HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සතුරු උවදුරු දුරු කරන්න දළඹුවන්ගෙන් ගැලවිජ්ජාවක්!

දළඹුවන්ගේ අපූරු ලෝකයේ අසිරිමත් වැඩ කිඩ බලන්න! ආත්මාරක්ෂාවට යොදන ක‍්‍රමෝපයයන්! සර්පයින් වාගේ වෙස් වළා ගැනීම්, අප‍්‍රසන්න ගඳ නිකුත් කිරීම්, විෂ විදීම් ආදි නොයක් උපක‍්‍රම හඳුනා ගන්න.

සතුරු විලෝපිකයන් රැසක් සිටින අහිංසකයකුට දරුණු විෂ ඇති සර්පයකු සේ වෙස් වළා ගැනීම කොයිතරම් අපූරු උපක‍්‍රමයක්ද? උකුසුශලබයාගේ දළඹුවා (hawkmoth caterpillar) කරන්නේ ඒකයි.

සතුරු තර්ජනයක් එල්ල වූ විගස ඌ කරන්නේ පාදත් හිසත් සඟවා ගෙන සිරුරේ ඉදිරි පස පුම්බා සර්පයකු සේ මෙසේ පුම්බා ගැනීමයි. සර්පයකුගේ හිස මෙන් පෙනෙන දුඹුරු පාට ඇති කොටස ඇත්තටම නම් දළඹුවාගේ යටිබඩ පෙදෙසයි.

මේ විදියට විලෝපිකයකුගේ ගොදුරක් බවට පත් නොවීමට සර්පයකු ලෙස අනුකරණය එකම දළඹුවා මේ උකුසුශලබ කීටයා පමණක් නොවෙයි. තවත් අය ඉන්නවා.

 
සතුරකු ළං වෙතැයි දැනුනු විගස උකුසුශලබ දළඹුවා කරන්නේ පාදත් හිසත් සඟවා ගෙන සිරුරේ ඉදිරි පස පුම්බා සර්පයකු සේ මෙසේ පුම්බා ගැනීමයි. බලන්න ඔබට හඳුනා ගන්න පුළුවන්ද කියා. සර්පයාගේ හිස මෙන් පෙනෙන දුඹුරු පාට ඇති කොටස දළඹුවාගේ යටිබඩ පෙදෙසයි.

නිදසුන් වශයෙන් ඬේලිෆිලා එල්පේනෝර් නමින් සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන අලි උකුසු ශලබ දළඹුවා සහ ස්පයිස්බුෂ් ස්වලෝටේල් සමනල් දළඹුවා දැක්විය හැකියි.

මේ දළඹු දෙවර්ගයට ම ඔවුන්ගේ සිරුරවල විශාල බොරු ඇස් යුගලක් බඳු ලප දෙක බැගින් තියෙනවා. හදිසියක දී ඒවා තවත් විශාල කරමින් වේශය වෙනස් කර සතුරා පලවා හරින්න ඔවුන්ට පුළුවන්.

අනෙක් දළඹු වර්ග දිග ලෝමවලින් සිරුරු වසා ගන්නවා. කටු හා වෙනත් ආයිත්තම්වලින් විෂ සහිත දෙයින් සිරුරු සරසා ගන්නවා. හෙයාරි ෆැනල් ශලබ දළඹුවා හා සැඞ්ල්බැක් දළඹුවා ඒවාට නිදසුන්.

 
ඬේලිෆිලා එල්පේනෝර් නමින් සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන අලි උකුසු ශලබ දළඹුවාගේ හිසේ විශාල කළ හැකි බොරු ඇස් දෙකක් තියෙනවා. බියට පත් වූ විට ඒවා විශාල කර සර්පයකුගේ පෙනුමක් ගන්න ඌටත් පුළුවන්.

 
දකුණු කැනඩාවේ සිට ෆ්ලොරිඩාව තෙක් විහිදී ජීවත් වන ස්පයිස්බුෂ් ස්වලෝටේල් සමනල් දළඹුවාට විශාල කළ හැකි ලොකු ඇස් දෙකක් තියෙනවා. ඒවායින් විලෝපිකයන් බිය වද්දා පලවා හරින්න ඌටත් පුළුවන්.

මේ අතර, නෝලිඞ් ශලබ දළඹුවාට හැකියාව තියෙනවා සිරුර කොළ පැහැති කර පුම්බන්න, උගේ හිස වැසී යන තරමට. ඒ මගින් ඌ ආහාරයට ගැනීමට එන කුරුල්ලන්ට තමන් තවමත් ඉදී නැති පලතුරක් බව අඟවා බේරෙනවා.

