HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර මිලියන 190ක් පැරණි ඩයිනොසෝර බිත්තර පොසිල තොගයක් හමුවෙයි!

මෙතෙක් හමු වී ඇති පැරණිතම ඩයිනොසෝර කැදැලි බිම එයයි. පර්යේෂකයන් කියන විදියට මේ ඩයිනොසෝර කැදලි අනික් පැරණිම කැදැලිවලට වඩා වසර මිලියන 100ක විතර පරණයි!

මෙය හමු වී ඇත්තේ දකුණු අපි‍්‍රකාවේ කළ කැණීම්වලදියි. ගෝල්ඩන් ගේට් හයිලන්ඞ්ස් ජාතික වනෝද්‍යානයේ කළ කැණීම්වලදියි. මාසොස්පොන්ඩිලස් (Massospondylus) නම් දිගු ගෙලක් හා වලිගයක් ඇති ඩයිනොසෝර වර්ගයේ සතුන්ගේ පොසිල හමු වූ බිමක තිබිලයි, මේ බිත්තර තොගය හමු වුණේ.

විශේෂඥයන්ට මේ ස්ථානයෙන් හමු වූ ඉඟි හා සාක්ෂි වැනි දේ නිසා ආදීම ඩයිනොසෝරයන්ගේ ප‍්‍රජනන චර්යාවන් පරිණාමය වූ අන්දම ගැන නිගමනවලට එන්නට හැකි වේවි.

 
මාසොස්පොන්ඩිලස් ඩයිනොසෝරයන්ගේ කැදැලි බිම සිත්තරකුට පෙනුන හැටි!

පුරාණ සතුන්ගේ කුඩා පැටවුන් තබන ලද සටහන් වැනි සොයා ගැනීම අතිශයින්ම විස්මිත දෙයක්. එවැනි සොයා ගැනීම් නිසා තමයි, විද්‍යාඥයන්ගේ උනන්දුව හා කුහුල වැඩි වුණේ. ඒ අනුවයි ඔවුන් මේ සතුන් බිත්තර දමන කැදලි ගැන සොයන්න පටන් ගත්තේ. ඔවුන් දැන් විශ්වාස කරනවා, ඒ කුඩා සතුන් බිත්තරවලින් එළියට ආපසුත් ඔවුන්ගේ ප‍්‍රමාණයන් දෙගුණ වෙන තෙක් කාලයක් ඒ කැදලි බිම තුළ රැඳෙන බව. ඒ කාලය තුළ මාපිය ඩයිනොසෝරයන් වරින් වර පැටවුන් බලන්නට එන්නට ඇතැයි ඔවුන් සිතනවා.

ඒ වගේ ම ඔවුන් විශ්වාස කරනවා, මේ ගෝල්ඩන් ගේට් හයිලන්ඞ්ස් ජාතික වනෝද්‍යානයේ තවත් මෙවැනි සැඟවුණු පොසිල රාශියක් ඇතැයි කියා.

රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරයේ පෘෂ්ඨවංශී පුරාජීව විද්‍යා සම සංරක්ෂක ඬේවිඞ් එවන්ස් කියන්නේ, ”මීට පෙර අපට ඩයිනොසෝරයන්ගේ පොසිල පිළිබඳ තොරතුරු කොතෙක් ලැබී තිබුණත්, ඔවුන්ගේ ආදීම ඩයිනොසෝරයන්ගේ ප‍්‍රජනනයට අදාළ පොසිල තොරතුරු ලැබී ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනුයි.” කියායි.

 
මාසොස්පොන්ඩිලස් ඩයිනොසෝර පැටියකුගේ කලලයක ඇටසැකිල්ලක් පොසිල බවට පත්ව තිබූ අයුරු. මරණයෙන් පසු හිස පිටතට තල්ලූ වී ඇත්තේ සමහර විට බිත්තරය නරක් වෙද්දී ඒ ඇතුළේ ඇති වාතය පිටතට ඒමත් සමග විය හැකියි.

”අලූතෙන් සොයා ගන්නා ලද වසර මිලියන 190ක් පැරණි කැදලි නිසා ඩයිනොසෝරයන්ගේ ප‍්‍රජනනය ගැන ඔවුන්ගේ පරිණාමික ඉතිහාසය තුළින් විමසා බලන්න අපට අවස්ථාව ලැබුණා. ඩයිනොසෝර වාර්තා අතරට ප‍්‍රජනන බිම් හා සම්බන්ධ තොරතුරු එක් වූ මේ බොහෝ කලකට පසුවයි.” ඔහු වැඩි දුරටත් කියනවා.

