැහැ. 17 වන සියවසේ දී ඒ අලි කුරුල්ලන් දුටු බවට වාර්තා තියෙනවා.


ලෝක ප‍්‍රකට දේශාටකයකු වූ මාකෝ පෝලෝ 12 වන 13 වන සියවස්වල නැගෙනහිරට කළ සංචාරවල දී යෝධ කුරුල්ලන් විශේෂයක් දුටු බව සඳහන් කර තියෙනවා. ඔහුගේ සංචාරක විස්තර අනුව ඒ අලි කුරුල්ලන් කියා සිතිය හැකියි.

ඉපියෝනිස් ලෝකයේ විසූ විශාලතම කුරුල්ලා බවට සැකයක් නැහැ. වැඩුණු සතකු මිටර් 3ක් (අඩි 10ක්) පමණ යැයි කියැවෙනවා. හොඳින් වැඩුණු අලි කුරුල්ලකු බරින් කිලෝ ග්රෑම් 400 (රා. 880ක්) පමණ වුණා.

මේ කුරුලූ බිත්තරයක් පරිමාව අනුව කුකුලූ බිත්තර 160ක් පමණ වෙතැයි සත්ව විද්‍යාඥයන් කියනවා.

Post a Comment

2 Comments

  1. බොහොම ස්තූතියි.තව ලියන්න.

    ReplyDelete