වසර මිලියන 300කටත් වඩා පැරණි පා සලකුණක් සොයා ගත් 10 හැවිරිදි සිසුවෙක්!

මේක අදහන්න බැරි තරම් විස්මිත කතාවක්! බෲනෝ ඩිබැටිස්ටා දස හැවිරිදි පාසල් සිසුවෙක්! ඔහු ඉගෙන ගත්තෙ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්වල වින්ඞ්මිල් ප‍්‍රාථමික පාසලේ. ඔහු පොතුගල් කැබැල්ලක් ගෙනාවා ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ස්වභාව විද්‍යා ඓතිහාසික කෞතුකාගාරය විසින් ළමයින් සඳහා පවත්වා ගෙන සමාජයකට. එය කෞතුකාගාරය විසින් පාසල් වෙලාවෙන් පසු කුඩා දරුවන්ට විශේෂයෙන් පිළියෙල කළ සමාජයක්.

ඒ පොතුගල පතුර බෲනෝ එහි ගෙන ගියේ එය පොසිල සලකුණක් කියා ඔහුගේ කුඩා මොළයට වැටහුණ නිසයි. එය දුටු කෞතුකාගාර විශේෂඥයන් මවිතයට පත් වුණා. ඔවුන් එය දුටුවේ ඛුරප කකුළුවකුගේ (horseshoe crab) පා සලකුණක් ලෙසයි. ඔවුන් හඳුනා ගත්තා ඒ සලකුණු ඊට වසර මිලියන 320කට පමණ ඉහත කාලයක දී මුහුදු වෙරළක්ව පැවති මඩ සහිත බෑවුම් ප‍්‍රදේශයක ඒ කකුළුවකු ඇවිද ගෙන ගිය බව හෙළි කරන ඉතා වැදගත් සාක්ෂියක් ලෙස.

 
විස්මිත සොයා ගැනීමක්! එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හී පාසල් සිසුවකු වූ බෲනෝ ඩිබැටිස්ටා මේ පෙන්වන්නේ ඔහු විසින් පසුගියදා සොයා ගත් පොතුගල් පතුරයි. එය මීට වසර මිලියන 300කට පමණ පෙර විසූ කකුළු විශේෂයක පොසිලගත සලකුණු යැයි දැන් හඳුනා ගෙන තියෙනවා.

ඒ කෞතුකාගාරයේ අධ්‍යාපන නිලධාරියා වූ කි‍්‍රස් ජාවිස් කියන්නේ, ”මේ තරම් ඈත යුගයක පා සලකුණු හමු වීම අතිශය දුර්ලභ දෙයක්. එසේ හමු වුවත් ඒවා හඳුනා ගැනීමත් ඉතාමත් අසීරුයි. පුංචි බෲනෝ මේවා ගෙනත් අපට පෙන්නුවාම අප මවිතයට පත් වූ තරම කියන්න බැරි තරම්!” කියායි.

”මෙහි ඇති වඩාත් අපූරුව වන්නේ බෲනෝ මෙය දුටු විගස, මෙය කිසියම් ආකාරයක පා සලකුණු විශේෂයක් ලෙස අනුමාන කිරීමත් මේ නිදර්ශකය දුටු, අපේ ලෝක ප‍්‍රකට භූවිද්‍යා විශේෂඥයන් පවා අන්වීක්ෂවලින් බලමින් මේ පිළිබඳ වාද විවාද කිරීමත්ය.” ඔහු තවදුරටත් කියනවා.

 
නොසිතූ විරූ සොයා ගැනීමක්! ගල්පතුරෙහි යම්තමින් පෙනෙන මේ සලකුණු ඉතා පැරණි ඒවා යැයි සිතීම ම විස්මයජනක දෙයක්.

බෲනෝගේ පොසිලය මීට වසර මිලියන 308ත් 327ත් අතර අංගාරධර හෙවත් කාබොනිෆරස් යුගයට අයත් එකක් බව කෞතුකාගාරය විසින් තහවුරු කර ගෙන තියෙනවා. ඔවුන් කියන්නේ මෙය ඛුරප කකුළුවන් යුවළක් එක්වීමේ දී තබන ලද පා සටහන් වගයක් බවයි.

මේ යුගයේ දී පැන්ජියාව (Pangaea) සෑදීම සඳහා පොළොවේ ප‍්‍රධාන භූමි ප‍්‍රදේශ එකිනෙක ළං වෙද්දී මෙම ප‍්‍රදේශයේ පැවති මුහුද සෙමින් සෙමින් ගොඩබිම විසින් ගිල ගන්නට ඇතැයි කියා ඔවුන් විශ්වාස කරනවා.

කෞතුකාගාරය විසින් සවස් වරුවේ පවත්වා ගෙන යන මෙම ස්වභාවික විද්‍යා ඓතිහාසික සමාජයේ අරමුණ වන්නේ 6 වසරේ ළමුන් තුළ ස්වාභාවික ලෝකය පිළිබඳව උනන්දුව වර්ධනය කිරීමයි.
ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ ළමුන් අතරින් අනාගත පරම්පරාවේ භූ විද්‍යාඥයන් හා සත්ව විද්‍යාඥයන් බිහි කිරීමටයි.

මෙම සමාජයේ සතිපතා පැවැත්වෙන සැසිවාරවල දී ඔවුන් පාෂාණ, පොසිල, කෘමීන් හා වෙනත් සත්ව ජීවිත ගැන අවධානය යොමු කෙරෙනවා.

