HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සම යට තැන්පත් කරන රුධිර රසායනාගාරයක්! සෞඛ්‍ය සත්කාරයේ විස්මිත පෙරළියක්!

ලෝක සුව සේවාවට අනාගතයේදී එක්වන ලොකුම පෙරළිය මෙයයි. මෙය මිමී14ක් දිග පුංචි චිප් එකක්. මෙය සම යට තැන්පත් කළ පසු මෙයට හැකියාව තියෙනවා, රෝගියාගේ සෞඛ්‍යය ගැන ජංගම දුරකතනය ඔස්සේ වෛද්‍යවරයාට ලබා දෙන්න. රෝගියා කොතැන හිටියත් ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන නොකඩවා වෛද්‍ය අංශවලට වාර්තා කරන්න.

ස්විට්සර්ලන්තයේ ජිනීවා විල අසබඩ පිහිටි ඉකෝලේ පොලිටෙක්නික් ෆෙඩරල් ඩි ලව්සෑන් (École polytechnique fédérale de Lausanne) තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තමයි, මේ අපූරු නිර්මාණය තනලා තියෙන්නෙ. මෙම නව මෙවලම රසායන චිකිත්සාවට (chemotherapy) ලක් කර සිටින රෝගීන් මිල කළ නොහැකි වටිනාකමක් තියෙන එකක්. ඒ විතරක් නෙවෙයි, රුධිර පද්ධතියේ මූලික රසායනික කි‍්‍රයාකාරකම් අවේක්ෂණය කර හෘද අකරණයක් ළඟ එන්නේ නම් ඒ බව කල්වේලා ඇතිව දැනුම් දෙන්නත් මේ මෙවලමට පුළුවන්.

 
මේ ඩැහි අඬුව අග ඇති කුඩා මෙවලම(වෛද්‍ය රසායනාගාරය) සම යට තැන්පත් කළ විට ජංගම දුරකතනයක් ඔස්සේ තොරතුරු වෛද්‍යවරයා වෙත ලබා දිය හැකියි. රෝගියකු දුරස්ථව සිට විමසිය හැකි අලූත්ම මෙවලම මෙයයි.

මේ නව මෙවලම කි‍්‍රයා කරන්නේ කෙසේද?

මේ ඉතා කුඩා මෙවලම මිමී 14ක් තරම් ඇති. එහි සංවේදක පහක් තියෙනවා. රැහැන් රහිත විදුලිය ලබා ගත හැකි දඟරයක් තියෙනවා. ගුවන් විදුලි පණිවිඩ සන්නිවේදනයට ඉසියුම් ඉලෙක්ට්‍රොනික උපාංගවලට අවශ්‍ය විදුලි බලය ලබා ගන්නෙත් එමගින්.

 
මේ විශාලනය කර දැක්වෙන්නේ ඒ නව මෙවලමයි.

මේ මෙවලමෙහි ඇති ඉසියුම් චිපයෙහි ඇති සංවේදකවල එන්සයිමයක් ආලේප කර තියෙනවා. එය සිරුරේ ඇති රසායන හා ප‍්‍රතිකි‍්‍රයා කරනවා, ඒවා මැන බැලීම පිණිස.

ඒ තොරතුරු ඊළඟට බ්ලූටූත් එකක් හරහා මෙය පැලඳ සිටින්නාගේ ජංගම දුරකථනයට යැවෙනවා. ඒ තොරතුරු ඔහුගේ වෛද්‍යවරයා වෙත යැවෙනවා.

මේ චිපයෙන් ප්‍රෝටීන් පස් වර්ගයක් හා කාබනික අම්ල එකවර හඳුනා ගන්න පුළුවන්. ඊළඟට එහි ප‍්‍රතිඵල කොළින් ම වෛද්‍යවරයාගේ පරිගණකයට යවන්න පුළුවන්.

මෙම මෙවලම ඝන මිලිමීටර් කීපයක පරිමාවක් ඇති (හාල් ඇටයක ප‍්‍රමාණයේ) එකක් නමුත් ඊට සංවේදක පහක්, ගුවන් විදුලි සම්පේ‍්‍රෂකයක් හා විදුලි බලය සැපයීමේ පද්ධතියක් යොදා තියෙනවා.

