Skip to main content

Posts

Showing posts from March, 2013

වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින හැඳි හින්නාගේ (Spoon Billed Sandpiper) දුර්ලභ වීඩියෝවක්!

අරාතුඩු කුලයට අයත් සිලිබිලි වටුවා, වෙරළ ඔටන්නා යන නම් වලින් පොදුවේ හැඳින්වෙන සෑන්ඞ්පයිපර් (Sandpiper) යන කුරුලූ වර්ගයට සම්බන්ධ කුරුලූ වර්ග රැසක් ලොවපුරා විවිධ රටවල විසිරී ජීවත්වෙනවා. ඒ අතරින් හැඳිහොටැති සිලිබිලි වටුවා හෙවත් ‘ස්පූන්බිල්ඞ් සෑන්ඞ්පයිපර්’ (Spoon Billed Sandpiper) නම් කුරුල්ලා වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින අති දුලබ කුරුල්ලකු සේ සැලකෙනවා. මේ කුරුල්ලාට ‘සිරි ලක කුරුල්ලෝ’ (සරත් කොටගම හා අතුල විජයසිංහ - 1998) කෘතියෙහි දක්වා ඇත්තේ ‘හැඳි හින්නා’ කියායි.

කුකුළන් හරියට ම වෙලාවට අඬලන්නේ හිරු එළිය අනුව යමින්ද?

කවදා හරි දවසක ඔබේ සීනු ඔරලෝසුව ඔබට අවශ්‍ය වේලාවට නාද නො වී ගියාද? ඒත් ඔරලෝසුවට වඩා විශ්වාසය තැබිය හැකි දෙයක් සොබාදහම ඔබට දායාද කර ඇති ඔබ දන්නෙහිද?

කුකුළා උදෑසන වේලාව දක්වන්නා ලෙස අපේ පැරැන්නන් පිළිගෙන තිබුණා. ඒත් විද්‍යාත්මක ලෝකය ඒ බව තහවුරු කර ගත්තේ මෑත දී ජපානයේ කළ පර්යේෂණයකින්.

දැන් විද්‍යාඥයන් කියන විදියට කුකුළන් ඉර පායනු දැක හෝ නොදැක හෝ පාන්දර එකම වේලාවට නොවැරදීම හඬලන බව ඔවුන් විසින් තහවුරු කර ගෙන තියෙනවා.

මේ වන තෙක් අප දැන සිටියේ නැහැ, කුකුළන් හඬලන්නේ උදෑසන හිරු එළිය දැක ගැනීමෙන් පසුව ද නැතිනම් ඔවුන්ගේ සිරුරේ ඇති කිසියම් ආකරයකින් වේලාව දක්වන ශාරීරික රිද්මයක් අනුව යමින්ද කියා.

පර්යේෂකයන් විසින් සොයා ගෙන තියෙනවා, කුකුළන් හඬලන්නේ සූර්යාලෝකය අනුව යමින් නොව ඔවුන්ගේ සිරුරේ කිසියම් යන්ත‍්‍රණයක් මගින් ලැබෙන සංඥාවක් මගින් බව.

මේ විස්මිත සතුන් පිට සක්වළින් පැමිණි අය ද? ඔබට දකින්න නො ලැබෙන සාගර පත්ලේ විසිතුරු!

මේ අය බැලූ බැල්මට වෙනත් ලෝකයකින් ආ අය වගෙයි. ඒත් මේ විචිත‍්‍ර වර්ණ මුහුදු හම්බෙල්ලන් (sea slugs) ඇත්තෙන් ම අපේ සාගරවල දී හමුවන විස්මිත සතුන් කොටසක්!

නුඩිබ‍්‍රැන්කියාවන් (Nudibranchs) මෘදු ශරීරවලින් යුත් මොලූස්කාවන් හෙවත් මෘද්වංගීන් විශේෂයක්. කීට අවස්ථාවෙන් පසු කවචය හෙවත් කටුව හැළුෑ පසු ඔවුන්ගේ ඒ ඇතුළත වෛර්ණ සිරුරු නිරාවරණය වෙනවා. ඒ අවස්ථාව දක්ෂ කැමරාශිල්පියකුට මග හැර යන්නට බැරි තරම් විස්මයජනකයි.

ලෝක ප‍්‍රකට වනජීවී ඡායාරූප ශිල්පියකු වූ ෆ්රැන්කෝ බැන්ෆි (Franco Banfi) මේ විස්මිත පින්තූර කැමරාවට හසු කර ගෙන ඇත්තේ ඒ නිසයි. ඔහු මේ විසිතුරු සතුන් දුටුවේ ඉන්දුනීසියාව, පිලිපීනය, පැපුවා නිව්ගිනියාව යන රටවල් ආශි‍්‍රත මුහුදුවලත්, මධ්‍යධරණී මුහුද හා රතු මුහුද අවට කලාපවලත් සැරිසරද්දීයි.

වෙනත් ලෝකයකින් ආ අමුතු සතුන් බඳු මෙවැනි සතුන් ලොව පුරා සාගරවල ඉන්නවා. ඒ වෙනුවෙන් කැප වුණු කැමරාකරුවකු නොමැති නම් මෙතරම් පහසුවෙන් දැක ගන්න බැහැ.

ජගත් විද්‍යාඥයන් පිරිසක් වඳවුණු සතුන් 24කට යළි පණ දෙන්න සැරසෙනවා!

පසුගිය දා ජගත් විද්‍යාඥයන් එක් රැස් වී අපූරු සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාව පැවැත්වුණේ අතීතයට පණ දීමට ඇති හැකියාව ගැන සොයා බලන්නයි. දැනට වඳ වී ගොස් ඇති සතුන් අතරින් 24 දෙනකුට අනාගතයේ දී පණ දීමට ඔවුන් එහිදී එකඟ වුණා.