පුස් ශලබයාගේ කීටයාට සැඟවී සිටිය හැකි එක උපක‍්‍රමයක් නොවෙයි ගණනාවක් තියෙනවා.

මුලින්ම ඌ සිරුර පුම්බා රතු හිස ලොකු කර කළු ඇස් දෙකක් සේ ලප දෙකත් විශාල කර ගන්නවා. දෙවනුව සිරුර අග ඉවතට විහිදුණු අන්තිනා දෙකක් මගින් දුර්ගන්ධයක් විහිදුවනවා. ඒ එකකින්වත් සතුරා ඉවතට යන්නේ නැති නම් විෂ අම්ලයක් විදින්නත් ඌට පුළුවන්.

සමහර දළඹුවන්ට විලෝපිකයන්ට වඩා වෙනත් දේවල් තියෙනවා ආරක්ෂා වීමට. ආක්ටික් වූලි බෙයා ශලබ දළඹුවාට බින්දුවටත් අඩු උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න සිදු වෙනවා.

ඒ සඳහා ඌ කරන්නේ ප‍්‍රතිහිමායන ප්‍රෝටීනයක් නිපදවනවා, උගේ සෛලවල. ඒ නිසා ඒ ෙසෙල සම්පූර්ණයෙන්ම සීතලෙන් ගල් වෙන්නේ නැහැ.

ඒ සමගම උගේ සිරුර දිගු කෙස්වලින් වසා ගන්නවා, තාපය සිරුරෙන් පිටවීම අවම කරන්න.

 
මෙට්ල්මාක් සමනල් දළඹුවා සුදු පැහැති ලොම් ගුළියකින් සිරුර මේ විදියට වසා ගන්නවා.

 
ලස්සනට ලොම් තිබුණට අතගාන්න යන්න හොඳ නෑ. මේ ෆ්ලැනල් ශලබ දළඹුවා බැලූ බැල්මට හානියක් නෑ වගේ පෙනුණට මේ ලොම් විෂවලින් පිරිලා. එයින් තමයි උන් ගොදුරු කර ගන්න එන කුරුල්ලන්ගෙන් බේරිලා ඉන්නෙ.

 
සැඞ්ල්බෑක් දළඹුවන්ගේ කටු සහිත ලොම්වලින් විෂ ද්‍රව්‍යයක් වෑස්සෙනවා. ගොදුරු කර ගන්නට එය විලෝපිකයා ස්පර්ශ කළ සැණෙන් දැවිල්ලක් ඇති වී ගොදුර අතහැර ඉවත් වෙනවා.

 
මේ ආක්ටික් වූලි බෙයා ශලබයාගේ දළඹුවා වසර 14ක් ම දළඹුවෙක් වශයෙන් තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සෙ එක් ගිම්හානයක් තුළ කෝෂ වාසියකු වන මේ දළඹුවා බිත්තර දමා පරපුරක් බිහි කරන්නට කටයුතු සලසා ඒ ඍතුව අවසානයේ දී ම මිය යනවා. ආක්ටික් ප‍්‍රදේශයේ ජීවත් වීමේ දී මේ දළඹුවාට බින්දුවටත් අඩු උෂ්ණත්වයකට ඔරොත්තු දෙන්න සිදු වෙනවා. ශීත කාලයේ ශිශිරතරණ නින්දට වැටෙන ඌ සෛල මිදීම වළක්වන්න විශේෂ ප‍්‍රතිහිමායන ප්‍රෝටීනයක් නිපදවා ගන්නවා.

 
ලිමකොඩිඬේ ගෝත‍්‍රයට අයත් මේ ස්ලග් ශලබ දළඹුවාටත් දිග සුදු ලෝම සහිත ආරක්ෂිත ආවරණයක් තියෙනවා.

 
හයලොෆෝරා සෙක්රොපියා නම් මේ සැටර්නිඞ් ශලබ දළඹුවාට දීප්තිමත් වර්ණ සහිත සිරුරක් තියෙනවා. ඒ මත තැනින් තැන කළු පැහැති කටු පිහිටා තියෙනවා. මෙහි වර්ණ හා පිහිටීම අනුව එය ගොදුරු කර ගන්නට එන විලෝපිකයන් ඒ විෂ සහිත පැළෑටියක් කියා මඟ හැර යනවා.

 
මේ මන්කි ස්ලග් ශලබ දළඹුවාගේ සිරුර පුරා විෂ පිරුණු ලොම් හා කටු පිහිටා තියෙනවා.

 
යුමෝෆා ටයිෆූන් නමින් සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන ටයිෆූන් ෆීනික්ස් දළඹුවාගේ මුහුණ බැලූ බැල්මට ම කැතයි; බියකරුයි. ඒ උගේ සතුරන් පලවා හරින උපක‍්‍රමයයි.

