HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ජගත් විද්‍යාඥයන් පිරිසක් වඳවුණු සතුන් 24කට යළි පණ දෙන්න සැරසෙනවා!

පසුගිය දා ජගත් විද්‍යාඥයන් එක් රැස් වී අපූරු සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාව පැවැත්වුණේ අතීතයට පණ දීමට ඇති හැකියාව ගැන සොයා බලන්නයි. දැනට වඳ වී ගොස් ඇති සතුන් අතරින් 24 දෙනකුට අනාගතයේ දී පණ දීමට ඔවුන් එහිදී එකඟ වුණා.

ඒත් මේ නිසා ජුරාසික් පාක් සිහිනය සැබෑ වෙන්නේ නැහැ. චිත‍්‍රපටයේදී එහෙම වුණාට එය සැබෑවක් බවට පත් කරන්නට තරම් ඒ ජාන පැරණි වැඩි කියලයි ඔවුන් කියන්නෙ.

ඔවුන් වඳ වූ සතුන් යළි උපදවීම සඳහා ‘ඩිඑක්ස්ටින්ක්ෂන්’ (de-extinction) කියා අලූත් වචනයකුත් හදලයි තියෙන්නෙ. ඊට සිංහලෙන් ‘නිර්හායනය’ (වඳ වීම වැළැක්වීම) කියා කිව හැකියි.

වඳ වී ගිය සතුන්ට පණ දීම ගැන මෙසේ සාකච්ඡා කළේ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ පසුගියදා පැවැත්වුණු විශේෂ ටෙඞ්එක්ස් (TEDx) සමුළුවකදියි. ඒ සඳහා අනුග‍්‍රහය දැක්වූයේ නැෂනල් ජ්‍යොග‍්‍රෆික් ආයතනයයි.

 
මේ කුරුල්ලා ඩෝඩෝ. ඌව ආහාරයට ගන්නා විලෝපිකයන් හිටියෙ නෑ. ඒත් මිනිසුන් ආහාරයට ගත් නිසයි ඌ වඳ වී ගියේ.

ටෙඞ්එක්ස් (TEDx) යනු ‘තාක්ෂණවේදය’ (Technology), ‘විනෝදාස්වාදය’ (Entertainment) හා ‘සැලසුම් කිරීම’ (Design) වදන් ඉංගිරිසි වදන් තුනේ මුල් අකුරු එක් කර තනා ගත් වදනක්. නව ප‍්‍රවණතා, නව අදහස්, නව නිපැයුම්, නව සංවාද ආදිය දිරි ගැන්වීම අරමුණු කොට ගෙන පිහිටුවා ඇති සමාජසේවා ආයතනයක්.

ඔවුන් එහි දී තීරණය කළා දැනට වඳ වී ගොස් ඇති සත්ව විශේෂ 24ක් නිර්හායනය කරන්න.

ඒ සතුන් අතරට ඩෝඩෝ (Dodo) කියන කුරුල්ලාත් අයත් වෙනවා. කැරොලිනා පැරකීට් කියලත් කියන මේ කුරුල්ලා අන්තිමට පණ පිටින් දැක ඇත්තේ 1904 දී ඇමරිකාවේ ෆ්ලොරිඩාවෙදියි.

තවත් සතෙක් තමයි, කෝගා (Quagga) කියන දකුණු අපි‍්‍රකාවේ ජීවත්ව සිටි සීබ‍්‍රා විශේෂය. වනාන්තරව ජීවත් වූ අවසන් සත්වයා වෙඩි තබා මරා දමන ලද්දේ 1870දියි. මිනිසා විසින් ඇති කළ මේ වර්ගයේ අන්තිම සතා මිය ගියේ 1883දි කියලයි වාර්තා පොත්වල සඳහන් වෙන්නෙ.

නැවත පණ දිය යුතු සතුන් තේරීමේ දී ඔවුන් උපමානයන් ගණනාවක්ම යොදා ගත්තා. එසේ ම එවැන්නක් කිරීම සදාචාරාත්මක ද යන්න ගැන පවා සාකච්ඡා කළා.

ඒ වගේම ඔවුන් සාකච්ඡා කළා තෝරා ගන්නා සතා නැවත මිහිමත සිටීමේ වැදගත්කම කෙතෙක්දැයි කියා. ඒ සතුන්ට හිමි වැදගත් කාර්යභාරයක් අද පරිසරයෙහි තියෙනවාද, මිනිසුන්ගේ ආදරය ඔවුනට හිමි වේවිද කියාත් සොයා බැලූවා.

