HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රෝහල්වල ආසාදන ඇතිවීම් වළක්වා ලීමට හැකියාව ඇත්තේ මාළුන් ළඟයි! අලූත් ම අධ්‍යයනයකින් හෙළි වෙයි!

මාළුන්ගේ කරමල්වල ඇති රසායනයක් මේ සඳහා උපයෝගී කර ගත හැකි බව ඒ නව අධ්‍යයනය කළ පර්යේෂකයන් කියනවා. මෙය කළ හැකි වන්නේ රෝහල් බිමට එම රසායනය ආලේප කිරීමෙනුයි.

රෝහල්වල ආසාදනවලට බොහෝ විට හේතුවන බැක්ටීරියා වර්ග විනාශ කිරීමට මාළුන්ගේ කරමල්වල ඇති රසායන තමයි, මෙසේ උපයෝගී කර ගත හැක්කේ.

බැක්ටීරියා හා දිලීර වර්ගවලින් ගහණ වූ පරිසරවල ජීවත්වන මාළුන්, ජලයෙන් පැතිරෙන රෝගකාරක වලට එරෙහිව ප‍්‍රබල ප‍්‍රතිශක්තියක් ලබා දිය හැකි ප‍්‍රතිමයික්‍රොබියල් පෙප්ටයිඞ් වර්ග ඔවුන්ගේ කරමල්වල නිපදවා ගැනීමට සමත් වී තිබෙනවා.

ඇමරිකාවේ මැසචුසෙට්ස්වල වෝසෙස්ටර් බහුතාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් පිරිසක් තමයි, මේ නව සොයා ගැනීම කරල තියෙන්නෙ. ඒ එක් පෙප්ටයිඞ් වර්ගයක ජෛව යාන්ත‍්‍රණය අධ්‍යයනය කරද්දීයි. ඒ පෙප්ටයිඞ් වර්ගය රෝහල් ගොඩනැගිලිවලට යොදන ටයිල්වලට එක් කිරීමෙන් බැක්ටීරියා විනාශ කළ හැකි බව සොයා ගෙන තියෙනවා.

 
මේ අත්ලාන්තික් සැමන් වර්ගය, බැක්ටීරියා දිලීර බහුල පරිසරවල ජීවත්වන නිසා ජලයේ ඇති රෝගකාරකවලින් බේරීමට ඔවුන්ගේ කරමල්වල විශේෂ ඇන්ටිමයික්‍රෝබියල් පෙප්ටයිඞ් වර්ග නිපදවනවා.

මේ පර්යේෂක කණ්ඩායමට නායකත්වය දීලා තියෙන්නේ ටෙරී කැම්සානෝ කියලා රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරියක්. ඔවුන්ගේ සොයා ගැනීම පිළිබඳ විස්තර ඇමරිකානු රසායන විද්‍යා සඟරාවක් වූ ‘ඒසීඑස් ඇප්ලයිඞ් මැටීරියල්ස් ඇන්ඞ් ඉන්ටර්ෆේසස්’ ජර්නලයේ පළ කර තියෙනවා. ඔවුන් කියන විදියට මේ සොයා ගැනීම නිසා අනාගතයේ මුළුතැන්ගෙවල්වල හා රෝහල්වල විශාල වෙනසක් සිදු වේවි.

”මාළුන් අපූරු උපක‍්‍රමයක් සොයා ගෙන තියෙනවා බැක්ටීරියා හා දිලීර ආසාදන වළක්වා ගන්න. අපේ මේ අධ්‍යයනයෙන් උත්සාහ ගත්තේ ඔවුන්ගේ ඒ ජෛවරසායනික කි‍්‍රයාවලිය අවබෝධ කර ගන්නයි.” කැම්සානෝ මහාචාර්යවරිය කියනවා.

මාළුන් ඔවුන් කරමල්වලින් ඔක්සිජන් උකහා ගැනීමේ දී ‘ක‍්‍රයිසොස්ෆින් - 1’ වැනි ඇන්ටිමයික්‍රෝබියල් පෙප්ටයිඞ් වර්ග යොදා ගන්නවා. ව්‍යාධිජනක විෂ බීජ වර්ග මාළුන්ගේ රුධිරයට එක් වීමට පෙර මරා දැමීමට ඒවායින් හැකියාව ලැබෙනවා.