ඒත් මේ නිසා ජුරාසික් පාක් සිහිනය සැබෑ වෙන්නේ නැහැ. චිත‍්‍රපටයේදී එහෙම වුණාට එය සැබෑවක් බවට පත් කරන්නට තරම් ඒ ජාන පැරණි වැඩි කියලයි ඔවුන් කියන්නෙ.

ඔවුන් වඳ වූ සතුන් යළි උපදවීම සඳහා ‘ඩිඑක්ස්ටින්ක්ෂන්’ (de-extinction) කියා අලූත් වචනයකුත් හදලයි තියෙන්නෙ. ඊට සිංහලෙන් ‘නිර්හායනය’ (වඳ වීම වැළැක්වීම) කියා කිව හැකියි.

වඳ වී ගිය සතුන්ට පණ දීම ගැන මෙසේ සාකච්ඡා කළේ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ පසුගියදා පැවැත්වුණු විශේෂ ටෙඞ්එක්ස් (TEDx) සමුළුවකදියි. ඒ සඳහා අනුග‍්‍රහය දැක්වූයේ නැෂනල් ජ්‍යොග‍්‍රෆික් ආයතනයයි.

මේ කුරුල්ලා ඩෝඩෝ. ඌව ආහාරයට ගන්නා විලෝපිකයන් හිටියෙ නෑ. ඒත් මිනිසුන් ආහාරයට ගත් නිසයි ඌ වඳ වී ගියේ.

වසර මිලියන 300කටත් වඩා පැරණි පා සලකුණක් සොයා ගත් 10 හැවිරිදි සිසුවෙක්!

මේක අදහන්න බැරි තරම් විස්මිත කතාවක්! බෲනෝ ඩිබැටිස්ටා දස හැවිරිදි පාසල් සිසුවෙක්! ඔහු ඉගෙන ගත්තෙ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්වල වින්ඞ්මිල් ප‍්‍රාථමික පාසලේ. ඔහු පොතුගල් කැබැල්ලක් ගෙනාවා ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ස්වභාව විද්‍යා ඓතිහාසික කෞතුකාගාරය විසින් ළමයින් සඳහා පවත්වා ගෙන සමාජයකට. එය කෞතුකාගාරය විසින් පාසල් වෙලාවෙන් පසු කුඩා දරුවන්ට විශේෂයෙන් පිළියෙල කළ සමාජයක්.

ඒ පොතුගල පතුර බෲනෝ එහි ගෙන ගියේ එය පොසිල සලකුණක් කියා ඔහුගේ කුඩා මොළයට වැටහුණ නිසයි. එය දුටු කෞතුකාගාර විශේෂඥයන් මවිතයට පත් වුණා. ඔවුන් එය දුටුවේ ඛුරප කකුළුවකුගේ (horseshoe crab) පා සලකුණක් ලෙසයි. ඔවුන් හඳුනා ගත්තා ඒ සලකුණු ඊට වසර මිලියන 320කට පමණ ඉහත කාලයක දී මුහුදු වෙරළක්ව පැවති මඩ සහිත බෑවුම් ප‍්‍රදේශයක ඒ කකුළුවකු ඇවිද ගෙන ගිය බව හෙළි කරන ඉතා වැදගත් සාක්ෂියක් ලෙස.

විස්මිත සොයා ගැනීමක්! එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හී පාසල් සිසුවකු වූ බෲනෝ ඩිබැටිස්ටා මේ පෙන්වන්නේ ඔහු විසින් පසුගියදා සොයා ගත් පොතුගල් පතුරයි. එය මීට වසර මිලියන 300කට පමණ පෙර විසූ කකුළු විශේෂයක පොසිලගත සලකුණු යැයි දැන් හඳුනා ගෙන තියෙනවා.

පොළොවේ විස්මිත සේයා රුවක්! සූර්යයා සමකයට මුදුන් වෙන මොහොත මෙයයි!

පෘථිවියේ නව ආකර්ෂණීය රූපයක් හසුකර ගැනීමට ඇමරිකානු කාලගුණ චන්ද්‍රිකාවක් සමත් වී තියෙනවා. ඒ පෘථිවියේ ඍතු වෙනස් වීම ආරම්භ වන මොහොතේ එය දර්ශනය වෙන ආකාරයයි.

විෂුවය එළඹී මිනිත්තු තුනකින් ගෙන ඇති මේ ඡායාරූපය අපට ලබා දුන්නේ ඇමරිකාවේ ‘ගෝස් -13’ (GOES-13) චන්ද්‍රිකාවයි. ඇමරිකාවේ ජාතික සාගරවිද්‍යා හා වායුගෝලීය පාලනාධිකාරිය විසින් මෙහෙයවන ඒ චන්ද්‍රිකාව මගින් වායුගෝලයේ හා පෘථිවියේ තොරතුරු නිරන්තරයෙන් අපට ලබා දෙනවා. මේ ඡායාරූපය සටහන් වී තිබෙන්නේ විෂුවය උදා වී මිනිත්තු තුනකට පසු එනම්, මාර්තු 20 දා 7:45 ET වේලාවටයි.

විෂුවය (equinox) යනුවෙන් හැඳින්වෙන්නේ සූර්යයා සමකයට මුදුන් වන මොහොතයි. එවැනි අවස්ථා දෙකක් අවුරුද්දක දී උදා වෙනවා. එකක් මාර්තු 20 වැනිදා, අනික සැප්තැම්බර් 22 වැනිදා. එහි දී අවුරුද්ද මුළුල්ලේම පෘථිවිය පුරා ම රැයත් දහවලත් (දළ වශයෙන්) එක හා සමාන වෙනවා.

ඔබට මෙහි ඇති ඡායාරූපයෙන් පෙනෙනවා, ඇති සූර්යයා ගෙන් එන ආලෝකයෙන් අර්ධගෝලයන් දෙක ම එක හා සමානව ආලෝකවත් වී තිබෙන අයුරු.

