බර්ඞ්ස් අයි (Birds Eye) ඇතුළු ආහාර නිෂ්පාදන ආයතන ගණනාවක් ම මේ අහස සුරන හරිතාගාර මැදුරු තැනීම ගැන අවධානය යොමු කර තියෙනවා. ඔවුන්ගේ මේ විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ තට්ටු සිය ගණන් උස හරිතාගාරවල එළවළු වගා කිරීම ආර්ථික වශයෙන් ඵලදායී එකක් බවයි. එයින් සරුසාර අස්වැන්නක් ලබා ගන්නවා පමණක් නොව දැනට පවත්නා ඉල්ලූමට සරිලන සේ ආහාර නිෂ්පදනය කළ හැකි බවත් පෙනී ගොස් තියෙනවා.
අහසේ කෙරෙන මේ ‘සිරස් ගොවිපොළ‘ වල සිදු කරන වගාවට පොහොර හා ජලය සැපයෙන්නේ නවතම ක‍්‍රමයකට වන නිසා පසේ අවශ්‍යතාවත් වගා කිරීමට පිටිසර පළාත්වල ගොවිබිම් ආදියත් අවශ්‍ය වන්නේ නැහැ. ජපානය ජලය මත වගා කරන්නෙත් මේ හා සමාන ක‍්‍රමයකටයි.
අනාගතය ඉදි වෙන හැටි. 2014 දී එළවළු නිෂ්පාදනය ඇරඹීමට අපේක්ෂිත ස්වීඩනයේ ලින්කොපින්හී ඉදිවෙන මීටර් 54ක් උස අහස සූරන වගා මැඳුර.
ඒ විතරක් නොවෙයි, මේ ක‍්‍රමයට වගා කිරීමට කාලයක්, ඍතු බේදයක් නැහැ. වසරේ දවස් 365ම වගා කරන්න පුළුවන්. අස්වැන්න නෙළන කාලයක් නෑ. හැමදාම අස්වැන්න නෙළා ගන්න පුළුවන්.
මේ හරිතාගාර තුළ දේශගුණය පාලනය කළ හැකියි. ඍතු භේද නොසලකා මුළු අවුරුද්ද පුරා ම මේවායෙහි වගාවන් කළ හැකි නිසා අස්වැන්න ඇදහිය නොහැකි තරම් වැඩි කළ හැකියි. මෙහි ශාක හොඳින් වසා ඇති නිසා පළිබෝධ නාශක යෙදීමත් අවශ්‍ය වෙන්නේ නැහැ.
ඔබ දැනටමත් සුපිරි වෙළෙඳසැල්වලින් මිල දී ගන්නා සමහර ආහාර වර්ග, තක්කාලි, ස්ට්‍රෝබෙරීස් වැනි පලතුරු, පස රහිත දිය වගා ක‍්‍රමයට වවා ගන්නා ලද ඒවායි. දැන් ඊට වඩා සංකීර්ණ ක‍්‍රමයට ඒ වගාවන් කරන්න සැලසුම් කරලයි, තියෙන්නෙ. මේ වාගේ සංකීර්ණ අහස සූරන වගා මැදුරු දැනටමත් ස්වීඩනය, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රටවලත් ඇමරිකාවේ චිකාගෝ නුවරත් ඉදි කර ගෙන යනවා.
අනාගතයේ ප‍්‍රධාන නගරවල අහස් කුස් සිසාරා යන මෙවැනි එළවළු වවන හරිතාගාර බිහි වේවි.
ගොඩනැගිල්ලේ ඉහළම තට්ටුවේ විශේෂ බන්දේසිවලට බීජ දමා ශාකයට වැඞීමට අවශ්‍ය පෝෂක ජලයට මුසු කොට ඒවාට ලබා දෙනවා. ඒ නිසා ඊට පස් අවශ්‍ය වන්නේ නැහැ.
- ශාක වැඩෙත්ම ඒ බන්දේසි, වාහක පටි ඔස්සේ ඊළඟ තට්ටුවෙන් තට්ටුව පහළට එනවා.
- පහළ ම තට්ටුවට ආ විට අස්වැන්න නෙළා ගැනීමට පුළුවන්.
- හතරැස් අඩි තුනක කොටසකින් වසරකදී රාත්තල් 180ක් එළවළු නිපදවන්න පුළුවන්.
