HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පස් හැවිරිදි දැරියකගේ විස්මිත සොයා ගැනීමක්! ඒ නව පියාඹන ඩයිනොසෝරයෙක්!

මින් පෙර හඳුනා ගෙන නො තිබූ ආදි යුගයේ විසූ ඩයිනොසෝරයෙක් සොයා ගැනීමට බි‍්‍රතාන්‍යයේ පාසල් දැරියක් සමත් වී තියෙනවා. ඇය නමින් ඬේසි මොරිස් (Daisy Morris). අලූතින් සොයා ගත් මේ සත්වයාට අයත් පොසිල ඇය විසින් සොයා ගන්න අවස්ථාව වෙන කොට ඇයට යම්තම් වයස අවුරුදු පහ පිරුණ විතරයි.

පොසිල විද්‍යාඥයන් වසර පහක් තිස්සේ පර්යේෂණ කිරීමෙන් පසු, 2008 දී අයිල් ඔෆ් වයිට් (Isle of Whight) දූපතේ වෙරළේ දී මතුවුණු පොසිල අස්ථි මෙතෙක් හඳුනා ගෙන නො තිබුණු පියාඹන ඩයිනොසෝරයකුගේ බව හෙළිදරවු කළේ පසුගිය සතියේයි.

මේ පොසිල අස්ථි කැබලි සොයා ගන්න කොට ඬේසි මොරිස් පස් හැවිරිදි වුනත් මෙහි විද්‍යාත්මක විමර්ශන කටයුතු අවසන් කොට මේ වසර මිලියන 115කට පෙර විසූ අමුතුම ඩයිනොසෝරයකුගේ බැව් හෙළිදරවු වන විට ඇය නව වැනි වසර සපිරූ දැරියක්.

ඇය ළඟ කලක් තිස්සේ රැස් කර ගත් පොසිල හා සත්ව ශේෂ එකතුවක් තියෙනවා. ඇය ගැන සඳහන් කළ එක් විශේෂඥයකු කීවේ, ඇගේ නිදන කාමරය හරියට ‘ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයක් වගෙයි’ කියලයි.

 
ඬේසි මොරිස්ට අවුරුදු පහයි, වසර මිලියන 115කට පෙර විසූ පියාඹන උරගයාගේ අස්ථි පොසිල සොයා ගන්නා විට.

ඇය මුහුදු වෙරළේ සිරිත් පරිදි ඇවිදිමින් සිටියදියි, මේ සොයා ගැනීම කර ඇත්තේ. ඇගේ නිවස පිහිටා තිබුණු වයිට්වෙල් ආසන්නයේ අයිල් ඔෆ් වයිට් දූපතේ දකුණු මුහුදුබඩ ඇතර්ෆිල්ඞ් වෙරළේ දී තමයි, ඇයට මේ විස්මිත සොයා ගැනීම සඳහා මග පැදුණේ.

ඬේසි දැක්කා සතකුගේ අස්ථි කොටස් බඳු ශේෂයන් වැල්ලේ තැන්පත් වෙලා තියෙනවා. ඒවා පොසිල යැයි සිතූ ඇය පවුලේ අයගේ අවධානයට යොමු කළා. ඊළඟට ඔවුන් කළේ කොටස් මාටින් සිම්ප්සන් කියන ඩයිනොසෝර විශේෂඥයාට පෙන්නුවා. ඔහු එක්වර එහි ඇති වැදගත්කම අවබෝධ කර ගත්තා.

 
අද නව හැවිරිදි වියේ පසු වන ඬේසි මොරිස්ගේ ‘ස්වාභාවික කෞතුකාගාරයෙන්’ කොටසක්.

පසුගිය වසර පහක කාලයක් තිස්සේ ඩැරන් නායිෂ් (Darren Naish) හා ගාරෙත් ඩයික් (Gareth Dyke) යන විශේෂඥයන් දෙදෙනා මහත් ආයාසයක් ගෙන ඒ පොසිල කොටස් අධ්‍යයනය කළා. ඊට අදාළව හැම කරුණක් ගැන, ඉතාමත් කුඩා දේ ගැන පවා විමසිලිමත් වෙමින් සියුම් ලෙස විමර්ශනය කළා. මේ හැම දෙයකටම පස්සේ ඔවුන් පසුගිය දා ඔවුන්ගේ සොයා ගැනීම් ප‍්‍රකාශයට පත් කළා.

ඔවුන් කියා සිටියා කපුටකුගේ ප‍්‍රමාණයට සමාන සිරුරක් හිමි මේ සත්වයා කලින් හඳුනා ගෙන නො සිටි ටෙරෝසෝර ගණයට අයත් අලූත්ම පියාඹන ඩයිනොසෝර විශේෂයක් බව.

ඬේසි මොරිස්ගේ පවුලේ උදවිය මේ පොසිල අස්ථි කොටස් බි‍්‍රතාන්‍යයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයට ප‍්‍රදානය කළා.