වසන්ත විෂුවය උදා වූ මොහොත, 2013 මාර්තු 20 වැනිදා 7:02 GEOS -13 චන්ද්‍රිකාව පෘථිවිය කැමරාවට හසු කර ගත්තේ 7:45 ET වෙලාවටයි.

ඇස් අදහන්න බැරි තරම් විස්මිත සතුන්ගේ ඇස්! පියවි ඇසට නොපෙනෙන ලොව කැමරා ඇසින්!

එක බැල්මෙන් ම සිත සසළ කරවනසුලූ, කිසිදාක නුදුටු උරගයන් හා උභයජීවීන්ගේ ඇස් දකින ඔබට මෙවන් අත්දැකීමක් මින් පෙර නොලැබෙන්න ඇතුවා නිසැකයි.

මේ විවිධ ස්වරූපවල ඇස් මේ සතුන්ට උරුම වෙන්නට ඇත්තේ නිසැකව ම වසර මිලියන ගණනක් තිස්සේ සිදු වූ පරිණාමයේ හාස්කමක් ලෙස වෙන්න ඇති.

වෘත්තීය වනජීවී ඡායාරූප ශිල්පියකු වූ ඩැනියෙල් හියුක්ලින් සිය කැමරාවත් අරන් ලොව පුරා රටවල් ගණනාවකට ගියා මේ පින්තූර එකතුව ඔබ වෙත ගෙන එන්න.

ඡායාරූප ශිල්පී ඩැනියෙල් හියුක්ලින්ගේ වඩාත් සිත් ගත් මේ ඡායාරූපයේ වර්ණ යෙදී ඇති අන්දම ඉතාමත් විස්මිතයි! මේ පැන්තර් බොහොඬෙකුගේ ඇසේ රුව කැමරාවට නැඟුවේ මැඩගස්කරයේදියි.

උඩුගුවනේදී ඔබේ තනියට දැන් යාළුවෙකුත් ඉන්නවා! හඳුනා ගන්න! ඒ සුරතලා - කිබෝ!

මේ වසරේ දී අභ්‍යවකාශයට යන රෝබෝ සුරතලා තමයි, කිබෝ. මේ වතාවේ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළට යවන ජපන් ජාතික අභ්‍යවකාශගාමියා වූ කොයිචි වකාටා සමගයි, කිබෝ යන්නේ. උඩු ගුවනේ දී එයාට වකාටා සමග ජපන් බසින් කතා කරමින් ඔහුගේ පාළුව දුරු කරන්නට හැකි වේවි.

දැනට ජපන් බස මේ රොබෝට යොදා තිබුණත් අනාගතයේදී ඒ ඒ අභ්‍යවකාශගාමියාට සරිලන විදියට ඔහුගේ බස මෙවැනි රොබෝලාට යොදන්න පුළුවන්.

අභ්‍යවකාශගාමී රොබෝ, කිබෝ ශූන්‍ය ගුරුත්වය යටතේ කි‍්‍රයා කරන්නට හැකි විදියටයි තනා තියෙන්නෙ. මේ වසර අගදී අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළට යවන්නයි බලාපොරොත්තුව.

සම යට තැන්පත් කරන රුධිර රසායනාගාරයක්! සෞඛ්‍ය සත්කාරයේ විස්මිත පෙරළියක්!

ලෝක සුව සේවාවට අනාගතයේදී එක්වන ලොකුම පෙරළිය මෙයයි. මෙය මිමී14ක් දිග පුංචි චිප් එකක්. මෙය සම යට තැන්පත් කළ පසු මෙයට හැකියාව තියෙනවා, රෝගියාගේ සෞඛ්‍යය ගැන ජංගම දුරකතනය ඔස්සේ වෛද්‍යවරයාට ලබා දෙන්න. රෝගියා කොතැන හිටියත් ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන නොකඩවා වෛද්‍ය අංශවලට වාර්තා කරන්න.

ස්විට්සර්ලන්තයේ ජිනීවා විල අසබඩ පිහිටි ඉකෝලේ පොලිටෙක්නික් ෆෙඩරල් ඩි ලව්සෑන් (École polytechnique fédérale de Lausanne) තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තමයි, මේ අපූරු නිර්මාණය තනලා තියෙන්නෙ. මෙම නව මෙවලම රසායන චිකිත්සාවට (chemotherapy) ලක් කර සිටින රෝගීන් මිල කළ නොහැකි වටිනාකමක් තියෙන එකක්. ඒ විතරක් නෙවෙයි, රුධිර පද්ධතියේ මූලික රසායනික කි‍්‍රයාකාරකම් අවේක්ෂණය කර හෘද අකරණයක් ළඟ එන්නේ නම් ඒ බව කල්වේලා ඇතිව දැනුම් දෙන්නත් මේ මෙවලමට පුළුවන්.

මේ ඩැහි අඬුව අග ඇති කුඩා මෙවලම(වෛද්‍ය රසායනාගාරය) සම යට තැන්පත් කළ විට ජංගම දුරකතනයක් ඔස්සේ තොරතුරු වෛද්‍යවරයා වෙත ලබා දිය හැකියි. රෝගියකු දුරස්ථව සිට විමසිය හැකි අලූත්ම මෙවලම මෙයයි.

පස් හැවිරිදි දැරියකගේ විස්මිත සොයා ගැනීමක්! ඒ නව පියාඹන ඩයිනොසෝරයෙක්!

මින් පෙර හඳුනා ගෙන නො තිබූ ආදි යුගයේ විසූ ඩයිනොසෝරයෙක් සොයා ගැනීමට බි‍්‍රතාන්‍යයේ පාසල් දැරියක් සමත් වී තියෙනවා. ඇය නමින් ඬේසි මොරිස් (Daisy Morris). අලූතින් සොයා ගත් මේ සත්වයාට අයත් පොසිල ඇය විසින් සොයා ගන්න අවස්ථාව වෙන කොට ඇයට යම්තම් වයස අවුරුදු පහ පිරුණ විතරයි.