- මේ ආකාරයේ තට්ටු 25ක ගොඩනැගිල්ලක 3,50,000ක ජනතාවකට අවශ්‍ය එළවළු වගා කළ හැකියි.
- සාමාන්‍ය පවුලක් ජීවත්වන ප‍්‍රමාණයේ ගෙයක මෙවැනි වගාවක් කළොත් එය අක්කර 16ක වපසරියක කළ වගාවකට සමානයි.
- කෘමිනාශක හෝ වල්නාශක රසායනික යෙදීමක් අවශ්‍ය වන්නේ නැහැ.
- සෑම දින තුනකට වරක් පැළ 10,000 සිටුවන්න අවශ්‍ය වන්නේ තුන්දෙනකු විතරයි.
- මේ අහස සූරන ශාක මැඳුරුවල පහළ මාලයේ බොහෝ විට ඇත්තේ අලූත් එළවළු විකුණන වෙළෙඳ සැල් හෝ ආහාර සැකසුම් කම්හල් හෝ එළවළු හෝ සලාද මලූවලට අසුරන කම්හල් ආදිය පමණයි.
- බි‍්‍රතාන්‍ය නගරවල ඉදි කෙරෙන මෙවැනි හරිතාගාරවල දොඩම්, කෙසෙල් වැනි පලතුරු වවන්නත් පුළුවන්.
ස්වීඩනයේ ලින්කෝපින් නගරයේ ඉදිකර ගෙන යන මීටර 54ක් උස මේ හරිතාගාරය එක් උදාහරණයක්. මෙය ඉදි කරන්නට පුරෝගාමී වී සිටින්නේ ප්ලාන්ටගන් (Plantagon) නම් ස්වීඩන සමාගමයි.
2014 වන විට මෙහි කොළ එළවළු රැසක්, සලාද කොළ, නිවිති, අබ කොළ ආදී හරිත පලා වර්ග රැසක් වගා කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
‘බර්ඞ්ස් අයි’ සමාගම අපේක්ෂා කරන්නේ, මේ වන විට ඩෙවොන් නගරයේ පෙයින්ටන් සතුන් වත්තේ සතුන් සඳහා අඩු වියදමින් කොළ එළවළු වවන වර්ටික්‍රොප් දිය වගා ක‍්‍රමය සාර්ථක වූ පසු නව ක‍්‍රමයට ඒ අත්දැකීම භාවිත කරන්නයි.
බන්දේසිවල තබා ඇති මේ ශාක ඒ වීදුරු ගොඩනැගිල්ල තුළ යොදා ඇති වාහක පටි ඔස්සේ ඒවාට අවශ්‍ය ආලෝකය නිසි පමණ ලැබෙන පරිදි එහා මෙහා යැවෙනවා.
‘බර්ඞ්ස් අයි’ සමාගම මේ තාක්ෂණය පසුපස සිටින ඇලටෙරස් (Alterrus) ආයතනය සමග මෙය වඩාත් පුළුල් කර පඳුරු ශාක වගා කළ හැකි ක‍්‍රම ගැන දැනටමත් සාකච්ඡා කර ගෙන යනවා. එහෙම වුනෙත් පියළි ඇට වර්ග ආදියත් නුදුරු අනාගතයේ දී වගා කළ හැකි වේවි.
බර්ඞ්ස් අයි කෘෂි අංශයේ ප‍්‍රධානියා වූ ජේම්ස් යං මේ ගැන කියන්නේ මෙහෙමයි: ”මේ ක‍්‍රමයට අපට හැකි වෙනවා ගෘහස්ථව, පාලනය කළ හැකි පරිසරයක වගා කරන්න. අඩු බලශක්තියක් යොදවා කෘෂි රසායන නොයොදා, නරක කාලගුණයෙන් බාධාවක් නැතිව අඩු ඉඩකඩකින් වැඩි ඵලදාවක් ලබන්න.”
”තාමත් අපි ඉන්නේ මෙහි මුල් අදියරෙයි. අපි හිතනවා වර්ටික්‍රොප් (Verticrop) ආයතනය මේ වගා ව්‍යාපාරය වඩාත් සාර්ථකව කරමින් පාරිභෝගිකයන්ට ඉතා උසස් තත්වයෙන් යුත් නිෂ්පාදන බිහි කරාවි කියලා.” ඔහු වැඩිදුරටත් කියනවා.