 
තාමත් 10 හැවිරිදි වියේ පසු වන බෲනෝ මේ පෙන්වන්නේ කෞතුකාගාරයේ ඇති සංරක්ෂිත ඛුරප කකුළුවකුගේ සිරුරක්. ඔහුගේ අතේ ඇත්තේ ගිය ගිම්හානයේදී කෝන්වෝල්වල විනෝද ගමනක යෙදෙද්දී ඔහු හමු වූ පොසිලයයි.

නිදර්ශක එක් රැස් කිරීමටත්, ඒවා පිළිබඳ නිරීක්ෂණ හා නිගමනවලට එළඹීමටත්, සිය දැනුම හා අදහස් අනිකුත් අය සමග බෙදා ගැනීමටත් මෙම සමාජයේ සාමාජික සාමාජිකාවන් දිරිමත් කෙරෙනවා.
බෲනෝ විශේෂයෙන් ම මේ සමාජය සඳහා තෝරා එවනු ලැබුවේ ඔහුගේ පාසලේ ගුරුවරුන් විසින් ඔහු සොබාදහම ගැන දක්වන විශේෂ උනන්දුව නිසයි.

ඔහු මේ පොසිල එක්කාසු කර ගෙන ඇත්තේ පසුගිය ගිම්හාන සමයේ කෝන්වෝල්හි නිවාඩුවක් ගත කරමින් සිටියදියි.

”අවාසනාවකට වාගේ බොහෝ ළමුන් තුළ සොබාදහම හැදෑරීමට ඇති උනන්දුව හා උද්යෝගය හීන වී යනවා. ඒ නව යොවුන් වයස්වල දී එය වැඩකට නැති විකාර දෙයක් ලෙසට සිතන්නට පටන් ගැනීම නිසයි. ද්විතීය අධ්‍යාපන මට්ටමේ දී විද්‍යාව පොතට සීමා වූ විභාග ඉලක්ක කර ගෙන කරන්නක් වීම මෙයට ප‍්‍රධාන හේතුවයි.” කි‍්‍රස් ජාවිස් වැඩිදුරටත් කියනවා.

”අපේ අරමුණ හා උත්සාහය මේ සමාජය මගින්, ළමුනට ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමටත් ඔවුන් තුළ ඇති සැඟවුණු කුසලතා මතු කර ගැනීමටත් ඒ සඳහා ඔවුන්ට මග පාදා දී ඔවුන්ව දිරිමත් කිරීමටත් ඉඩ සැලසීමයි. මං විශ්වාස කරනව මේ මගින් ඒ අරමුණ ඉටු කර ගන්න අපට හැකිවෙලා තියෙනවා කියලා.” ඔහු අවසාන වශයෙන් කියනවා.

බෲනෝ සහ ඔහුගේ පවුලේ උදවිය ඔහු සොයා ගත් මේ පොසිලය ඒ කෞතුකාගාරයට පිරිනමන්නට තීරණය කරලයි, තියෙන්නෙ.

මේ ඛුරප කකුළුවන් කියන්නේ කෙබඳු සතුන් විශේෂයක් ද?

ඛුරප කකුළුවන් පෙනුමෙන් ක්රුස්ටාසෙයාවන් හෙවත් කවචයන්ට අයත් වගේ වුනත් ඔවුන් පොකිරිස්සන්ට හා ඉස්සන්ට වඩා සමීප නෑකම් දක්වන්නේ මකුළුවන්ට හා ගෝනුස්සන්ටයි.

ඔවුන් ලෝකයේ සිටින වඩාත් පැරණිතම සත්ව විශේෂයක්. ඔවුන්ට අදාළ පැරණිම පොසිල හමු වී ඇත්තේ ඕඩෝවිසීය අවධියට අයත් පාෂාණ ස්තරවලයි. ඒවා දළ වශයෙන් වසර මිලියන 450ක් තරම් පැරණියි.

ඔවුන් වැඩි වශයෙන් වාසය කරන්නේ නොගැඹුරු මුහුදුවල සිනිදු වැලි හෝ මඩ සහිත මුහුදු පත්ලේයි. එසේ වුවත් වර්ගයා බෝ කිරීමට එක් වීම සඳහා වෙරළ ඒම ඔවුන්ගේ සිරිතයි.

මේ සතුන් බහුලව යොදා ගන්නේ මසුන් ඇල්ලීමේ ඇමක් වශයෙනුයි. ඒ හැරෙන්නට පොහොර තැනීමටත් ඔවුන් විශාල වශයෙන් අල්ලා ගැනීම සිදු වෙනවා. ඔවුන්ගේ ජීවන පරිසර විනාශ වීම නිසාත් පමණ ඉක්මවා ඇල්ලීම නිසාත් ලොව පුරා ඔවුන්ගේ ගහණය දැන් ශීඝ‍්‍රයෙන් අඩුවෙමින් පවතිනවා.


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

4 Comments

  1. මේ දවස් වල පොඩි අය හොයාගන්න දේවල් ගැන තොරතුරු ‍ගොඩක් කියෙව්වා..... ස්තුතියි මල් කැකුලු!

    ReplyDelete
  2. ස්තුතියි බුද්ධි!

    ReplyDelete
  3. එක නෙවී අපේ පොඩි එකෙක් ඔයින් එකක් හොයා ගත්තොත් මොනා වෙයිද ........... ?

    ReplyDelete
  4. monawa wenneda samira mame............

    ReplyDelete