 
පැපිලියෝ පොලික්සීනිස් නම් සත්ව විද්‍යා නාමයෙන් හැඳින්වෙන මේ ස්වලෝටේල් දළඹුවා කෝෂවාසියකු බවට පත්වන අයුරු (වමේ). ඉයෝ ශලබ දළඹුවාට (දකුණේ) යම්තම් ගැවුණත් විෂ සහිත තත්වයක් සතුරාට දැනෙන කටු සහිත සිරුරක් තියෙන්නෙ.

 
මෙසේ වෙස් වළා ගෙන ඉන්නේ ඩාටානා ඉන්ටෙජෙරිමා නමින් සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන වොල්නට් දළඹුවායි.

 
මේ වැඩියෙන්ම කටු ඇති සූඩොඔටෝමේරිස් ෆෝලි යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන සැටර්නිඞ් ශලබයායි. මේ කටු ඉතා විෂ සහිතයි.

 
පරාසා ඉන්ඩිටර්මිනා නම් සත්ව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මේ ස්ටින්ගින් රෝස් ස්ලග් දළඹුවාට ඇත්තේ වර්ණවත් විෂ කටු සහිත සිරුරක්.

 
ඬේසිචිරා පුදිබුන්ඩා නමින් විද්‍යාත්මක හැඳින්වෙන මේ සේප් ටසොක් ශලබ දළඹුවා (වමේ) හා පැපිලියෝ ක්‍රෙස්ෆෝන්ටේස් යනුවෙන් විද්‍යාත්මකව හැඳින්වෙන මේ යෝධ ස්වලෝටේල් දළඹුවා යන දෙදෙනාටම විෂ දුමක් නිකුත් කළ හැකි රතු අං දෙක බැගින් තියෙනවා.

 
ඔරිජියෝ ලියුකොස්ටිග්මා නමින් විද්‍යාත්මකව හැඳින්වෙන මේ සුදු සලකුණු ඇති ටසොක් ශලබ කීටයාට ස්පර්ශ වුණු ගමන් සතුරා රෝගී කරවන විෂ කෙඳි තියෙනවා.

 
නාන කොට ඇඟ අතුල්ලන කෙඳි පොකුරක් වගේ පෙනුනත් මේත් වෙස්වලා ගත් දළඹුවෙක්.

 
සෙරියුරා විනිලා නම් පුස් ශලබ කීටයා උගේ ආරක්ෂාව සලසා ගන්නේ මෙහෙමයි. කොළ පාට සිරුරේ සුදු ලප ඇති කර ඌ ආහාරයට ගන්නා පත‍්‍ර අතරේ ම සැඟවෙයි. සතුරකුගේ ඉවක් ඇති වූ විට සිරුරේ උඩු කොටස පුම්බා හිස විශාල කර බොරු ඇස් පෙනෙන්නට සලස්වයි. සිරුරේ පසු කොටසේ ඇති අන්තිනා දෙකක් බඳු අවයවය වඩාත් දිගු කරයි. රතු නාළ දෙකක් ඒවායින් පිටතට විහිදයි. ඉන් දරුණු ගඳක් පිට කරයි.

 
නෝලිඞ් ශලබ දළඹුවා හිස වැසෙන සේ සිරුර විශාල කර කොළ පැහැති, නොඉදුණු පලතුරු ගෙඩියක් මෙන් හැඩයක් ඇති කර ගනියි. ඒ කුරුල්ලන්ගෙන් බේරීමටයි.

 
ලැමිකොඩිඬේ පවුලට අයත් ස්ලග් ශලබ දළඹුවා දීප්තිමත් වර්ණවලින් විලෝපිකයන් බිය වද්දයි. එසේම උගේ සිරුරේ ඇති කෙඳිවලින් විෂ නිකුත් කරයි.

 
පැලමීඞ්ස් ස්වලෝටේල් සමනලයාගේ දළඹුවා (පැපිලියෝ පැලමීඩිස්) සිය සිරුරේ හැඩය සර්පයකුගේ මෙන් අනුකරණය කරන අතර සීබ‍්‍රා ලෝන්වින් සමනලයාගේ දළඹුවා (හේලිකෝනියස් චැරිටෝනියස්) සිරුරේ කටු මවා ගෙන බියකරු පෙනුමක් දෙයි. ඒ විතරක් නෙවෙයි, වැල්දොඩම් මලේ ඇති විෂ වර්ගයක් කා සිරුර විලෝපිකයන්ට අප‍්‍රසන්න රසයක් ඇති කරයි.




Post a Comment

0 Comments