පොසිල විද්‍යාඥයන් වසර පහක් තිස්සේ පර්යේෂණ කිරීමෙන් පසු, 2008 දී අයිල් ඔෆ් වයිට් (Isle of Whight) දූපතේ වෙරළේ දී මතුවුණු පොසිල අස්ථි මෙතෙක් හඳුනා ගෙන නො තිබුණු පියාඹන ඩයිනොසෝරයකුගේ බව හෙළිදරවු කළේ පසුගිය සතියේයි.

මේ පොසිල අස්ථි කැබලි සොයා ගන්න කොට ඬේසි මොරිස් පස් හැවිරිදි වුනත් මෙහි විද්‍යාත්මක විමර්ශන කටයුතු අවසන් කොට මේ වසර මිලියන 115කට පෙර විසූ අමුතුම ඩයිනොසෝරයකුගේ බැව් හෙළිදරවු වන විට ඇය නව වැනි වසර සපිරූ දැරියක්.

ඇය ළඟ කලක් තිස්සේ රැස් කර ගත් පොසිල හා සත්ව ශේෂ එකතුවක් තියෙනවා. ඇය ගැන සඳහන් කළ එක් විශේෂඥයකු කීවේ, ඇගේ නිදන කාමරය හරියට ‘ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයක් වගෙයි’ කියලයි.

ඬේසි මොරිස්ට අවුරුදු පහයි, වසර මිලියන 115කට පෙර විසූ පියාඹන උරගයාගේ අස්ථි පොසිල සොයා ගන්නා විට.

මිනිත්තුවක දී අන්තර්ජාලය තුළ සිදු වන විස්මයජනක දේ!

අන්තර්ජාලය තුළ සිදු වන කි‍්‍රයාකාරකම් මොනවාද? තත්පර 60ක් ඇතුළත එයින් කොපමණ සිදු වෙනවාද? ඇත්තෙන් ම මේ තොරතුරු අදහන්නත් බැරි තරම් විස්මිතයි!

අන්තර්ජාලය තුළ මිනිත්තුවක දී ඊ-මේල් පණිවිඩ විසි කෝටි හතළිස් ලක්ෂයක් (මිලියන 204ක්) යවනවා. ඒ කාලය තුළ දී යෙදවුම් 47,000ක් බාගත කරනවා. අන්තර්ජාලය හරහා පොත් අලෙවි කරන ඇමසන් ආයතනය ඒ මිනිත්තුව තුළ දී ඩොලර් 83,000ක (රුපියල් 83,00,000ක) පොත් අලෙවි කරනවා.

ඒ විතරක් නොවෙයි, ඒ මිනිත්තුව ඇතුළත ඡායාරූප කෝටි තුනක් (මිලියන 20ක්) ද, ෆේෂ්බුක් පිටු ලක්ෂ 60ක් (මිලියන 6ක්) නරඹනවා. ඒ එක්කම යූටියුබ් හරහා ඒ මිනිත්තුව ඇතුළත දී වීඩියෝ ක්ලිප් ලක්ෂ 13ක් (මිලියන 1.3ක්) අන්තර්ජාලයේ සැරිසරන්නන් නරඹනවා.

ඉන්ටෙල් ආයතනය මගින් කළ සමීක්ෂණයෙන් ලත් තොරතුරු රූප සටහනකට ගොනු කර ඇත්තේ මෙහෙමයි. එක මිනිත්තුවක දී ගිගා බයිට් 639,800ක් දත්ත සම්පේ‍්‍රෂණය කෙරෙනවා.

ලොව මුල් ම කුරුල්ලන් පියාපත් යුගල දෙකකින් පියෑඹුවා! චීන පර්යේෂකයන් පිරිසකගේ සොයා ගැනීමක්!

පසුගිය දා චීන පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තියෙනවා, මුල්ම කුරුල්ලන්ට පියාපත් දෙකක් නොව හතරක් තිබුණු බව. ඔවුන් කියන්නේ ඒ කුරුල්ලන් පියාසර කළේ පියාපත් යුගලක් සහිත ‘බයිප්ලේන්’ අහස් යානයක් වගේයි කියායි.

මේ විශ්ලේෂණය සඳහා ඔවුන් ඉපැරණි කුරුලූ ඇටසැකිලි 11ක් පරීක්ෂා කරල තියෙනවා. ඒවා වසර මිලියන 150ත් 100ත් අතර අතීත කාලයට අයත්. ඒවාට අනුව ඒ පැරණි කුරුල්ලන්ට පාද හා සම්බන්ධ වුණු අතිරේක පියාපත් යුගලක් තිබුණු බව හෙළි වුණා. ඒවා ඉතා ඵලදායී අයුරින් හසුරුවන්නටත් ඔවුන් සමත් වුණා.

ඇන්කියෝනිස් හක්ස්ලි (Anchiornis huxley) කියන ප‍්‍රමාණයෙන් කුඩා වූ පිහාටු සහිත පියාසර කළ ඩයනසෝරයන්ට පාද අගත් පියාපත් දෙකක් තිබුණා.

ඔබේ අනාගත නිවස හා කන්තෝරුව කොයි වගේ වේවිද? ඒ විස්මිත අනාගතය දැක ගන්න එක්වන්න!

ඔබට උයන හැටි කියා දෙන අන්තර්කි‍්‍රයාකාරී කුස්සි වැඩ තට්ටුවක්! නිවසේ හෝ කාර්යාලයේ බිත්ති පුරා පැතිරුණු යෝධ තිර! ස්පර්ශ තිර ලෙස භාවිත කළ හැකි මේස! මෙවලම් එකිනෙක ගෑවුණු විට සිදු වන සන්නිවේදනය! විද්යුත් ක‍්‍රමයෙන් රූප හුවමාරුවක්! මයික්‍රොසොෆ්ට් අනාගත සංකල්පය දැන් හැබෑ වෙලා!

