HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මනමාලයාට අටයි - මනමාලිට හැටයි! අපි‍්‍රකාවේ සිදු වූ අපූරු විවාහයක්!

අද තහනම් වුවත් ඉන්දියාවේ නම් බාල වයස්කාර ගැහැනු ළමයින් දීග දීම අතීතයේ සිදු වූ දෙයක්. ඒත් පිරිමි දරුවකු විවාහ කර වූ පුවතක් මේ වන තෙක් ලෝකයේ කොහේ හෝ සිදු කළ බවක් අපේ මතකයේ නම් නැහැ. ඒ අමුතු පුවත ආවේ දකුණු අපි‍්‍රකාවෙන්.

එහි ට්ෂ්වේන් නම් කුඩා නගරයේ සිදුවූ මේ අපූරු විවාහ උත්සවයේ ඡායාරූප පසුගියදා විදෙස් මාධ්‍යවල පළ වුණා. මේ විශ්මයජනක විවාහ මංගලෝත්සවයේ මනාලියගේ වයස අවුරුදු හැටකි, හරියට ම කියනවා නම් හැට එකකි. ඇගේ මනාලයාට වයස අවුරුදු අටකි.

මෙම විවාහ මංගල උත්සවය ඉකුත් දා සිදුවුණත් මේ මංගල උත්සවයට පසුබිම් වූ කතාව ආරම්භ වී ඇත්තේ මීට මාස දෙකකට පෙරයි.

මාස දෙකකට පෙර එක් දිනක රාති‍්‍රයේ මනාලයා වූ අට හැවිරිදි සැනලේ මසිලේලාට ඔහුගේ සීයා හීනෙන් පෙනී සිට කියා තියෙනවා, ඔහුට හෙලෙන් ෂාබන්ගු නම් හැට විය පිනූ කාන්තාවක සමඟ විවාහ වන ලෙසට.

සැනලේගේ සීයා ජීවතුන් අතර සිටිද්දී ඔහු කාන්තාවට තරුණ වියේ පෙම් කර තිබුණත් ඇය විවාහ කර ගෙන තිබුණේ නැහැ. මේ වන විට ඇය දරුවන් පස් දෙනකු සිටින මවක්. සීයා සිහිනෙන් අවතාරයක් ලෙසින් පැමිණ සැනලේට හෙලන් හා විවාහ වන ලෙස කියූ බව ඔහු මවට කියා තියෙනවා.

 
අපි‍්‍රකාවේ ගමක් මවිත වී බලා සිටින්නේ මේ අරුම පුදුම විවාහය දිහායි. මනාලයාට අටයි - මකාලියට හැටයි. අට හැවිරිදි සැනලේ ඔහුගේ 61 හැවිරිදි මනාලිය වූ හෙලන්ගේ අත ගෙන මංගලෝත්සවයට එක්වූ අයුරු.

සැනලේගේ මව වූ පේෂන්ස් මසිලේලාටත් වඩා හෙලන් වසර 15කින් වයසින් වැඩියි. දැනට 46 හැවිරිදි වියේ පසුවන පේෂන්ස් මසිලේලා ද හෙලන් මෙන්ම දරුවන් පස් දෙනකුගේ මවක්. මනමාලයා වූ සැනලේ ඒ පවුලේ බාලයායි.

සැනලේගේ මව ද දකුණු අපි‍්‍රකාවේ ට්ෂ්වේන් නගර වැසියන් මෙන් මියගිය මුතුන්මිත්තන් ගැන ගෞරවයෙන් හා බියෙන් ජීවත්වන කාන්තාවක්. මළගිය ඇත්තන් සතුටු කිරීම මරණින් මතු ජීවිතය යහපත් කරන බවත්, මළවුන්ගේ ඉල්ලීම පැහැර හැරියොත් මියගිය සීයා උරණ වී පවුලට විණ කාරවි යැයි බියට පත් ඇය සැනලේට හෙලන් විවාහ කර දීමට කටයුතු සූදානම් කළා.