මෙයට විදුලි බලය සැපයෙන්නේ රෝගියාගේ සමට පිටතින් සවි කළ බැටරි පැච් එකකින්. ඒ නිසා බැටරිය වෙනස් කිරීමට අවශ්‍ය හැම විට ම මෙවලම ඉවත් කිරීමට සැත්කමක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

මෙම මෙවලම තැනූ පර්යේෂකයන් කියන්නේ මෙමගින් දැඩි අවදානමක් ඇති රෝගියකු කොහේ සිටියත් වෛද්‍යවරයාට ඔහු සොයා නො ගොස් ප‍්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙන බවයි.

ස්විට්සර්ලන්තයේ බහුතාක්ෂණික විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් අතරින් මෙම පර්යේෂණයට නායකත්වය දුන් ගියෝවන්නි ඩි මිචෙලි කියන්නේ, මේ මෙවලම මගින් වෛද්‍යවරයාට තමන්ට අවශ්‍ය රෝගියාව නිරන්තරව විමසුමට ලක් කළ හැකි බවයි. ඔහුගේ වයස හා බර අනුව පමණක් නොව රුධිර පරීක්ෂාව ආදි තොරතුරුත් සැණෙකින් වෛද්‍යවරයා ඉන්නා තැනටම ගෙන්වා ගත හැකියි.

සිරුරේ රුධිර පීඩනය, රුධිර සංයුතිය, ග්ලූකෝස් මට්ටම ඇතුළු රෝග නිර්ණයේ දී අවශ්‍ය වන හැම තොරතුරක් ම මේ මෙවලම මගින් ලබා ගන්න පුළුවන්.

 
සම යටට යොදන මෙම මෙවලමට රැහැන් රහිතව බලය සැපයෙන්නේ සම මතට යොදන පැච් එකක් මගින්.

නිදන්ගත රෝගීන්ට මෙම මෙවලම තැන්පත් කළහොත් රෝග ලක්ෂණ මතුවීමට පෙරාතුව අදාළ වෛද්‍ය අංශ දැනුවත් කොට නියමිත ඖෂධ කල්වේලා ඇතිව දීමට අවශ්‍ය බව පෙන්වා දීමට මෙම මෙවලමට පුළුවන්.

සාමාන්‍ය භාවිතයේ දී, අපේ ශරීර පද්ධතියට විශාල වාසියක් සැලසෙනවා, ව්‍යාධිවේදී කටයුතුවල දී මෙවැනි මෙවලමකින්, රෝගයක ව්‍යාප්තිය විමසුම් කිරීමටත්, ප‍්‍රතිකාරයකදී කිසියම් ඖෂධයකට ප‍්‍රතිචාර දක්වන ආකාරය පරීක්ෂා කිරීමටත් සහය ලබා ගන්න පුළුවන්.

මෙහිදී පර්යේෂකයන් කියන්නේ ඔවුන්ට අභියෝගයක්ව ඇත්තේ මේ සඳහා යොදා ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයයි.

”මේ වගේ මෙවලමක් වොට් එකකින් දහයෙන් පංගුවකින් කි‍්‍රයා කිරීමට සැලැස්වීම තමයි අසීරු කටයුත්තක් වී තියෙන්නේ.” ප‍්‍රධාන පර්යේෂක ඞී මිචෙලි කියනවා.

ඔවුන් දැඩි වෙහෙසක් ගත්තා, මෙවලමට පිටතින් බලය ලබා ගන්නට හැකි ඉසියුම් විදුලි දඟරයක් තනන්නට. දැන් ඒ කාර්යය සපුරා ගෙන තියෙනවා. දැන් අත්හදා බැලීම් කර ගෙන යනවා.

ඔවුන් බලාපොරොත්තු වෙනවා මෙය වෙළඳ පොළට එවන්නට මීළඟ වසර 4 ඇතුළත.

Post a Comment

0 Comments