මෙයට අමතරව ප‍්‍රායෝගික වශයෙන් වඩාත් සාර්ථකව කළ හැක්කේ කුමන සතුන්ද? හොඳ තත්වයේ ඞීඑන්ඒ සාම්පල හෝ ජාන සෛල ලබාගත හැකි පටක තිබේද? ආදී වශයෙන් ඒ සත්ව විශේෂය අලූතින් උපදවීම සම්බන්ධ නොයෙක් තාක්ෂණික කරුණු ගැන විපරම් කළා.

එපමණක් නොව තෝරා ගන්නා සතුන් සත්‍ය වශයෙන් ම නැවත මිහිමතට හඳුන්වා දිය හැකිද? ඔවුන් කුමන කරුණු නිසා මිහිමතින් තුරන් වී ගියේ ද? යන්න ප‍්‍රධාන වශයෙන් සලකා බැලූණා.

මේ මාසයේ නැෂනල් ජ්‍යොග‍්‍රාෆික් සඟරාවේ මෙය සිදු කරන ආකාරය ගැන විස්තරයක් පළ කර තියෙනවා. පැරණි ඞීඑන්ඒ සාම්පල අරගෙන ඒවා සම්පූර්ණ ජිනෝමියක් සෑදෙන සේ නැවත සකස් කෙරෙන බවයි, එහි සඳහන් වූයේ.

ඊළඟට, කරන්නේ පැටියකු බිහි කළ හැකි මවක සොයා ගෙන ඒ මවගේ කලල සෛලවල ඞීඑන්ඒ ඉවත් කොට ඒ වෙනුවට අලූතින් සම්පූර්ණ කරන ජිනෝමිය එහි තැන්පත් කිරීමයි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව වසර දහයකට පෙර ප‍්‍රංශයේ හා ස්පාඤ්ඤයේ විද්‍යාඥයන් පිරිසක් වඳ වී ගිය එළුවකු යළි පණ ගැන්වුවා. ඒත් ඒ සතා ජීවත් වූයේ මිනිත්තු 10ක් පමණයි.

කෙසේ වෙතත් නිර්හායනය කිරීමේ දී සදාචාරාත්මක හා ප‍්‍රවර්ධන ගැටලූ ගණනාවක් මතු කරනවා. වඳ වී ගිය සතකුගෙන් සාර්ථකව භාවිත කළ හැකි ඞීඑන්ඒ සාම්පල ගැනීම හා එසේ ගැනීම කළ යුතු ‘හරි’ දෙයක්ද යන්න ඇතුළු මේ ගැටලූ විවිධයි.

මේ සත්ව විශේෂ නිර්හායනය කිරීමට වැය වන මුදල එකිනෙකට වෙනස් වෙනවා. ඒ සඳහා ඩොලර් ලක්ෂ ගණනක් වැය විය හැකියි.

මේ තත්වය උදා වූයේ විද්‍යාඥයන් පිරිසක් ක්ලෝනීය තාක්ෂණය යොදා ගෙන වඳ වී යන ගෙඹි වර්ගයක් ඉන් වළක්වා ගැනීමට ඒ මියගිය සතාගේ මළ සෛල න්‍යෂ්ටිය වෙනත් ගෙඹි විශේෂයක අලූත් බීජයක තැන්පත් කිරීම සාර්ථක වීමෙන් පසුවයි.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නිර්මාණය වූ කලලය ජීවත් වූයේ දින කිහිපයක් විතරයි.

එම නිර්මාණශීලී නව පර්යේෂණයට මග පෑදූ ලාසරස් ව්‍යාපෘතිය (Lazarus Project) නිසා තමයි, විද්‍යාඥයන් සාකච්ඡා කරන්න පෙළඹුණේ ලෝම මැමතයන් වැනි වඳ වී ගිය සතුන් නිර්හායනය කිරීමට ඇති හැකියාව ගැන.

වසර පහක් තිස්සේ යළි යළිත් කළ පර්යේෂණ ගණනාවකින් පසු පර්යේෂකයන් රසායනික තාක්ෂණ ක‍්‍රම වේදයක් සොයා ගත්තා, එය සාර්ථක කර ගත හැකි. එය ඔවුන් හඳුන්වන්නේ දෛහික සෛල න්‍යෂ්ටි මාරු කිරීම (somatic cell nuclear transfer) යන නමින්.

 
නවසීලන්තයේ විසූ මේ මෝවා (Moa) අඩි 12ක් පමණ උස අහිංසක පියැඹිය නොහැකි කුරුල්ලෙක්. එරට ස්වදේශිකයන් සේ සැලකෙන මවෝරින් විසින් පමණ ඉක්මවා දඩයම් කිරීම නිසයි ඔවුන් වඳ වී ගියේ.

