කුතුහලය යානය පළමුවරට අඟහරු සිදුරු කරයි! තවත් තැනකින් ‘ඇඟිල්ලක්’ මතු වෙයි! අඟහරු ලොවෙන් අපූරු තොරතුරු!

කුතුහලය යානය අඟහරු ලොවේ හිල් විදින්නට පටන් ගෙන තියෙනවා. අඟහරු ලොවට ගිය යානයක රොබෝ අතක් වෙනත් ග‍්‍රහලෝකයක් සිදුරු කළ පළමු වතාව මෙයයි.

මෙසේ සිදුරු කළේ පාස් සාම්පල රැගෙන පර්යේෂණ පැවැත් වීමටයි. මුල් ම සිදුර විද්දේ සෙ.මී. 6.4ක් (අඟල් 2.5ක්). අවසාදිත පාෂාණවලින් සමන්විත බිමක. රොබොට්ටකු විසින් රතු ග‍්‍රහයාගේ බිම සිදුකර පස් ලබා ගත් පළමු වතාව මෙයයි.

නාසා ආයතනයේ විද්‍යාත්මක මෙහෙයුම් අධිකාරියේ සම පරිපාලකවරයා වූ ජෝන් ග‍්‍රන්ස්ෆෙල්ඞ් මේ පිළිබඳව අදහස් දක්වමින් කීවේ ග‍්‍රහ ලෝකවල මෙහෙයුම් කිරීමට මෙතෙක් තනා ඇති විශිෂ්ටතම රොබෝ රසායනාගාරයේ කටයුතු ඉතාමත් සාර්ථක ලෙස අඟහරු මත කි‍්‍රයාත්මක වන බවයි. ඊට අයත් රෝබෝ යන්ත‍්‍රය සිදුරු විදිනු කැමරාවට නැඟුවේ කුතුහලය යානයේ ඇති කැමරාවකින්.

‘මුල් ම සිදුර සාර්ථකව විදිනු ලැබුවා. එහේ සිදුර විදින හඬ අප පොළොවේ සිට අහගෙන හිටියා’ රෝවරය මෙහිදී පරීක්ෂාකරනු සඳහා පැද වූ පාලෝ බෙලූත්තා විස්මය හා සතුට පළ කරමින් ‘ට්වීටරය’ට ලියා තියෙනවා.

මෙසේ සිදුර විදින ලද ස්ථානය ඔවුන් ජෝන් ක්ලීන් පර්වතය කියා නම් කර කර ඇත්තේ 2011 දී මියගිය මිතුරකු සිහි වීම පිණිසයි. ඔහු තමා අඟහරු විද්‍යා රසායනාගාරයේ නියෝජ්‍ය ව්‍යාපෘති කළමනාකාරවරයා.

 
අඟහරු ලොවේ බිම අඟල් දෙකමාරක් සිදු කර පස් සාම්පල ලබා ගත් ප‍්‍රථම වතාව මෙයයි. මෙහි සිදුරු දෙකක් තියෙනවා. මැද ඇත්තේ ටිකක් ගැඹුරට කළ සිදුරයි. අනෙක අත්හදා බැලීමට කළ කළ සිදුරයි.

 
කුතුහලය රෝවර යානය තමයි, පළමු වතාවට අඟහරු මතුපිට සිදුරු කර මුල් ම රොබෝ වන්නේ.

 
නාසා ආයතනය යැවූ කුතුහලය රොබෝ යානය රතු ග‍්‍රහයාගේ බිම විද පස් සාම්පල ගත්තේ එහි ඇති රසායනාගාරයේ දී අඟහරු පසේ ජීවීන් සිටි බවට හෝඩුවාවක් ලබා ගැනීම පිණියි.

ඉදිරි දින කීපය තුළ රොබෝ අත යොදා ගෙන මේ පස් කුතුහලය යානය තුළ ඇති රසායනාගාරයට යවා පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති. එහි දී සමහර කොටස් පොළොවෙන් ගෙන ගිය කොටස් සමග සැසඳීමක් ද කරනු ඇති.

කලින් අඟහරු වෙත යවනු ලැබූ ‘ඔපර්චුනිටි’ හා ‘ස්පිරිට්’ යන යානාවල එහි මතුපිට පස් පරීක්ෂා කිරීමට සුදුසු මෙවලම් යැවූ නමුත් ඒවා මේ කුතුහලය යානයේ ඇති ඒවා තරම් සංකීර්ණ වුණේ නෑ.

2008 දී අඟහරුගේ උත්තර ධ‍්‍රැවයට ගොඩ බැස්ස වූ ‘ෆිනික්ස්’ යානය සමග මිදුණු හිම කැඩිය හැකි අයිස් කඩන මිටියක් එහි රොබෝ අතකට සවි කර තිබුණා. මේ කුතුහලය යානයට මෙවලම් හා රොබෝ අත් සවි කළේ කලින් ඒවායින් ලත් අත්දැකීම් උපයෝගී කර ගෙනයි.

