HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින හැඳි හින්නාගේ (Spoon Billed Sandpiper) දුර්ලභ වීඩියෝවක්!

අරාතුඩු කුලයට අයත් සිලිබිලි වටුවා, වෙරළ ඔටන්නා යන නම් වලින් පොදුවේ හැඳින්වෙන සෑන්ඞ්පයිපර් (Sandpiper) යන කුරුලූ වර්ගයට සම්බන්ධ කුරුලූ වර්ග රැසක් ලොවපුරා විවිධ රටවල විසිරී ජීවත්වෙනවා. ඒ අතරින් හැඳිහොටැති සිලිබිලි වටුවා හෙවත් ‘ස්පූන්බිල්ඞ් සෑන්ඞ්පයිපර්’ (Spoon Billed Sandpiper) නම් කුරුල්ලා වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින අති දුලබ කුරුල්ලකු සේ සැලකෙනවා. මේ කුරුල්ලාට ‘සිරි ලක කුරුල්ලෝ’ (සරත් කොටගම හා අතුල විජයසිංහ - 1998) කෘතියෙහි දක්වා ඇත්තේ ‘හැඳි හින්නා’ කියායි.


ඇමරිකාවේ කෝනෙල් විශ්ව විද්‍යාලයට අනුබද්ධ පක්ෂි විද්‍යා රසායනාගාරයේ කුරුලූ පර්යේෂකයන් කියන විධියට මේ කුරුල්ලා කෙතරම් දුර්ලභ ද යත් දැනට වනගතව ඇත්තේ පැටුවන් බෝ කළ හැකි කුරුලූ ජෝඩු 100ක් පමණයි. එයින් සියයට 25ක් වසරක් පාසා මියයන නිසා දශකයකට වඩා අඩු කාලයකදී මේ කුරුල්ලා මෙලොවින් තුරන් වීමට ඉඩ තියෙනවා.

රුසියාවේ බේරිං මුහුද අසබඩ, ඊසානදිග චුකොත්කා (Chukotka) පළාතේ දී බිත්තර රැකීමෙන් පසු මේ පැටවුන් මෙලොව එළිය දුටු දුලබ අවස්ථාවක් රුසියානු තුන්ද්‍රා බිම්වලදී කැමරාවට හසු කර ගන්න කෝනෙල් පර්යේෂණාගාරයේ වීඩියෝ කැමරාශිල්පී ගෙරිට් වින් සමත් වුණා. මාස දෙකක් තිස්සේ ගත කොට ලබා ගත් ඒ දුලබ වීඩියෝ දැන් ඔබටත් දැක ගන්න පුළුවන්.

මේ කුරුලූ පැටවුන් බිත්තරවලින් එළියට ආවේ මැයි මාසයේ අග හරියේ හා ජූනි මුල හරියේදියි. ඒ වන විට තවමත් බිමෙහි වැඩි හරියක් හිමෙන් වැහිලයි තිබුණේ.

වසන්තය එළඹෙද්දී එක්වෙන මේ කුරුල්ලන් ජෝඩුව එතැන් සිට එකිනෙකාගෙන් වෙන් වන්නේ නැහැ.

ඔවුන්ගේ පර්යටන මාර්ගවල වාසබිම් විනාශ වීම නිසා ශීත කාලයට ඔවුන් බංග්ලා දේශය, මියන්මාරය ජපානය, ශී‍්‍ර ලංකාව ආදී රටවලට යනවා. අතරමගදී ජපානය, උතුරු හා දකුණු කොරියාව, චීනය, වියට්නාමය ආදි රටවල නවතිනවා. දැන් මේ රටවල වාසබිම් බොහොමයක් විනාශ වී ගොසින්.

කැමරාකරුවා දින හතරක් බලා උන්නා බිත්තර රැක පැටවුන් එළියට එන තෙක්.

බිත්තරයෙන් එළියට පළමු දිනයේ ම පැටවුන් කෑම සොයා ගෙන ගන්න පටන් ගත්තා. ඔවුන් කැදැල්ල අවට තමයි ආහාර සොයා ගියේ. ඒ මිනිත්තු 5කට 10කට වරක් විතර කාලයකටයි. ඔවුන් ආහාරයට ගත්තේ මදුරුවන් කුඩා කෘමීන් හා පුංචි ගෙඩි වර්ග, තණ ඇට ආදියයි.

වරින්වර කුරුල්ලා හෝ කිරිල්ලිය ඔවුන් කැදැල්ල වෙත කැඳෙව්වා, උණුසුම් කරන්න. ඒ අවට පරිසරය දැඩි සීතල වූ නිසා. මාපියන් පැටවුන් පියාපත් වලින් තුරුලූ කර ගත්තා, උණුසුම ලබා දීමට. පියා දවල් කාලයේ පැටවුන් බලා ගත්තා. අම්මා රාති‍්‍ර කාලයේ පැටවුන් බලා ගත්තා. අන්තිම බිත්තර රකින කම් විතරයි, අම්මා එහි රැඳුණේ. ඉන් පසු ඇය දකුණ බලා පියාඹා ගියා. තවත් දින 20ක් පියා පැටවුන් සමග රැඳුණා. ඒ ඔවුන්ට නිදහසේ ජීවත්වීමට හැකි වනතුරුයි.

වින් මේ වීඩියෝව නිකුත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින මේ කුරුල්ලා කෙරෙහි ලෝකයාගේ ඇස් ඇරවන්නයි. ඔවුන්ගේ පර්යටන මාර්ගය වූ නැගෙනහිර-ඔස්ටෙ‍්‍රලේෂියානු පියසැරි මග පිහිටි වෙරළබඩ තෙත් කලාපයේ අඩකටත් වඩා දැන් විනාශ වෙලා! චීනය හා දකුණු කොරියාව ඉන් ප‍්‍රධානයි. තවදුරටත් මොවුන්ගේ වාසබිම් විනාශය අඩු කර ගන්න ඒ මගින් පුළුවන් වෙයි කියලා ඔහු විශ්වාස කරනවා.



ගෙරිට් වින්ට මේ වීඩියෝව නිපදවීමට අනුග‍්‍රහය සලසා ඇත්තේ නැෂනල් ජ්‍යොග‍්‍රෆික් (National Geographic) ආයතනයයි.



Post a Comment

2 Comments

  1. ඇයි අනේ ඔයා අපේ කමෙන්ට්ස්වලට රිප්ලයිස් දාන්නෙ නැත්තෙ?

    ReplyDelete
  2. නිතර කමෙන්ට්ස් වලින් සහය දක්වන imantha nikash, ඔබට ස්තූතියි!

    - www.malkakulu.com team

    ReplyDelete