HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පිටසක්වළ ජීවය සොයන්න හොඳම තැනක් හමුවෙලා! බ‍්‍රහස්පතී ග‍්‍රහයාගේ යුරෝපා චන්ද්‍රයා ගැන නාසා ආයතනය කියයි.

බ‍්‍රහස්පතී ග‍්‍රහයාගේ හිමෙන් වැසුණු යුරෝපා නම් චන්ද්‍රයා පෘථිවියෙන් එපිට ජීවින් ඇද්දැයි සෙවීමට හොඳම තැන ලෙස නාසා විද්‍යාඥයන් පිරිසක් හඳුනා ගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් පර්යේෂණාත්මක ලේඛනයක් ඉදිරිපත් කරමින් කියන්නේ යුරෝපා චන්ද්‍රයාගේ මතුපිට අයිස් තිබුණත් ඊට යටින් කරදිය පිරුණු විශාල සාගරයක් ඇති බවයි. ඒ සාගරයෙහි ජලය මතුපිටට කාන්දු වන බවත් ඒ අනුව එහි ජිවීන් පැවතීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවත් එහි සඳහන් වෙනවා.

පර්යේෂණාත්මක ලේඛනයෙන් කියා ඇත්තේ එහි බිම යට ඇති සාගරයත් මතුපිටත් අතර රසායනික හුවමාරුවක් සිදු වන බවයි. ඒ පර්යේෂක කණ්ඩායමේ සිතන්නේ එයින් සාගරයෙහි රසායනික පරිසරය පෝෂණය වන්නේ කියායි.

 
මේ චිත‍්‍රයේ ඉදිරියෙන් දැක්වෙන්නේ යුරෝපා චන්ද්‍රයාගේ හරස් කඩක්. දකුණේ බ‍්‍රහස්පතී සමග එහි මැද ඇත්තේ ඒ ග‍්‍රහයාගේ තවත් චන්ද්‍රයකු වන ඉයෝ යි.

මෙම පර්යේෂණාත්මක ලේඛනය පිළියෙල කර ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝනිවේ පසදේනාහි පිහිටි කැලිෆෝනියා තාක්ෂණික ආයතනයෙහි තාරකා විද්‍යාඥ මහාචාර්ය මයික් බ‍්‍රවුන් සමග නාසා ජෙට් ප‍්‍රචාලන රසායනාගාරයේ කෙවින් හෑන්ඞ් යන දෙදෙනා විසිනුයි.

මෙහි සාගරය හා මතුපිට අතර සිදු වන හුවමාරුව ගැන සඳහන් කරමින් මහාචාර්ය බ‍්‍රවුන් කියන්නේ, එහි මතුපිට සිට ශක්තිය සාගරයට ගලා යන බවයි. ඔහු හිතන හැටියට එය එහි ජීවය තිබිය හැකි බවට ඉතා හොඳ සාධකයක්.

”මෙහි භූගත සාගරයේ ඇත්තේ මොනවා දැයි දැන ගැනීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ එහි මතුපිටට එන තැන්වලින් සූරා ගත් කොටස් පරීක්ෂා කිරීමයි.” ඔහු කියනවා.

යුරෝපා චන්ද්‍රයාගේ මුළු ගෝලය පුරාම මේ සාගරය සැතැපුම් 60ක් පමණ ගැඹුරට විහිදෙනවා. ඒ මතුපිට තුනී අයිස් තට්ටුවකින් වැහිලයි තියෙන්නෙ.

විද්‍යාඥයන් යුරෝපා චන්ද්‍රයාගේ මතුපිට සංයුතිය ගැන බොහෝ කලක් විවාද කළා.

දැන් හවායිහී මෝනා කීවල පිහිටුවා ඇති කෙක් -2 දුරේක්ෂය භාවිත කරමින් මහාචාර්ය බ‍්‍රවුන් හා හෑන්ඞ් දෙදෙනා එහි මැග්නීසියම් සල්ෆේට් ලවණ, ඒ කියන්නේ එප්සම් ලවණ ඇති බව හොයා ගත්තා. ඒවා ඇති වන්නට බලපාන්නට ඇත්තේ සාගරය යටින් ලැබුණු ඛනිජයක් නිසා ඇති වූ ඔක්සිකරණය නිසා යැයි සිතිය හැකියි.

පර්යේෂකයන් ඔවුන්ගේ යුරෝපා අධ්‍යයනය පටන් ගත්තේ පිරිසිදු ජලය ඇති අයිස් තට්ටු වලින්. ඒවා වෙනත් දේ හා සසඳා බලමින්.

ඉන්පසු පහළ අක්ශාංශකවල දී, ඝනත්වයෙන් වැඩි ජලය නො වන අයිස් ද්‍රව්‍ය ඇති බව ඔවුන් දුටුවා. එහිදී සුළු වුනත් මින්පෙර නොවූ විරූ වෙනස් කමක් ඔවුන්ට හඳුනා ගත හැකි වුණා.

සෝඩියම් ක්ලෝරයිඞ්, එනම් සාමාන්‍ය ලූණු, ඇතුළු හැම ලවණ වර්ගයක් ම යොදා ගෙන යුරෝපාවල ඒ පරිසරය අනුකරණය කරන්න තැත් කළා. හිම වලින් වැසුණු විවිධ ලෝකවලට අදාළ කර ගෙන මෙම පරීක්ෂණ පැවැත් වුවා.

