HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලොව මුල් ම කුරුල්ලන් පියාපත් යුගල දෙකකින් පියෑඹුවා! චීන පර්යේෂකයන් පිරිසකගේ සොයා ගැනීමක්!

පසුගිය දා චීන පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තියෙනවා, මුල්ම කුරුල්ලන්ට පියාපත් දෙකක් නොව හතරක් තිබුණු බව. ඔවුන් කියන්නේ ඒ කුරුල්ලන් පියාසර කළේ පියාපත් යුගලක් සහිත ‘බයිප්ලේන්’ අහස් යානයක් වගේයි කියායි.

මේ විශ්ලේෂණය සඳහා ඔවුන් ඉපැරණි කුරුලූ ඇටසැකිලි 11ක් පරීක්ෂා කරල තියෙනවා. ඒවා වසර මිලියන 150ත් 100ත් අතර අතීත කාලයට අයත්. ඒවාට අනුව ඒ පැරණි කුරුල්ලන්ට පාද හා සම්බන්ධ වුණු අතිරේක පියාපත් යුගලක් තිබුණු බව හෙළි වුණා. ඒවා ඉතා ඵලදායී අයුරින් හසුරුවන්නටත් ඔවුන් සමත් වුණා.

 
ඇන්කියෝනිස් හක්ස්ලි (Anchiornis huxley) කියන ප‍්‍රමාණයෙන් කුඩා වූ පිහාටු සහිත පියාසර කළ ඩයනසෝරයන්ට පාද අගත් පියාපත් දෙකක් තිබුණා.

 
පියාපත් හතරක් තිබුණු කුරුල්ලන් - මේ පොසිල සැප්රියෝනිස් නම් මුල් කුරුලූ වර්ගයකට අයත් කුරුලූ වර්ගයෙයි.

චීනයේ ලින්යින් විශ්ව විද්‍යාලයේ ෂියෝටින් ශෙන් ප‍්‍රමුඛ පර්යේෂකයන් පිරිසක් තමයි, මේ කටයුත්ත සඳහා සහභාගි වුණේ. ඔවුන් මේ සඳහා උපයෝගී කර ගෙන ඇත්තේ චීනයේ ශැන්ඩොන් ටියෑන්යු ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයට විවිධ රටවලින් පරිත්‍යාග කෙරුණු අවුරුදු මිලියන 150 -100ත් අතර අතිත කාලයට අයත් කුරුලූ ඇටසැකිලි 11ක්.

මේ කුරුල්ලන් 11 දෙනා සත්ව විශේෂ පහකට අයත් වුණු අතර ඒ ඇටසැකිලිවල පොසිල තත්වය ඉතා හොඳින් පැවතුණා. ඔවුන් ප‍්‍රමාණයෙන් කාක්කකුට වඩා ලොකු වුණා. විශාලතම කුරුල්ලා කළුකුමෙකුට වඩා ලොකු වුණේ නැහැ.

එසේ ම මෑත දී හමු වූ පොසිල ගණනාවකින් පෙනී ගියත් ඇතැම් ඩයිනසෝරයන්ට ඉදිරි පාදවල හා පසුපාදවල විශාල පිහාටු තිබුණු බව, මේ වන තෙක් නිදසුන් තිබුණේ නෑ, පියාපත් හතරක් ම කුරුලූ සිරුරවල තිබුණු බවට. මෑතදී වඳ වී ගිය ඔවුන්ගේ නෑයන් අතරවත් ඒ බවක් දක්නට තිබුණේ නෑ.

ෂියෝටින් ශෙන් ප‍්‍රමුඛ පර්යේෂකයන් පිරිස ඒ චීන ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයෙහිදී පරීක්ෂා කළ ප‍්‍රාථමික කරුලූ විශේෂවල පසුපාදවල පිහාටු තිබූ බවට පැහැදිලි සලකුණු තිබුණා.

වර්තමාන කුරුල්ලන්ට දෙවර්ගයක පිහාටු තියෙනවා. සිරුරේ පිටත පිහාටු හා යටි කයේ පිහාටු ආදී වශයෙන්.

චීන කණ්ඩායම සොයා ගත්තා සිරුර පිටත උඩු කයෙහි ඇති ඇතිරි පිහාටු නිසා මේ විශේෂයන්ගේ ඇටසැකිලි හා පසු පදවල පොසිල ඉතා හොඳින් සුරැකී ඇති බව.