මෙතෙක් නො වූ විරූ සතකු බව හඳුනා ගත් පසු විශේෂඥයන්ට අවශ්‍ය වුණා, මේ අලූත් සතාට සත්ව විද්‍යාත්මකව අලූතෙන් නමක් දමන්න. ඔවුන් එතැනදි හැරුණේ එය සොයා ගත් පුංචි දරුවා වෙතටයි. ඬේසි මොරිස්ගේ නම අනුව යමින් ඔවුන් ඒ සතා වෙක්ටිඞ්රැකෝ ඬේසිමොරිසියේ (Vectidraco Daisymorrisae) කියා නම් තැබුවා.

”ඬේසිට හමු වූ උකුල් ඇටය මිමී 40ක් දිගයි. ඒ අනුව මුළු සතාගේ දිග මිමී 350ක් පමණ වේවි. පියාපත් විදාහළ විට මිමී. 750ක් පමණ වේවි.” පර්යේෂකයන් කියනවා.

දැන් ඇය ගැන ළමයින් සඳහා පොතක් පවා ලියා පළ කර තියෙනවා. එහි නම ‘ඬේසි හා වයිට් දූවේ මකරා’ (Daisy and the Wight Dragon) යි. ඒ පොතට නම දමා ඇත්තේ ‘වෙක්ටිඞ් රැකෝ හෙවත් ඞ්රැගන් ඔෆ් වයිට්’ නම් ඒ අපූරු පියාඹන සත්වයා හඳුන්වන නම ඇසුරෙන්.

”මං මගේ යාළුවන්ට කීවා ඒක ගැන ඒ අය හරිම සතුටු වුණා.” ඇය තවමත් නයිටන් ප‍්‍රාථමික පාසලේ ඉගෙන ගන්නවා. ඬේසිගේ මේ අමුතු විනෝදාංශය නිසා එයා හරිම ප‍්‍රසිද්ධයි.

ඇගේ වයසේ අනෙක් ළමයින් වැඩි දෙනෙක් පොප් තරුවල පෝස්ටර් එකතු කරද්දී ඬේසි, ඇගේ කාමරය පුරවා ගෙන ඉන්නේ සතුන්ගේ හා ඩයිනොසෝරයන්ගේ රූපවලින් වියළා ගත් සත්ව කොටස්වලින්.

”අපි කාරයෙන් ගමනක් යද්දී මැරුණු සතකුගේ මළ කුණක් දැක්කොත් එයා ඒක අරගෙන යනවා. ගෙනිහින් වත්තෙ වළක දමා දිරාපත් වෙන්නට හැර ඒවායේ අස්ථි කොටස් එකතු කර ගන්නවා.” මව කියනවා.

 
මින් වසර මිලියන 115කට පෙර විසූ කපුටකු ප‍්‍රමාණයේ මේ ප‍්‍රාග් ඓතිහාසික පියාඹන උරගයා (ඩයිනොසෝරයා) සිත්තරකු දුටු හැටි! පස් හැවිරිදි ඬේසි මොරිස් විසින් සොයා ගෙන ඇති මෙම සත්ව විශේෂය දැන් ඇයට ගෞරවයක් වශයෙන් වෙක්ටිඞ්රැකෝ ඬේසිමොරිසා (Vectidraco daisymorrisa) කියා නම් කර තියෙනවා.

 
ඇතර්ෆීල්ඞ් මුහුදු වෙරළ: ඬේසි වසර පහකට පෙර සිරිත් පරිදි ඇවිදිමින් සිටියදී ඩයිනොසෝර පොසිල හමු වූයේ අයිල් ඔෆ් වයිට් නම් දූපතේ මෙම ස්ථානයේදියි.

”ඔබ ඔබේ දරුවා චිත‍්‍රවලට, නැටුම්වලට දක්ෂ නම් ඒ අතින් දිරිමත් කරනවා වාගේ අපත් අපේ දුව ආසා කළ දේට ඇය දිරිමත් කළා. ඒවා පිළිකුල් කරල අධෛර්යයට පත් කළේ නැහැ. ඒවා ගැන දැනුම වැඩි කර ගන්න, තවතවත් තොරතුරු සොයන්න දිරිමත් කළා. ඇය එයින් විශාල සතුටක් ලබනවා. අපට ඇය ගැන හරිම ආඩම්බරයි.” මව කියනවා.

වයස අවුරුදු හයේ දී ඬේසි ‘බීබීසී ස්ප‍්‍රින්වොච්’ වැඩ සටහනෙන් ඊට එක් වන විශේෂඥයන්ගෙන් ඇහුවා, මියගිය වැලි මීයකුගේ මළ කුණක් දිරාපත් වෙන්නට කොපමණ කලක් ගත වෙනවද? කියලා.

ඇය කිසිම පිළිකුලක් නැතිව හරක් හිස් කබලක් ඇගේ නිදන කාමරයේ ම තියා ගෙන ඉන්නවා. ෂ්රූ සතකු, ගෙම්බකු ඇතුළු තවත් වියළා ගත් සතුන් කීප දෙනකුම ඒ නිදන කාමරයේ ම ඉන්නවා.