මේ කොම්පියුටර් දැවැන්තයා වෙතින් ඒ සංකල්පය අපට බලපාන හැටි දැක්වෙන වීඩියෝවක් නිපදවා තියෙනවා. සිය අනුග‍්‍රාහකයන්ට එම ආයතනයෙන් ඉදිරිපත් කෙරෙන ‘නුවණින් දකින පර්යේෂණාගාරය’ හෙවත් ‘පරිගණක සිප් හල’ (Envisioning lab) ඔවුන් මවිතයෙන් මවිතයට පත් කරනවාට සැකයක් නැ.

මේ සංකල්පයට අනුව ඔබේ කුස්සියට එන එළවළු හඳුනා ගෙන ඔබට ඒවා රසට ගුණට පිළියෙල කළ හැකි ක‍්‍රමය කියා දෙන්න පුළුවන් වැඩතට්ටුවක් (worktop) එක් වෙනවා. බිත්තිය පුරා විහිදුණු පුළුල් තිර නිවසට හෝ කන්තෝරුවට එක් වෙනවා. ඒවා ඔබට විනෝද කී‍්‍රඩාවලටත් යොදා ගත හැකියි. ඔබේ මේසය ස්පර්ශ කළ විට යෝධ තිරයක් බවට පත් වෙනවා!

මයික්‍රොසොෆ්ට් ආයතනය කියනවා, ඔවුන් වර්තමානයේ තාක්ෂණයේ සිදුවෙමින් පවතින වෙනස් වීම් සැලකිල්ලට ගෙන මෙම සංකල්පය නිර්මාණය කළ බව.

ඔබේ කුස්සියට එන පරිගණක වැඩතට්ටුවට ඔබ ගන්නා එළවළු හඳුනාග…

අඟහරු ලොවේ පානීය ජලය තිබෙනවා! නාසා ආයතනයට ඔත්තුව ආවේ ‘කුතුහලයා’ගෙන්!

නාසා ආයතනයෙන් අඟහරු ග‍්‍රහයා වෙත යවනු ලැබූ කියුරියෝසිටි (‘කුතුහලයා’) යානය දැන් දිගට ම රතු ග‍්‍රහයාගේ මතුපිට පිරික්සමින් යනවා. ඇත්ත වශයෙන්ම කියුරියෝසිටි කියන්නේ යානයක් විතරක් නෙවෙයි, අංග සම්පූර්ණ අති නවින පර්යේෂණාගාරයක්.

පසුගියදා කියුරියෝසිටි යානය සොයා ගත්තා, රතු ග‍්‍රහයා කලකට පෙර ප‍්‍රාථමික ජීවීන්ට වාස භූමියක්ව පවතින්නට ඇති බව. මේ බව හඳුනා ගෙන ඇත්තේ එය රතු ග‍්‍රහයා මතුපිටින් රැස්කර ගත් පාෂාණ කැබලි පරීක්ෂා බැලීමෙන්. ජීවය පැවතීමට අත්‍යවශ්‍ය මූලික රසායනික ඒවායේ අන්තර්ගතව තිබූ නිසයි එවැනි නිගමනයකට විද්‍යාඥයන් පැමිණ ඇත්තේ.

අඟහරු මත ජීවය පවතින්නට ඇතැයි ‘ඔත්තුව’ දුන්නේ මතුපිට විදුම් කටුවකින් විද ලබා ගත් මේ පාෂාණ කුඩු සාම්පලයයි. මේ පස් නියුරියෝසිටි යානය තුළ ඇති විශේෂ රසායනාගාරය තුළ පරීක්ෂාවට ලක් වුණා. ජීවය පැවතීමට අත්‍යවශ්‍ය මූලික රසායන එහි ඇතැයි පිරික්සීමෙන් පෙනී ගිය බව නාසා ආයතනය කියනවා.

සූර්යයාගේ මොකක්දෝ නමුත් අමුතු යමක් සිදු වෙනවා! නාසා ආයතනය කියනවා!

සූර්යයා හා සම්බන්ධයෙන් අනපේක්ෂිත දෙයක් සිදු වෙමින් තිබෙන බවට නාසා ආයතනය අනතුරු අඟවනවා.

මේ වසර හිරුගේ බලපෑම් වැඩි ම වසර ලෙසයි, ඔවුන් හඳුන්වන්නේ. වසර 11 සූර්ය ලප චක‍්‍රයේ උපරිමය හමු වන්නේ මේ වසරෙදියි.

එත් මෙහි ඇති එක් පිළිබිඹුවක සූර්ය කි‍්‍රයාකාරිත්වය සාපේක්ෂව අඩුවයි දක්වෙන්නේ.

මෙහි සූර්ය ලප සංඛ්‍යාව 2011 වසරේ අගයයන්ට වඩා අඩුයි. දැඩි සූර්ය ලෙළසිළු ඇති වූයේ කාලතුරකිනුයි. නාසා ආයතනය ප‍්‍රබල සූර්ය කුණාටු අපේක්ෂා කළ ද එසේ නොවී සැලකිල්ලට ගත යුත්තකි.

මනමාලයාට අටයි - මනමාලිට හැටයි! අපි‍්‍රකාවේ සිදු වූ අපූරු විවාහයක්!

අද තහනම් වුවත් ඉන්දියාවේ නම් බාල වයස්කාර ගැහැනු ළමයින් දීග දීම අතීතයේ සිදු වූ දෙයක්. ඒත් පිරිමි දරුවකු විවාහ කර වූ පුවතක් මේ වන තෙක් ලෝකයේ කොහේ හෝ සිදු කළ බවක් අපේ මතකයේ නම් නැහැ. ඒ අමුතු පුවත ආවේ දකුණු අපි‍්‍රකාවෙන්.