දැනටමත් බි‍්‍රතාන්‍ය සමාගම් ගණනාවක් මේ තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කරල තියෙනවා. එයින් එක් සමාගමක් වන ‘ඊස්ට් එන්ඞ් ෆුඞ්ස්’ (East End Foods) මේ වන විට එංගලන්තයේ බර්මින්හැම්වල ඇස්ටන් ක්‍රොස්හී සිරස් ගොවිපොළක් ඉදිකර ගෙන යනවා. එහි සභාපති ටෝනි ඞීප් වෝරා කියන්නේ සම්ප‍්‍රදායික වගා ක‍්‍රමයට වඩා මෙය ඉතාමත් වාසිදායක බවයි. ”වගාවේ වේගය වැඩි කර වැඩි අස්වැන්නක් අඩු ඉඩ ප‍්‍රමාණයක් තුළ ඉක්මනින් ලබා ගැනීමට හැකි වීම විස්මිත දෙයක්.” ඔහු කියනවා.
පසුගියදා ඔහු ග්‍රොසර් සඟරාවට ප‍්‍රකාශ කළේ, ”අවශ්‍ය තරම් ආහාර ලෝකයේ නිපදවෙන්නේ නැහැ. කෘෂි බිම්වලින් සියයට 67ක් යොදා ගෙන ඇත්තේ සතුන් ඇති කිරීමට අවශ්‍ය ආහාර නිපදවන්නයි. මිනිස් ආහාර වගා කිරීම සඳහා ඍජුව භාවිත කෙරෙන්නේ ඒ ඉඩම්වලින් සියයට 33ක් පමණයි.” කියායි.
”ඒ වගේ ම නගරයේ ජනතාව තේරුම් ගන්න ඕනෑ පලා එළවළු දින 25ක් වැනි කෙටි කාලයක් තුළ තමන්ටම වගා කර ගත හැකි බව.” ඔහු කියනවා.
මේ ක‍්‍රමයට ඔවුන්ටත් ඔවුන්ගේ පුංචි ගෙවත්තේ ටයර්වල හෝ තට්ටු නිවාසවල බැල්කනියේ පෝච්චිවල පලා එළවළුවක් වවා ගැනීම අපහසු දෙයක් නොවේ යයි ඔහු පවසනවා.
මේ සිරස් ගොවිතැන් කිරීම සඳහා අහස සූරන මැදුරු ඉදි කිරීමේ සංකල්පය ඇමරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය අංශයේ මහාචාර්ය ඩිකින්සන් ඩෙස්පොමියර් (Dickson Despommier) විසින් හඳුන්වා දුන්නක්.
ආචාර්ය ඩෙස්පොමියර් මේ සිරස් වගා ක‍්‍රමය දකින්නේ, ගෝලීය බලශක්ති විමෝචනය අඩු කරන්නත්, ජල හිඟයට පිළියමක් හැටියටත්, වැඩි වන ජනගහනයට සරිලන ලෙස ආහාර නිෂ්පාදනයටත් පිළියමක් ලෙසයි.
”මෙහි පාවිච්චි කරන ජලය සියල්ල ම ප‍්‍රතිචකී‍්‍රකරණය කරනවා. ඒ විතරක් නෙවෙයි, වගාවට යොදන පෝෂකත් ප‍්‍රතිචකී‍්‍රකරණය කරනවා. මේ ගොඩනැගිල්ලෙන් පිටවෙන හැම දෙයක්ම ඉවත නොදමා ආහාරයට ගත හැකියි. ජලය සංරක්ෂණය කරන්න මෙය ඉතාමත් අනර්ඝ ක‍්‍රමයක්.” ඔහු කියනවා.
”මෙයින් සිදුවන ලොකුම සමාජ මෙහෙවර තමා අනාගතයේ දී ලෝකයේ හැමදෙනාට ම ආහාර සැපයීම” ඔහු අවසාන වශයෙන් කියනවා.
3 Comments
This comment has been removed by the author.
ReplyDeleteසිරස් ගොවිපොළ කියන එක නේද හරි?
ReplyDelete@ 'අහවලා' : නිවැරැදි කලා. ස්තුති!
ReplyDelete