ඇගේ උනන්දුව දන්නා නිසා සමහර අසල්වාසීන් ද ඔවුන්ගේ බළලූන් අල්ලා මරණයට පත් කළ කුරුල්ලන් ආදිය ඇයට ගෙනත් දෙනවා. ඒ අතර සමහර මිතුරන් හා නෑයන් ඇයට අස්ථි කැබලිම සොයා ගෙනත් දෙනවා, එයා එකතුවට එක්කර ගන්න කියලා.

මාටින් සිම්ප්සන්ටත් තියෙනවා සත්ව විශේෂ 50,000ක එකතුවක්. ඔහු බලාපොරොත්තු වෙනවා, අයිල් ඔෆ් වයිට් දූපතේ විශේෂ මධ්‍යස්ථානයක් තනවා එහි මහජන ප‍්‍රදර්ශනයට තබන්න. ඬේසිගේ සොයා ගැනීමට එහි දී විශේෂයෙන් වැදගත් තැනක් හිමි වේවි.

එදා ඒ වෙරළේ දී ඬේසි එය අහුලා ගත්තේ නැත්නම් එය මුහුදට ගසා ගෙන ගොස් කිසිදාක අපට එය හමු නොවන්නට ඉඩ තිබුණා.

”මෙයින් පැහැදිලි වෙනවා ආධුනිකයන්ට හා විශේෂඥයන්ට එක්ව ඇත්තෙන්ම ඉතා වැදගත් සොයා ගැනීම් කළ හැකි බව.”

 
ඬේසි මොරිස් දැරිය සොයා ගත් මේ ඇස්ථි පොසිල කැබැලිවලින් තමයි, නව ඩයිනොසෝරයා සොයා ගනු ලැබුවේ.

 
ඬේසිට හමු වූ අස්ථි කැබලි ඩයිනොසෝරයාගේ ශ්‍රෝණියේ කොටස්වලට අයත්.

”ඇය හරිම සුවිශේෂ දැරියක්. ඇය ළඟ විස්මිත පොසිල ඇස්ථි කැබලි, බෙලිකටු, හිස් කබල් හා දත් එකතුවක් තියෙනවා. ඇගේ නිදන කාමරය හරියට ‘ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයක් වගෙයි.’ ” මාටින් සිම්ප්සන් කියනවා.

”2009 අපේ‍්‍රල් මාසයේ දවසක ඬේසි ඇගේ පවුලේ අයත් එක්ක මේ පොසිල අස්ථි මා වෙත ගෙනවුත් පෙන්නුවා. මට තේරුණා, මා දකින්නේ සුවිශේෂ දෙයක් බව. දැන් ඒක ඇත්ත බව පැහැදිලියි.” ඔහු ඒ සිද්ධිය ආවර්ජනය කළා.

”පොසිලය සම්පූර්ණයෙන් ම නව සත්ව ගණයකට අයත් එකක් බව පැහැදිලි වුණා. ඒ කුඩා ටෙරසෝර ගණයේ සත්වයකු බව හඳුනා ගන්න අපට හැකි වුණා. ඒ සතා පියාඹමින් සිටියේ මීට වසර මිලියන 115කට පෙර පහළ කි‍්‍රටේසිය (ඛටීකාමය) යුගයට අයත් කාලයේදියි. එය හමුවුණේ සමුද්‍ර ඛාදනයට ලක් වූ වෙරළක දීයි. කිසිම සැකයක් නැහැ එදා එය ඬේසිගේ ඇස නො ගැටුණා නම් එය මුහුදට ගසා ගොස් නැවත කිසිදාක හමු නොවන්න තිබුණා.” සිම්සන් කියනවා.

පාෂාණීධාතු විද්‍යාව (palaeontology) හා සම්බන්ධ සුවිශේෂත්වයක් වන්නේ ප‍්‍රධාන පෙළේ සොයා ගැනීම් බොහොමක් ම ඬේසි වැනි දරුවන් හා ආධුනිකයන් විසින් සොයා ගනු ලැබූ ඒවා. ආධුනිකයන්ට ඒවා සොයා ගත හැකි වූයේ හරි වෙලාවට හරි තැන ඉඳීමට ඔවුන් වාසනාවන්ත වූ නිසයි. මේ වගේ විස්මිත සොයා ගැනීම් කීපයක් ගැන ම අප ඔබට මල් කැකුළු තුළින් කීවා ඔබට මතක ඇති.

බි‍්‍රතාන්‍යයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයට මේ ටෙරෝසෝර පොසිල පරිත්‍යාග කිරීමෙන් පසු අයිල් ඔෆ් වයිට් දූපත ‘මහා බි‍්‍රතාන්‍යයේ ඩයිනොසෝර අගනුවර’ ලෙස නම් කර තියෙනවා.

ඬේසි මෙවැනි දේ සෙවීමේ හා එක් රැස් කිරීමේ පුරුද්ද දිගට ම ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ”මට ආසාවක් තියෙනවා. එවැනි දේ රැස් කිරීමට. ඒ නිසා ඒ විනෝදාංශය දිගට ම කර ගෙන යනවා.” ඬේසි කියනවා.


-සම්බන්ධිත පුවත් --

Post a Comment

1 Comments