එහි ට්ෂ්වේන් නම් කුඩා නගරයේ සිදුවූ මේ අපූරු විවාහ උත්සවයේ ඡායාරූප පසුගියදා විදෙස් මාධ්‍යවල පළ වුණා. මේ විශ්මයජනක විවාහ මංගලෝත්සවයේ මනාලියගේ වයස අවුරුදු හැටකි, හරියට ම කියනවා නම් හැට එකකි. ඇගේ මනාලයාට වයස අවුරුදු අටකි.

මෙම විවාහ මංගල උත්සවය ඉකුත් දා සිදුවුණත් මේ මංගල උත්සවයට පසුබිම් වූ කතාව ආරම්භ වී ඇත්තේ මීට මාස දෙකකට පෙරයි.

මාස දෙකකට පෙර එක් දිනක රාති‍්‍රයේ මනාලයා වූ අට හැවිරිදි සැනලේ මසිලේලාට ඔහුගේ සීයා හීනෙන් පෙනී සිට කියා තියෙනවා, ඔහුට හෙලෙන් ෂාබන්ගු නම් හැට විය පිනූ කාන්තාවක සමඟ විවාහ වන ලෙසට.

සැනලේගේ සීයා ජීවතුන් අතර සිටිද්දී ඔහු කාන්තාවට තරුණ වියේ පෙම් කර තිබුණත් ඇය විවාහ කර ගෙන තිබුණේ නැහැ. මේ වන විට ඇය දරුවන් පස් දෙනකු සිටින මවක්. සීයා සිහිනෙන් අවතාරයක් ලෙසින් පැමිණ සැනලේට හෙලන් හා විවාහ වන ලෙස කියූ බව ඔහු මවට කියා තියෙනවා.

අපි‍්‍රකාවේ ගමක් මවිත වී බලා සිටින්…

පිටසක්වළ ජීවය සොයන්න හොඳම තැනක් හමුවෙලා! බ‍්‍රහස්පතී ග‍්‍රහයාගේ යුරෝපා චන්ද්‍රයා ගැන නාසා ආයතනය කියයි.

බ‍්‍රහස්පතී ග‍්‍රහයාගේ හිමෙන් වැසුණු යුරෝපා නම් චන්ද්‍රයා පෘථිවියෙන් එපිට ජීවින් ඇද්දැයි සෙවීමට හොඳම තැන ලෙස නාසා විද්‍යාඥයන් පිරිසක් හඳුනා ගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් පර්යේෂණාත්මක ලේඛනයක් ඉදිරිපත් කරමින් කියන්නේ යුරෝපා චන්ද්‍රයාගේ මතුපිට අයිස් තිබුණත් ඊට යටින් කරදිය පිරුණු විශාල සාගරයක් ඇති බවයි. ඒ සාගරයෙහි ජලය මතුපිටට කාන්දු වන බවත් ඒ අනුව එහි ජිවීන් පැවතීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවත් එහි සඳහන් වෙනවා.

පර්යේෂණාත්මක ලේඛනයෙන් කියා ඇත්තේ එහි බිම යට ඇති සාගරයත් මතුපිටත් අතර රසායනික හුවමාරුවක් සිදු වන බවයි. ඒ පර්යේෂක කණ්ඩායමේ සිතන්නේ එයින් සාගරයෙහි රසායනික පරිසරය පෝෂණය වන්නේ කියායි.

මේ චිත‍්‍රයේ ඉදිරියෙන් දැක්වෙන්නේ යුරෝපා චන්ද්‍රයාගේ හරස් කඩක්. දකුණේ බ‍්‍රහස්පතී සමග එහි මැද ඇත්තේ ඒ ග‍්‍රහයාගේ තවත් චන්ද්‍රයකු වන ඉයෝ යි.

සත්වලෝකයේ ‘ඒ විස්මිත හැකියාව’ බස්සන්ට බකමූණන්ට ලැබුණේ කොහොමද?

බස්සන් හා බකමූණන්ට හිස වටේට කරකවා බලන්න හැකියාව ලැබුණේ කොහොමද? හිසට ලේ ගමන් කිරීමට බාධාවක් නො වන විධියට උන් සිරුරු නොසොල්වා විස්මිත අයුරින් හිස පමණක් කරකවා බලන අයුරු ගැන සමහර විට ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ.

දැන් විද්‍යාඥයන් ඒ රහස අනාවරණය කර ගන්න සමත් වෙලා තියෙනවා. ඔවුන් සොයා ගෙන තියෙනවා, මේ කුරුල්ලන්ට ඔවුන්ගේ හිස් අංශක 270ක් දක්වා කරකවන්නට හැකියාව ඇති බව.

ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා, මේ කුරුල්ලන්ගේ කශේරු ධමනිය වෙනත් කුරුල්ලන්ට වඩා ගෙලෙහි මඳක් ඉහළට වෙන්න පිහිටා ඇති බව. එයින් මේ ධමනිය ලිහිල් නම්‍යශීලී එකක් වෙලා තියෙනවා. ඉහළ දිගු කන් ඇති බස්සා.

ලෝකයේ කුඩා ම ටෙලිෆෝනය දැන් ජපානයේ!

ඒක කුඩා දරුවන්ගෙ සෙල්ලම් බඩුවක් වගෙයි. පසුගියදා ජපානයේදී හඳුන්වා දෙනු ලැබූ මේ ටෙලිෆෝනය ලෝකයේ ඇති කුඩා ම ෆෝනය ලෙසයි, එය වෙළඳ පොළට හඳුන්වා දෙන විල්කොම් සමාගම කියන්නේ.

දිග පළල කියන්න වෙන්නේ මිලිමීටර්වලින්. මිලිමීටර් 32×70×10.7 යි. බර ග‍්‍රෑම් 32යි. අයිෆෝනයේ බරෙන් කාලකටත් අඩුයි. මෙහි ඇති වර්ණවත් තිරය සාදා ඇත්තේ ඕඑල්ඊඞී (OLED) ක‍්‍රමයටයි. සාමාන්‍යයෙන් අත් ඔරලෝසුවල මේ ප‍්‍රමාණයේ තිර තියෙනවා. හඬ වඩා පැහැදිලි කර ගන්න ඇකිළිය හැකි ඇන්ටෙනාවක් තියෙනවා.