 
රොබෝ ඇඟිල්ලක්ද? නැත්නම් සුළඟට ඛාදනය වී ඔප වැටුණු පාෂාණ කැබැල්ලක්ද?

ඒ අතර පසුගිය සතියේ කුතුහලය අඟහරු යානය එවූ පින්තූර අතර එක් පින්තූරයක පාෂාණ බිමින් ඉහළට මතු වූ අතක ඇඟිල්ලක් හමු වී තියෙනවා. මේ අබිරහස් ඇඟිල්ල කාගේද? නාසා ආයතනයේ විද්‍යාඥයන් ඒ දසුනෙන් අන්දුන්කුන්දුන් වී ගියා.

කුතුහලය අඟහරු යානයේ කැමරාවලට අසු වූ මේ අරුම පුදුම ඇඟිල්ල කාගේද? ගේල් ආවාටයේ පස් සාම්පල ගැනීමට කැණීම් කරද්දී හමු වූ අපූරු වස්තුව කුමක් ද? ඔවුන්ට ප‍්‍රශ්නයක් වුණා.

බැලූ බැල්මට රොබොට්ටකුගේ ලෝහමය අතක ඇඟිල්ලක් මෙන් පස් යටින් මතු වූ මේ අමුතු වස්තුව පෙනෙන්නට තිබුණු හැම රූප රාමුවක්ම ඔවුන් පරීක්ෂා කර බැලූවා. සමහර රූප විශාල කළ බැලූවා.

නිය පොත්ත පවා පැහැදිලිව පෙනෙන ඒ ඇඟිල්ල පාෂාණ අතරින් මතු වූවක් ලෙස සමහරුන් දුටුවා. සමහරුන් තර්ක කළේ එය ඒ පර්වතයට ඇතුළු වීමට ඇති රහස් කුටියකට ඇතුළු වන දොරටුවක හැන්ඩලයක් විය හැකි යැයි කියායි.

මේ රූප අන්තර්ජාලය හරහා ප‍්‍රචාරය වූ පසු ලොව පුරා තවත් විවිධ අදහස් පළ වුණා. සමහරු කීවා, මේ කාරයක දොර හැන්ඩලයක් කියා. තවත් අයට එය හිස් වැස්මක සැරසිල්ලක් ලෙසත් පෙනී තිබුණා.

බොහෝ පරීක්ෂා කිරීම්වලින් පසු නාසා ආයතනයේ විද්‍යාඥයන් නිගමනය කළේ එය සුළඟ නිසා ඛාදනය වී ඔප වැටුණු පාෂාණ කැබැල්ලක්ය කියායි.

විශේෂ තද පාෂාණ සංයෝගයකින් තැනුණු මෙම ගල් කැබැල්ල, අඟහරු මත නිරන්තරයෙන් හමන මඳ සුළඟ නිසා කලක් තිස්සේ මෙසේ ඔප වැටී හැඩ ගැසෙන්නට ඇතැයි ඔවුන්ගේ නිගමනය වුණා.
මේ කොටසෙහි ඇති පාෂාණ සංයුතිය එම බිමෙහි බහුලව පවතින පාෂාණ සංයුතියට වඩා වෙනස් එකක් විය හැකියැයි ද ඔවුන් විසින් තීරණය කර තියෙනවා.

 
පසුගිය සතියේ අන්තර් ජාලය හරහා ප‍්‍රචාරණය වීමෙන් ආන්දෝලනයක් ඇති කළ ඡායාරූපය.

නාසා ආයතනයේ ජෙට් ප‍්‍රචාලන රසායනාගාරයේ ගයි වෙබ්ස්ටර් කියන්නේ, ‘මේ වගේ අමුතු විකෘති අපේ මේ මහ පොළොවේත් දකින්නට ලැබෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ ඇඟිල්ලත් ’ කියායි.

සියැටල්හී වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ රොනල්ඞ් ස්ලේටන් මෙය අධ්‍යයනය කිරීමෙන් අඟහරු මත සුළෙඟ් ස්වභාවයත්, ඒ අනුව ස්වාභාවික මූල ද්‍රව්‍ය ඛාදනයට ලක්වන ආකාරයත් විවිධ පාෂාණ ද්‍රව්‍ය වලට ඉන් ඇති වන බලපෑමත් තේරුම් ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කරනවා.

--සම්බන්ධිත පුවත් --




Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.


1 අදහස්:

වන වදුල said...

මුල්ම රූපයේ ජලය හෝ යම් ද්‍රව්‍යයක් යොදාගෙන තිබෙන බවක් පේනවා. (දූවිලි මිගින් කැමරා කාච අපිරිසිදු වීම වැලැක්වීමට හෝ යානයේ දූවිලි බැදීම අවම කරගැනීමට) කෙසේ වෙතත් බොහෝ වේලා (පොළව සිදුරු කරන පරීක්ෂන අතරවාරයේ) වාශ්ප නොවී තිබීමෙන් කියන්නේ එහි උෂ්නත්වය සාමාන්‍ය බවක් හා වාතයේ ජලය ඇති නිසාවත් ඉක්මණින් වාෂ්ප නොවුන බවවත්ද?

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top