මේ සොයා ගැනීම් නිසා නිගමනය කළ හැකි වුණා, පියාපත් හතරේ තත්වය පියාපත් දෙකක සිරුරකට හැරෙන්නට ඇතැයි යන්න. එසේ ම ඒ කුරුල්ලන්ගේ පසු පාදවල පිහාටු ඔවුන්ගේ පරිණාමීය යුගය තුළ දී අනුක‍්‍රමයෙන් අහෝසි වී යන්නට ඇති බව.

කෙසේ වෙතත් සමහර විශේෂඥයන් මේ පිළිබඳව ප‍්‍රශ්න කරලා තියෙනවා. ඔවුන් සිතන්නේ මේ පසුපාදයේ පිහාටු, පියාසර කිරීමට නොව අනංග රංගයේ කොටසක් ලෙස යොදා ගන්නා බවයි.

 
චීන පර්යේෂකයන් පිරිස විශ්ලේෂණයට ලක් කළ ඉපැරණි කුරුලූ ඇටසැකිල්ලක පොසිල - එහි පාදවල පිහාටු තිබූ සලකුණු.

එවැනි පෙරළියක්, පියාපත් හතරකින් පියාපත් දෙකකට මාරු වීම සිදු වන්නට ඇත්තේ පසුපාදවල කොරපොතු එන්නට පටන් ගැනීමත් සමග විය හැකියි. පර්යේෂකයන් කියන්නේ ඒවා ගොඩබිම එහා මෙහා යාමේ දී වඩාත් ප‍්‍රයෝජනවත් වන අයුරින් හැඩ ගැසීමට ඔවුන්ට අවශ්‍ය වීම නිසා සිදු වූවක් විය හැකි යැයි කියායි.

මේ පිළිබඳ විස්තර සහිත විශේෂාංගයක් ‘සයන්ස්’ (Science) නම් විද්‍යා සඟරාවේ පළ වී තියෙනවා. එහිදී ලේඛක මයිකල් බෝල්ටර් ඒ පැරණි කුරුල්ලන් සමාන කරනවා වසර 1900 පැවති ‘බයිප්ලේන්’ නම් අහස් යානා වර්ගයට. ඒවාත් පසුව පියසැරියෙන් ඉවත් කෙරුණා, වඩා වේගවත් මොනෝප්ලේන්වලට ඉඩ සලසමින්.

චීන පර්යේෂණ කණ්ඩායම නව පොසිල එකතුවක් ඉදිරිපත් කරල තියෙනවා ආදීම කුරුල්ලන් පරිණාමය වූ ආකාරය ගැන. අත් පා දෙකෙහි ඔවුන්ට පිහාටු තිබූ බව සොයා ගැනීම ඇත්තෙන් ම අපූරු සොයා ගැනීමක්. අත්පා සතරේම පිහාටු තිබූ ඔවුන් පසුව ඉදිරි පාදවල පිහාටු වැඩියෙන් වර්ධනය කර ගෙන තියෙනවා, මොනෝප්ලේන්වල ඇති ආකාරයට” ඔහු ඒ ලිපියෙහි ලියා තිබුණා.

ආදීම කුරුල්ලන් පියාපත් හතරකින් පියාසර කළා ය යන න්‍යාය මේ අධ්‍යයනයෙන් සනාථ කෙරෙනවා.

ආකියොප්ටෙරික්ස් (Archaeopteryx) ගණයට අයත් කුරුලූ පොසිලයක් 2004 දී පරීක්ෂාවට ලක් කෙරෙද්දී හෙළිදරවු කෙරුණා, ඒ සත්වයාගේ පසුපස හා පාදවල තිබූ දිගු පිහාටු අහසේ පාවී යාමට උපකාරී වන්නට ඇති බව.

එයින් වසර දෙකකට පසුව, 2007 දී කාක්කෙකුට සමාන තවත් සත්වයෙකු, එනම්, වසර මිලියන 150කට පෙර විසූ ප‍්‍රාග් ඓතිහාසික කුරුල්ලකු හමු වුණා, වත්මන් කුරුල්ලන්ගේ පියාපත්වලට සමාන පියාපත් ඇති.

Post a Comment

0 Comments