පොසිල අධ්‍යයන විද්‍යාඥ මහාචාර්ය රොබට් රීස් සිය අලූත් ම අධ්‍යයනයෙන් පැහැදිලි කර දෙනවා, ඩයිනොසෝර බිත්තර පොකුරු, (ඇතැම් ඒවායේ ඇතුළත කලල පවා ඇති තියෙනවා.) පොකුරු ගැන පමණක් නොව ඒ අසල තිබී හමු වූ පුංචි පැටවුන්ගේ පා සලකුණු ආදිය පැවති බව. අර්ධ වශයෙන් හා සම්පූර්ණයෙන් එළියට ආ පැටවුන්ගේ පොසිල පවා එහි තිබුණු බව එහි දැක්වෙනවා. ඔහු පවසන ආකාරයට අඩු තරමින් ඒ පැටවකු ප‍්‍රමාණයෙන් දෙගුණයක් පමණ වන තෙක් ඒ කැදලි බිමෙහි රැඳුණු බව එහි ඇති පොසිල හැදැරීමෙන් ඔවුන් තේරුම් ගෙන තියෙනවා.

මේ කැණීම් කළ බිමෙහි තිබී ඩයිනොසෝර කැදලි 10ක් පමණ සොයා ගෙන තියෙනවා. ඒ එකක වටකුරු බිත්තර 34ක් පමණ එක ළඟ එක ළඟ පොකුරු වශයෙන් තැන්පත්ව තිබුණු බව ඔවුන් කියනවා.
එහි අවසාදිත පාෂාණ තට්ටුව මත ඒ කැදලි විසිර තිබූ ආකාරය අනුව ආදි ඩයිනොසෝරයන් බිත්තර දැමූ පසු වරින් වර එහි ආ ගිය බවත් ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා. ඒ මාපියන් පැටවුන් ගැන විපරමින් සිටි බව හා කණ්ඩායම් වශයෙන් එක් තැනක පැටවුන් බිහිකර ඇති දැඩි කළ බව ඔවුන්ගේ නිගමනයයි.

මේ අලූතින් කැණීම් කොට මතු කර ගත් බිමෙන් ලැබුණු ඉපැරණිම පොසිල සාක්ෂිවලින් තමයි, මේ තොරතුරු අනාවරණය කර ගෙන තියෙන්නෙ.

මේ ඩයිනොසෝර මව දිගින් මීටර 6ක් පමණ වුවත් ඇය දැමූ බිත්තරයක විෂ්කම්භය සෙන්ටිමීටර 6කට 7කට වඩා නැහැ. කැදලිවල බිත්තර අසුරා ඇති ආකාරය අනුව ඩයිනොසෝර මව බිත්තර දැමූ පසු ඒවා ඉතා පරිස්සමෙන් අසුරා තැබීමට තරම් දක්ෂ වන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

මහාචාර්ය රීස් කියන්නේ, ”මේ බිත්තර, භ‍්‍රෑණයන් හා කැදලි සියල්ල හමු වුණේ පාරක් සඳහා කන්දක් කැපූ තැනක කන්දෙහි මීටර 25ක් පමණ දිග කොටසකයි.”

”අපට හමු වුණේ කැදලි 10ක් වුනත් මේ කඳු බෑවුමෙහි පර්වතය තුළ තවත් කැදලි තිබිය හැකියි.” ඔහු වැඩි දුරටත් කියනවා.

මේ පොසිල හමු වූ අවසාදිත පාෂාණ අයත් වන්නේ මුල් ජුරාසික යුගයටයි. මේ බිමෙහිම එක් තැනක තමයි, පැරණිම පොසිලය වූ මැසොස්පොන්ඩිලස් ඩයිනොසෝර පැටියකුගේ කලලයක් දැක්වෙන පොසිලයක් හමු වුණේ. දිගු බෙල්ලක් ඇති ඒ සත්වයා ජුරාසික හා ක්‍රෙටේසීය අවධිවලට අයත් එකෙක්.

Post a Comment

0 Comments