කලකට පෙර අතිශයින් ජනපි‍්‍රය වූ ‘ජුරාසික් පාක්’ චිත‍්‍රපටයේ දී හිතලූවක් ලෙස කියැවුණු ක‍්‍රමයට සමාන ක‍්‍රමයක් තමයි, විද්‍යාඥයන් මෙය සැබෑ කිරීමේ අත්හදා බැලීම් සඳහා යොදා ගත්තේ. ඔවුන් මුලින්ම කළේ ගේ‍්‍රට් බාර්ඞ් ෆ්‍රොග් නම් ගෙඹි වර්ගයේ අලූත් බිත්තර ගෙන ඒවායේ න්‍යෂ්ටීන් අකි‍්‍රය කොට ඒ වෙනුවට ඒ ගෙඹි විශේෂයට දුරින් නෑ සබඳතාවක් ඇති වඳ වී ගිය ගෙම්බකුගේ ජාන ඇතුළත් කිරීමයි.

සමහර බිත්තර ආරම්භක කලල අවස්ථාවේ දී එසැණින් බෙදෙන්නත් වර්ධනය වන්නත් පටන් ගත්තා. අවුරුදු 30කට පෙර වඳ වී ගිය ඒ සතාගේ සජීවී සෛල ගුළියක් වර්ධනය වුණා. ඒත් ඒවා දින කීපයකට වඩා සජීවීව පැවතුණේ නැහැ. ඒත් ජාන පරීක්ෂණ මගින් තහවුරු වුණා බෙදීමෙන් එසේ වර්ධනය වූයේ ස්ථිරවම වඳ වී ගෙඹි විශේෂයේ ජාන ද්‍රව්‍ය බව.

මේ සියල්ල අවසානයේ අත්හදා බැලීම් රැසකට පසුව අද ඔවුන් සැරසී සිටින්නේ වඳ වී සතුන්ට පණ දිය හැකියි යන ස්ථිර අධිෂ්ඨානයෙන්.

 
මේ ගේ‍්‍රට් ඕක් (Great Auk) කුරුල්ලා 10 වන සියවසේ මැද භාගයේ උතුරු අත්ලාන්තික් සාගරබදව විසූවෙක්. උතුරු ස්පාඤ්ඤයේ සිට කැනඩාව තෙක් මේ කුරුල්ලන් ව්‍යාප්තව සිටියා. දේශගුණික වෙනස්කම් නිසා ධ්රුව වලසුන්ට ඔවුන්ගේ වාස බිම්වලට ඒමට හැකි වීමත් මිනිසුන්ගේ දඩයම් කිරීමත් නිසා මේ කුරුල්ලන් අද වඳ වී ගොසින්.

 
අලියකුට සමාන වූ ලෝම මැමතා (Woolly Mammoth) විසූවේ ආක්ටික් සාගරයේ රැන්ගල් (Wrangel) දූපතේ යැයි කියැවෙනවා. ඒ වසර 4000කට විතර ඉස්සරයි. විද්‍යාඥයන්ට හැකි වී තියෙනවා හොඳින් සුරැකුණු ඞීඑන්ඒ ඒ සතුන්ගේ සීත අධික හිමේ තැන්පත් වුණු මුළුමනින්ම දිරා නොගිය සිරුරු වලින්.

 
මේ ඇත්දත් පැහැති හොටැති කෑරලා (Ivory Billed Woodpecker) අන්තිම වරට දැක ඇත්තේ අග්නිදිග ඇමරිකාවෙදියි, 1940 ගණන්වලින් පසු ඌ දුටු බවට තහවුරු කළ වාර්තා නැහැ.

 
කැන්ගරුවන් මෙන් පැසෙක ලා දරුවන් හදන මේ සේපාටිකයා, සුනඛ වර්ගයේ එකෙක්. නම තස්මේනියානු ව්‍යාඝ‍්‍රයායි. ඕස්ටේලියාවේ, තස්මේනියාවේ හා නිව්ගිනියාවේ විසූ මේ අපූරු සතා 1930 ගණන්වල සිට වඳ වී ගොසින්.

 
මේ ජුරාසික් පාක් චිත‍්‍රපටයේ දසුනක් ඔබට මතක ඇති. මේ වගේ දෙයක් සැබෑවට ම කරන්න ඉඩක් නැති බවයිථ විද්‍යාඥයන් කියන්නේ. එය හේතුව ඒ යුගයේ සිටි ඩයිනොසෝරයන්ගේ හොඳ තත්වයේ ඞීඑන්ඒ සොයා ගත නොහැකි නිසයි.


Post a Comment

1 Comments

  1. There's a BBC show called Planet Earth, and after that they've produced about the extinction and genetic recreation of extincted species. It is also a good source for this topic I guess.And this is a very good article......

    ReplyDelete