ලොවපුරා විද්‍යාඥයන් මිනිසාට ආසාදන ඇති කිරීම වැළැක්වීමට ඊට හේතුවන මේ අහිතකර ක්ෂුද්‍රජීවීන් විනාශ කළ හැකි රසායනික අණු භාවිතය ගැන නොයෙක් අයුරින් ගවේෂණවල යෙදෙනවා.

මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ වෝසෙස්ටර් බහුතාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් කර ඇත්තේ ඇන්ටිමයික්‍රෝබියල් පෙප්ටයිඞ් වර්ග සිලිකන් හා රන් ස්ඵටික මත යොදා අත්හදා බැලීම් වල යෙදීමයි. ඔවුන් මේ අත්හදා බැලීම් කර ඇත්තේ ඊ. කෝලයි බැක්ටීරියාවට එරෙහිවයි. මේ සඳහා පෙප්ටයිඞ් යොදන ආකාරය දෙයාකාරයකට භාවිත කර තියෙනවා.

මුල් ක‍්‍රමයට අනුව මේ පෙප්ටයිඩ කෙළින්ම සිලිකන් හා රන් ස්ඵටිකවලට උරා ගැනීමට සැලැස්සුවා. එවිට තනි අණු ස්තරයක් හැටියට මේ පෙප්ටයිඩ තිරස් අතට පැතලිවයි පිහිටියේ. දෙවැනි ක‍්‍රමයට අනුව මේ පෙප්ටයිඩ මැලියම් වැනි ද්‍රව්‍යයකින් සිරස් අතට ඍජුව සිටින සේ ඇලෙව්වා, හරියට බිම වැවෙන තණ කොළ පත් ඉහළට විහිදෙනවා වාගේ.

මේ මතුපිට දෙකටම ඊ. කෝලයි බැක්ටීරියා රෝපණයක් යෙදුවා. මුල් ක‍්‍රමයට යෙදූ බැක්ටීරියාවෙන් සියයට 34ක් පමණයි, විනාශ වුණේ. සිරස් අතට යෙදූ ඒවා සියයට 82ක් විනාශ වුණා.

 
ප‍්‍රතිදීප්ත මයික‍්‍රස්කොපි ක‍්‍රමයට ගත් ව්‍යාධිජනක ඊ. කොලයි බැක්ටීරියාවේ රෝපිතයක්. මෙහි හරිත පැහැයෙන් දැක්වෙන්නේ සජීවි ෙසෙලයි. රතු පැහැයෙන් ඇත්තේ මියගිය ෙසෙලයි. (වමේ) සිලිකන් ස්ඵටික මත පෙප්ටයිඞ්ස් යොදා ඇත්තේ තිරස් අතටයි. (දකුණේ) පෙප්ටයිඞ්ස් යොදා ඇත්තේ සිරස් අතටයි.

”මෙයින් නිගමනය කෙරුණා දෙවැනි ක‍්‍රමය සාර්ථක බව. මේ අධ්‍යයනයට රන් හා සිලිකන් යොදා ගත්තේ ඒවායේ රසායනික ලක්ෂණ මේ පෙප්ටයිඞ් බන්ධනයට වඩාත් සුදුසු වූ නිසයි.” ඇය කියනවා.

ඇගේ පර්යේෂක කණ්ඩායම මේ සඳහා වෙනත් ආදේශක ද්‍රව්‍ය යොදා ගෙන අත්හදා බැලීම් දැන් කර ගෙන යනවා. විශේෂයෙන් ආහාර නිෂ්පාදනයේදී වඩාත් ප‍්‍රයෝජනවත් සෞඛ්‍ය ආරක්ෂිත වෙතැයි සැලකෙන ටයිටේනියම්, මල නො බැඳෙන වානේ හා ප්ලාස්ටික් වැනි දේ කෙරෙහි වැඩි අවධානයක් එහිදි යොමු කර තියෙනවා.

”මෙහිදී විශේෂයෙන් සැලකිය යුත්තක් තියෙනවා. මගේ මේ පර්යේෂණයට එක් වූයේ උපාධි අපේක්ෂකයන් පිරිසක් වීමයි, ඔවුන් ඇත්ත වශයෙන්ම කර ඇත්තේ කර ඇත්තේ විශාල හපන්කමක්. ඔවුන්ට අපේ ප‍්‍රශංසාව හිමි විය යුතුයි.” මහාචාර්යවරිය සතුට පළ කරනවා.


Post a Comment

0 Comments