දැනට මෙය ජපානයේ විතරයි අලෙවි කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒකත් සිදු වෙන්නේ මේ වසරේ අන්තිමටයි. ඒක මිලට ගන්නට වෙළඳ පොළට දමන්නේ දෙසැම්බර් මාසයේදියි.

ලෝකයේ කුඩා ම ෆෝනය නිපදවූ ඊබිට්ටෝ සමාගමේ සභාපති ටාකෝ හියාමා එය හඳුන්වා දෙමින්. ඔහුගේ අත අනුව ඔබට එහි ප‍්‍රමාණය හිතා ගත්තෑකි නේද?

මෙතෙක් ලොකුම ශබ්දය ආවේ රුසියාවේ පිපිරුණු උල්කාපතයෙන්! ඒත් එය මිනිස් කනට ඇහුණේ නෑ!

පසුගිය පෙබරවාරි 15 වැනිදා රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරය අසලට කඩා වැටුණු උල්කාපාතය ඔබට මතකද? විශාලම කැබැල්ල ඒ අසල හිම මිදුණු විලකට කඩා වැටෙන්නට පෙර අහසේ දී මහා පිපිරීමක් සිදු වුණා. එයින් 1200කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

මධ්‍යම රුසියාවේ වූ ඒ පිපිරීම මෑත දී සිදු වූ විශාලතම එකයි. උල්කාපාතය පුපුරා යාමේ දී අවධ්වනික කම්පන තරංගයක් නිකුත් වුණා. එය මෙතෙක් පටිගත කරන ලද මහා ශබ්දය ලෙස වාර්තා වෙනවා.

එය පටිගත කර ගෙන ඇත්තේ ගෝලීය න්‍යෂ්ටික අත්හදා බැලීම් ගැන සොයන්නට ලොව පුරා පිහිටුවා ඇති පරීක්ෂණ ජාලය මගිනුයි. එම පිරික්සුම් ජාලය හැඳින්වෙන්නේ ‘විස්තීර්ණ න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුමට අදාළ සංවිධානයේ (Comprehensive Nuclear-Test-Ban Treaty Organisation) පරීක්ෂණ ජාලය ලෙසයි. කෙටියෙන් හැඳින්වෙන්නේ ‘සීටීබීටී ඕ’ (CTBTO) කියලයි. ඊට අයත් ලොව පුරා පිහිටුවා ඇති සවන්දීමේ ස්ථාන 17න් ම මෙම පිපිරීම් හඬ පෘථිවි ග‍්‍රහයා පුරා විසිර යද්දී පටි ගත කොට තිබෙනවා.

ඒ අතරින් වඩාත් ඈතින්, සැතැපුම් 9,000ක් දුරින් ඇන්ටාර්ටිකාවේ පිහිටි සවන් දීමේ මධ්‍යස්ථානයේ උපකරණවලත් මේ ශබ්දය සටහන් වී තියෙනවා.

මේ පිපිරීම නිසා ඇති වූ අව…

කැසිනි යානය එවූ දුලබ රුවක්! ශනි ග‍්‍රහයාගේ වළලූ අතරින් පෙනෙන මේ ග‍්‍රහයා හඳුනා ගන්න!

සෙනසුරු(ශනි) ග‍්‍රහයාගේ වළලූ අතරින් මේ ග‍්‍රහයා හඳුනා ගන්න ඔබට පුළුවන්. අපේ පෘථිවි ග‍්‍රහයාගේ ‘නිවුන් සොහොවුරා ලෙස සැලකෙන මේ ග‍්‍රහයාගේ අති දුර්ලභ දසුනක් ලෙස සැලකිය හැකි මෙය, පසුගියදා රූ ගත පොළොවට එව්වේ නාසා ආයතනය යැවූ කැසිනි අභ්‍යවකාශ ගවේෂණ යානයයි. මේ අන් කිසිවක් නොව අහසේ දීප්තිමත්වම පෙනෙන සිකුරු ග‍්‍රහයායි.

සෙනසුරුට කොතරම් ඈතින් සිකුරු ග‍්‍රහයා පිහිටා ඇද්ද යන්න මේ ඡායාරූපයෙන් ඔබට හිතා ගන්න පුළුවන්. සිකුරු සොයා ගන්න ඔබට ටිකක් අමාරුවෙන්න ඇති. පුංචි සුදු තිතක් හැටියටයි, එය මෙහිදී අපට දැක ගත හැක්කේ.

අයින්ස්ටයින් බිය පළ කළ දිනය අන්තිමේ දී උදාවෙලා!

අයින්ස්ටයින් කියන්නේ මේ මෑත ලෝකයේ විසූ විශිෂ්ට දාර්ශනිකයෙක්, ගණිතඥයෙක් හා විද්‍යාඥයෙක්. ඔහු ලෝකය දිහා වෙනත් කිසි කෙනකු නොබැලූ ඇසකින් බැලූ නිසා සාපේක්ෂතාවාදය ඇතුළු න්‍යායන් රැසක් අපට උරුම වුණා. ඔහු දාර්ශනිකයකු වශයෙන් අනාගත ලෝකය දිහා බලා පළ කළ අපූරු අනාවැකියක් ඔස්සේ නිර්මාණය කළ රූප පෙළක් ඇතුළත් ඊමේල් පණිවුඩයක් පසුගියදා අපට අන්තර් ජාලය හරහා ලැබුණා.

මිනිසාගේ කුරුල්ලකු වීමේ සිහිනය සැබැ වෙයි! පිරික්සුම් පියසැරි ළඟදීම!

