HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වැටෙන හිම පියල්ලේ නියම හැඩරුව දකින්න!

වැටෙන හිම පියල්ලේ නියම හැඩරුව දකින්න දැන් පුළුවන්. ඒ සඳහා විශේෂ ති‍්‍රමාන රූ ගත හැකි නව ආරක කැමරාවක් දැන් තනා තියෙනවා.

සුදේ සුදට හිම වැටෙන කොට හරිම ලස්සනයි. විවිධාකාර හැඩතල ඇති හිම පියලි පතිත වෙනව දකින හිම නොවැටෙන රටවල ඉන්න අයට ඒ දසුන නෙතට රසඳුනක් වුණාට හිම වැටෙන රටවල අයට එය වේදනාකාරී අත්දැකීමක්. මහ විපතක්!

පසුගිය දවස්වල එංගලන්තයට හිම වැටිලා එවැනි මහ විපතක් සිදු වුණා. මහ ගමනාගමනය විතරක් නෙවෙයි, ගුවන්ගමන් පවා නතර වුණා. ගුවන්තොටුපළවල මගීන් දහස් ගණනින් හිරවෙලා හිටියා.

ඒ අතර එවැනි විපතක් සැපතක් කර ගත් පිරිසකුත් ලෝකයේ හිටියා. ඒ ඇමෙරිකාවේ සෝට් ලේක් සිටි නගරයේ පිහිටි යූටා විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක්.

ඔවුන් නිර්මාණය කරල තියෙනවා හිම පියලිවල හැඩතල ඡායාරූප ගන්න පුළුවන් විශේෂ කැමරාවක්. එය ‘මල්ටි ඈන්ගල් ස්නෝෆ්ලේක් කැමරාවක්’. (Multi-Angle Snowflake Camera -MASC) එහි අරුත ‘බහු කෝනී හිම පියලි කැමරාවක්’ යන්නයි.

 
හිම පියලි ති‍්‍රමානව රූපයට නැඟිය හැකි ‘බහු කෝනී හිම පියලි කැමරාව.’ මේ මගින් ගන්නා රූපවලින් ඉතා නිවැරදිව හිම කුණාටු ගැන අනාවැකි කියන්න පුළුවන්.

මේ නව අධි තාක්ෂණ කැමරාවට පුළුවන් හිම පියලි නිදහසේ වැටෙන කොට වෙන වෙනම ති‍්‍රමාන ඡායාරූපයට නඟන්න. ඒ අනුව අනාගතයේ දී කාලගුණ අනාවැකි පැවසීමේ දී වඩාත් නිවැරදිව එය කළ හැකි වේවි.

යූටා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ පර්යේෂකයන් තනා ඇති මේ අධිවේගී කැමරාවෙහි ඇති අධෝරක්ත කිරණ මගින් කි‍්‍රයා කරන සංවේදකවලින් හිම පියලි වැටෙන මොහොතේම කැමරා කාචයට හසු කර ගැනීමට පුළුවන්.

මේ නව අධිතාක්ෂණ කැමරාව තත්පරයකින් 25,000න් එකක වේගයකින් කි‍්‍රයාත්මක වෙනවා. ඒ සමගම ඒවායේ වේගයත් මනින්න ඒ කැමරාවට පුළුවන්කම තියෙනවා.

”සමහර විට ඔබ වීදුරු විනිවිදක මතට එක්රැස් කර ගත් හිම පියලිවල විචිත‍්‍රත්වය අන්වීක්ෂයකින් දැක ඇති.” යුටා විශ්ව විද්‍යාලයේ වායුගෝලය පිළිබඳ විශේෂඥයකු වූ ටිම් ගැරට් ලයිව් සයන්ස් (LiveScience) වෙබ් අඩවියට ප‍්‍රකාශ කර තියෙනවා.

”මේ පින්තූර ලස්සන ඒවා විතරක් නෙවෙයි, ඉතාමත් දුර්ලභ ඒවාත් වෙනවා.” ඔහු එහිදී කියනවා.

 
හැම හිම පියල්ලක් ම එක හා සමාන නැහැ. මේ හිම පියලි වැටෙන සැණෙන් එහි ති‍්‍රමාන රූපයක් ගන්න මේ කැමරාවට පුළුවන්!

බොහෝ විට අප හිම පියලි දකින්නේ එකට ඇලූණු පොකුරු හැටියටයි. ඒවා අන්වීක්ෂයක් තුළ දමද්දී විනාශ වෙනවා. මේවා විශ්ලේෂණය කිරීමෙන් ඉදිරියේ දී එන හිම කුණාටු පිළිබඳ අනාවැකි කියන්න පුළුවන්.

මේ ති‍්‍රමාන රූපවලින් හිම පියලිවල නියම ස්වරූපය ම දැක ගත හැකි වන නිසා මේ නව ක‍්‍රමයෙන් ඒ අනාවැකි වඩාත් නිවැරදිව කියන්න පුළුවන් වේවි.

නවසිය හැත්තැ ගණන්වල දී හිම පියලි අතින් එකතු කර බොහොම අමාරුවෙන් තමයි, රැස් කර ගත්තෙ. දැන් ඒ හිම පියලි ස්වල්පය වෙනුවට හිම පියලි බිමට එන අතර ඒ හැම එකකම ස්වරූපය ති‍්‍රමාන කැමරාවට හසු කර ගන්න පුළුවන්.

මේ හිම පියලි ති‍්‍රමානව රූපයට නැඟිය හැකි ‘බහු කෝනී හිම පියලි කැමරාව’ මගින් එක රැයකදී හිම පියලි දසදහස් ගණනක රූප ගන්න පුළුවන්.

එවැනි උපකරණ දෙකක් දැනටමත් යුටාහී වසච් කඳුකරයේ ඇල්ටා ස්කී ප‍්‍රදේශයේ සවි කර තියෙනවා.

මහාචාර් ගැරට් ඇතුළු පිරිස දැන් සමාගමක් පිහිටුවලා තියෙනවා මේ උපකරණ තනා අලෙවි කරන්න. ඔවුන් දැනටමත් මෙයින් එකක් ඇමරිකානු හමුදාවට අලෙවි කරල තියෙනවා.

” කවදාවත් හිම පියලි දෙකක් එක වගේ වෙන්නෙ නැහැයි කියල පැරණි මිනිස්සු කියූ ඒ කතාව එදා මම විශ්වාස කළේ නෑ, මේ ක‍්‍රමයට හිම පියලි කැමරාවට නඟලා බලනතුරු. ඒත් මං හොඳින් ම දන්නවා දැන් ඒ කතාව සියයට සියයක් ඇත්ත බව.” ඔහු අවසාන වශයෙන් කියනවා.

Post a Comment

0 Comments