‘සැනලේගේ සීයා සැනලේට හරිම ආදරෙයි. සීයා කළ ඉල්ලීම ඉවත දමන්න සැනලේ හෝ මා හෝ කැමැති වුණේ නැහැ’ යැයි මව කියනවා. ‘මෙවැනි මංගල උත්සවයක් මීට පෙර අප නගරයේ හෝ රටේ හෝ සිදුවී නැහැ. මාස 2 ක් වැනි කෙටි කාලයකදීයි විවාහ උත්සවයේ කටයුතු සිදු කෙරුණේ.’

මෙම ‘පෙරැළිකාර’ විවාහය නිසා මුළු දකුණු අපි‍්‍රකාවම කැළැඹී ගිය නමුත් සැනලේගේ මව සියල්ල පැහැදිලි කරමින් කියා සිටියේ එම විවාහය නීත්‍යානුකූල එකක් නොවන බවත්, නීත්‍යානුකූලව අත්සන් තැබීමක් හෝ විවාහය ලියාපදිංචි කිරීමක් හෝ සිදු නො වූ බවයි. එය චාරිත‍්‍රානුකූලව සිදුවූ උත්සවයක් පමණක් බවත් ඇය පැහැදිලි කළා.

විවාහයට සහභාගිවීම වෙනුවෙන් මනාලියගේ ඇඳුම් පැලඳුම් සහ වෙනත් වියදම් සඳහා පවුම් 500ක් ගෙවන්නත් මංගලෝත්සවයට පවුම් 1500ක් වැය කරන්නටත් සැනලේගේ මවට සිදු වුණා.

විවාහ උත්සවයට අමුත්තන් 100 දෙනකු පමණ පැමිණ සිටියා. මුදු මාරු කර ගැනීමෙන් අනතුරුව පුංචි සැනලේට ඔහුගේ අලූත් මනමාලියගෙන් හාදුවක් ද ලැබුණා. විවාහයෙන් පසු, එනම් සීයාගේ ආත්මය සතුටු කිරීමෙන් පසු, මානාල යුවළ යළි තම තමන්ගේ නිවෙස් බලා වෙන වෙනම පිටත්ව ගියා.

එම ‘නාමික’ විවාහ උත්සවයෙන් පසු සැනලේ කීවේ තමා පාසල් කටයුතු ඉදිරියටත් හොඳින් කරගෙන යන බවයි. නිසි වියට පත් වූ තමාගේ වයසට ගැළපෙන කාන්තාවක සමඟ විවාහ වීමට බලාපොරොත්තු බවත් ඔහු මාධ්‍යයෙන් නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කීවා.

හෙලේනා ෂාබන්ගූ පුංචි සැනලේට මිත්තණියක වැනියි. ඇයට වයස අවුරුදු 37 ක් හා 27 ක් වයසැති දරු දෙදෙනකු සිටින අතර ඔවුන් පවා දැන් විවාහකයි. හෙලේනා කියා සිටියේ මළගිය ආත්මයකට සැනසිල්ලක් දීමට ලැබීම ගැන ඇය සතුටු වන බවත් විවාහ වීමට තමා කැමැත්ත පළ කළේ එම නිසා බවත්ය.

 
මනාලියගෙන් පුංචි මනාලයාට හාදුවක්! මනාලිය දැනටමත් විවාහ වී දරුවන් පස් දෙනකු ඉන්නා මවක්! මංගල යෝජනාව ගෙනාවේ මියගිය සීයායි!

 
මංගල මුදුව මනාලයාට පලඳවන්න මනාලිය අතට දෙන අවස්ථාව. මළවුන් සතුටු කිරීමට කළ චාරිත‍්‍රයක් විතරයි කියලයි මනාලයාගේ මව කියන්නේ.

 
ඇය මෙසේ මනමාල පැටියාගේ අත ගත්තද දැනටමත් ගොඩනැගිලි ඉදිකරන්නකු හා විවාහ වී දරුවන් පස් දෙනකු ඉන්නා කාන්තාවක්.

 
මනාල යුවළ සම්ප‍්‍රදායක ඇඳුමින් සැරසී ...... මනාලියගේ ඇඳුම් පැලඳුම්වලට පවුම් 500ක් ගෙවන්නත් මංගල සාදයට පවුම් 1,500ක් වැය කරන්නත් මනාලයාගේ මවට සිදු වුණා.

 
සැනලේ ඔහුගේ මව සමග මංගලෝත්සවයට ගිය අයුරු.



Post a Comment

0 Comments