අවසානයේ දී තමයි, එහි ඇත්තේ මැග්නීසියම් සල්ෆේට් (එප්සම් ලූණු) බව හඳුනා ගත්තේ.

ඇස්ට්‍රොනොමිකල් ජර්නල සඟරාවට වාර්තාවක් ඉදිරිපත් කරන ඒ විද්‍යාඥයන් කියන්නේ මේ මැග්නීසියම් සල්ෆේට් නිපදවනු ලබන්නේ යුරෝපා චන්ද්‍රයාගේ ඇති විශාල සාගරයේ මැග්නීසියම් ක්ලෝරයිට් ලවණ වලින් බවයි.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ යුරෝපාහී පිහිටි සාගරයේ ඇති සංයුතිය අපේ පෘථිවියේ ඇති කරදියෙන් පිරි සාගරවලට බොහෝ සේ සමාන බවයි.

හෑන්ඞ් කියන විදියට පෘථිවියෙන් එපිට ජීවය සෙවීමේ දී ප‍්‍රධාන ඉලක්කයක් වනුයේ යුරෝපා චන්ද්‍රයායි.

නාසා දැනටමත් ආයෝජනය කරන අධ්‍යයනය කණ්ඩායම ලොව අනිකුත් විද්‍යාඥයන් සමග එක්ව තවදුරටත් යුරෝපා චන්ද්‍රයා ගවේෂණය කළ යුතු අංශ හඳුනා ගනිමින් ඉන්නවා.

”පෘථිවියේ ජීවය ගැන අප යමක් ඉගෙන ගත්තා නම් ඒ සියල්ල අධ්‍යයනයට උපකාර වූයේ මෙහි ඇති ජලයයි. ද්‍රව ජලය ඇත්නම් ජීවයක් පවතින්නම ඕනැ. ඒ නිසා යුරෝපා චන්ද්‍රයාගේ ලවණ සහිත සාගරය ජීවය ඇද්දැයි සොයන්න ඉතා හොඳ තැනක්.” ඔහු අවසාන වශයෙන් කියනවා.

 
මේ යුරෝපා චන්ද්‍රයාගේ මිදුණු මතුපිට අපේ සඳෙහි මතුපිටට බොහෝ සෙයින් සමානයි. ඊට යටින් කරදියෙන් පිරි විශාල සාගරයක් ඇතැයි විද්‍යාඥයන්

යුරෝපා චන්ද්‍රයා ගැන තොරතුරු බිඳක්

යුරෝපා යනු බ‍්‍රහස්පතී ග‍්‍රහයාට ආසන්නව පිහිටා ඇති හය වන චන්ද්‍රයායි. ගැලීලියෝ විසින් මුලින්ම හඳුනා ගත් එහි චන්ද්‍රයන් හතරෙන් කුඩාම චන්ද්‍රයා එයයි.

ගැලීලියෝ ගැලිලි විසින් මෙය සොයා ගනු ලැබුවේ 1610 ජනවාරියේයි. මේ චන්ද්‍රයාට ‘යුරෝපා’ කියා නම් තබනු ලැබුවේ, ගී‍්‍රක මිථ්‍යා කථාවල සඳහන් පරිදි ඇය ස්යුස් (Zeus) මහ දෙවියන් වූ පේ‍්‍රමය දිනා කී‍්‍රටයේ රැජන වූ ඒ නමින් යුත් ෆීනීෂියානු වංශවත් කාන්තාව අනුව යමිනි.

යුරෝපා බ‍්‍රහස්පතී වටා එක් වරක් යාමට දින තුනහමාරක් ගත කරනවා. එහි කක්ෂීය අරය කිලෝමීටර් 670,900ක්.

එය අපේ හඳට වඩා මඳක් කුඩායි. එහි විශ්කම්භය කි.මි. 3,100ක්. එය බ‍්‍රහස්පතීගේ චන්ද්‍රයන් අතරින් විශාලත්වයෙන් හය වැනි තැන් ගන්නා අතර මුළු සෞරග‍්‍රහ මණ්ඩලයේ ම ආකාශ වස්තූන් අතරින් 15 තැන ගන්නවා.

එහි මතුපිට කි.මී. 100ක් පමණ වන ජල ස්තරයක් තියෙනවා කියලයි විද්‍යාඥයන් කියන්නෙ. මෙම මතුපිට ස්තරය අයිස් බවට පත් වී ඝන වී ඇති අතර ඊට යටින් ජලය වශයෙන් විශාල සාගරයක් පවතින බවයි, දැන් ඔවුන් සොයා ගෙන තියෙන්නෙ.

එය සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇති ඉතාමත් සිනිදු මතුපිටක් ඇති වස්තුවයි. මතුපිට ආවාට ඇත්තේ ස්වල්පයක් පමණයි. ඒවා භූකාරක අතින් සකි‍්‍රය වුනත් තාමත් පවතින්නේ ආරම්භක අවධියේයි.

Post a Comment

3 Comments

  1. මට මතකයි ආතර් සී ක්ලාර්ක් මහතාගේ පොතක තිබුනා පිටසක් වලින් ආපු මෙහෙම පණිවිඩයක්
    ''යුරෝපා හැර සියලු ග්‍රහලෝක ඔබගේය.කිසි දිනක යුරෝපා මතට ගොඩ නොබසින්න කියලා''.
    මේ වෙන්න යන්නේ එකද මන්දා.

    ReplyDelete
  2. a kale යුරෝපා ග්‍රහලෝකyak wage wenna ahti neda..

    ReplyDelete