ජර්මන් තරුණයන් පිරිසක් නිර්මාණය කළ ලොව ප‍්‍රථම පියාඹන ජෙට්කට්ටලය පරීක්ෂණ ගුවන් ගමන්වලට දැන් සූදානම්.

තනි මිනිසකුට අහසේ පියාසර කළ හැකි ජෙට් ප‍්‍රචාලන ක‍්‍රමයෙන් කි‍්‍රයා කරන මේ පියසැරි කට්ටලය නිර්මාණය කිරීමට ෆ්රිට්ස් උන්ගර් හා මිතුරන් පිරිසට වසර පහකටත් වැඩි කාලයක් තිස්සේ වෙහෙසීමට සිදු වුණා.

මෙය හඳුන්වා ඇත්තේ ‘ස්කයිෆ්ලෑෂ්’ (Skyflash) කියායි. සම්පූර්ණ කළ විට, කුඩා ඇංජින් දෙකක් සහිත මෙය මෙතෙක් ලෝකයේ නිපදවා ඇති කුඩා ම ගුවන් යානය විය හැකියි.

පයින් ගමන් දුර ගමන් යන විට ගෙන යන පසු උර පොදියක් (backpack) ගෙන යනවා වාගේ මෙය ගුවන් මගියාට පිටෙහි රඳවා ගත හැකියි. ඉදිරි අනාගතයේ දී පුද්ගල ගුවන්ගමන්වල නව යුගයක් මේ නිසා උදා වෙනවා ඇති.

මෙයට පැ.කි.මී 200කට වැඩි වේගයෙන් අහසේ අඩි 26,000ක් ඉහළින් පියාසර කළ හැකියි.

මෙය මීට කලින් ජෙට්මෑන් නමින් ප‍්‍රකට වූ යේ රෝසී තැනූ ජෙට්යානයට වඩා වෙනස් වන්නේ එය ගුවන්යානයක සිට ඉහළ අහසට මුදා හල අතර මේ නව යානය කෙළින් ම තනිවම බිම සිට අහසට නැඟිය හැකි වීමයි.

ස්කයිෆ්ලෑෂ් නම් මෙම කුඩා අහස් යානය ගුවන්ගමන් යන විට මෙසේ දිස් වනු ඇති.

බෝතල් වගාවක් සාර්ථකව වැඩෙන්නේ කෙසේද?

බෝතල් වගාවක් සාර්ථකව කළ හැකි වන්නේ ඒවා තුළ ඇති මුද්‍රා තැබූ පරිසරය මුළුමනින් ම ස්වයංපුර්ණ පරිසර පද්ධතියක් වුණොත් පමණයි. එවිට බෝතලය තුළ ඒ ශාකයේ වැඞීමට අවශ්‍ය ප‍්‍රභා සංශ්ලේෂණ කි‍්‍රයාවලිය මගින් ඒ තුළ ඇති පෝෂක ප‍්‍රතිචක‍්‍රීකරණය කර ගත හැකියි.

පැළෑටියට වැඩෙන්නට බාහිරව අවශ්‍ය වන්නේ ආලෝකය පමණයි. එයින් පැළෑටියට තම ආහාරය නිපදවා ගෙන ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.

පැළෑටියේ පත‍්‍ර මතට වැටී දිළිසෙන ආලෝකය හරිතප‍්‍රද (ක්ලෝරෝෆිල්) ඇතුළත් ප්‍රෝටීන් මගින් උරා ගන්නවා.

පසුගිය දා රුසියාවට කඩා වැටුණු උල්කාපාතයට පිට සක්වළ යානයක් හරස් වුණාද?

පෙබරවාරි 15 වැනිදා පොළොවට කඩා වැදුණු ඒ දැවැන්ත උල්කාපාතයෙන් අප ගළවා ගන්නට පිට සක්වළින් පැමිණි හඳුනා නොගත් යානයක් උදවු වුණාද? ඒ උල්කාපාතය ගුවනේ දී පුපුරා ගියේ ඒ නිසාද? අති විශාල පිපිරුම් හඬක් නංවමින් එහි කැබලි රුසියාවේ යූරල් ප‍්‍රදේශය පුරා විසිරී ගියේය. ඒ මහා පිපිරුමේ හඬ මිනිස් කනට නෑසුනද එය ලොව පුරා නින්නාද වූ බව සටහන්ව තිබේ.

මේ අරුම පුදුම මතය ඉදිරිපත් කර ඇත්තේ එදා උදේ රුසියාවේ චෙල්යාබින්ක්ස් නගරයට ඉහළින් අහසේ ඒ උල්කාව වේගයෙන් ගමන් කරනු දැක්වෙන රූප පෙළ අධ්‍යයනය කළ සක්වළ යානා ගැන උනන්දුවක් දක්වන රුසියානුවන් පිරිසක් විසිනි.

ඒ සක්වළ යානා ගැන උනන්දුවන්නන් අවධාරණය කරන්නේ වායුගෝලයේ ඉතා ඉහළ දී උල්කාව පහළට ආ පාරාචක‍්‍රය තුළ දී කිසියම් කුඩා වස්තුවක් හා ගැටුණු අයුරු තමන් දුටු බවයි. රුසියානු ආරක්ෂක හමුදාව විසින් උල්කාව ඉලක්ක කර මිසයිල ප‍්‍රහාරයක් එල්ල කරන්නට ඇතැයි මුලින් කතාවක් ප‍්‍රචාරය වුවද රුසියානු හමුදාව එය තහවුරු නොකිරීමෙන් පෙනී යන්නේ එසේ උල්කාව හා ගැටෙන්නට ඇත්තේ වෙනත් පාර්ශ්වයක් විසින් එවන ලද ප‍්‍රහාරක අවියක් බවයි.

ඔවුන් විශ්වාස කරන්නේ සක්වළ ජීවීන් මේ උල්කාව පෘථිවිය දෙසට එනු දැක හඹාවිත් එය…