HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විශ්වයේ ඇති විශාලතම දෙය කුමක්ද? බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයන්ගේ විස්මිත හපන්කමක්!

මේ විශ්වයේ ඇති විශාලතම ව්‍යුහය ලෙස සැලකිය හැකි දෙය සොයා ගත් විද්‍යාඥයන් මෙතෙක් කලක් මෙය නොපෙනුනේ කෙසේදැයි මවිතය පළ කරනවා. මේ දෙය කෙතරම් විශාල ද කීවොත් මෙහි එක් අන්තයක සිට ආලෝකයේ වේගයෙන් ගියොත් අනෙක් අන්තය දකින්නට වර්ෂ බිලියන 4ක් ගත වෙනවා.

මේ විශාලතම දෙය අන් කිසිවක් නොව දැවැන්ත ක්වොසාර් කාණ්ඩයක්. ඒවා හැඳින්වෙන්නේ ‘එල්කිව්ජී’ (LQG) නමින්. එය විශ්වයේ ආරම්භය සිදුවූ කාලයේ පැවැති ගැලැක්සීවලින් සමන්විත ව්‍යුහයක්.

මේ විශේෂ ක්වොසාර් කාණ්ඩය කොයිතරම් විශාල ද කීවොත් නවීන විශ්ව විද්‍යාවේ න්‍යායන්ටත් අභියෝගයක් වන තරම් යැයි පර්යේෂකයන් කියනවා.

 
චිත‍්‍රශිල්පියකුට පෙනෙන ක්වොසාරය. ULAS J1120+0641 යනුවෙන් හැඳින්වෙන එය කළු කුහරයකින් ශක්තිය සැපයෙන ඉතා දුරින් පිහිටා ඇති ක්වොසාරයක් වන අතර එහි ස්කන්ධය හිරු මෙන් බිලියන දෙකක ගුණයකටත් වැඩි යැයි කියැවේ.

මේවායේ විශාලත්වය කොපමණ ද?

ක්ෂීර පථය කියා අප හඳුන්වන අපේ මන්දාකිණිය හෙවත් ගැලැක්සියේ සිට අපට ආසන්නම ගැලැක්සිය වූ ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සියට ඇති දුර ආලෝකවර්ෂ මිලියන 2.5ක්. (ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝක කදම්බයක් රික්තයක් තුළ වසරක් තිස්සේ යන දුර, එනම් කිලෝමීටර් ති‍්‍රලියන 9.46ක දුරක්.)

අප අවට කලාපයේ ඇති මුළු ගැලැක්සි පොකුරෙහි විශාලත්වය ආලෝක වර්ෂ මිලියන 6-10 අතර වෙනවා. එනමුත් මේ අලූතින් සොයා ගෙන ඇති දැවැන්ත ක්වෝසාර් කාණ්ඩය ඇතුළු සියලූම ක්වෝසාර් කාණ්ඩවල පළල ආලෝක වර්ෂ මිලියන 650කටත් වැඩියි.

ආචාර්ය ක්ලොව්ස් ප‍්‍රමුඛ පිරිස විසින් සොයා ගෙන ඇති දැවැන්ත ක්වෝසාර් කාණ්ඩයේ පළල ආලෝක වර්ෂ බිලියන 1.6ක් විතර වෙනවා. එහි දිගටි හැඩය නිසා දික් අතට එහි ප‍්‍රමාණය ආලෝක වර්ෂ බිලියන 4ක්. මේ ප‍්‍රමාණය ක්ෂීර පථයේ සිට ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සියට ඇති දුර මෙන් 1,650ස් ගුණයක් යැයි කියනවා.

එංගලන්තයේ මධ්‍යම ලැන්කැෂයර් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ජෙරමියා හොරොක්ස් තාරකාභෞතික විද්‍යායතනයේ ආචාර්ය රොජර් ක්ලොව්ස්ගේ නායකත්වයෙන් තමයි මේ නව සොයා ගැනීම කළ තාරකා විද්‍යාඥ පිරිස කි‍්‍රයා කළේ. ඔහු ඒ ගැන අදහස් දැක්වූයේ මෙහෙමයි:

”මේ ප‍්‍රමාණයේ දැවැන්ත ක්වොසාර් කාණ්ඩයක විශාලත්වය වචනවලින් පැහැදිලි කර දෙන්න බැරි තරම් විශාලයි. අපට ස්ථිරවම කියන්න පුළුවන් අප මෙතෙක් දැක ඇති විශ්වයේ ඇති විශාලතම ව්‍යුහය මෙය බව.”

”1982 සිට ම මෙම ක්වෝසාර කාණ්ඩ වෙමින් ‘පොකුරු’ හෝ ‘ව්‍යුහයන්’ ලෙස පවතින බව අප දැන සිටියා. ඒත් මේ තරම් විශාල ක්වෝසාර් කාණ්ඩයක් ඇතැයි කියා සිතුවේ නැහැ. ආලෝකයේ වේගයෙන් ගියත් මේ ක්වෝසාර් කාණ්ඩය හරහා යන්නට වර්ෂ බිලියන 4ක් ගත වෙනවා.” ඔහු තවදුරටත් පැහැදිලි කරනවා.

ඔහුගේ අදහසේ හැටියට මෙය මේ සියවසේ කෙරුණු වඩාත් විස්මිත සොයා ගැනීමක්. ”මෙතෙක් පිළිගෙන තිබූ අයින්ස්ටයින්ගේ විශ්ව න්‍යායට පවා එයින් අභියෝගයක් එල්ල විය හැකියි. මෙය විශ්වය පිළිබඳ මෙතෙක් ලබා ඇති දැනුම පෙරළියකට ලක් කරන්නක්. විශ්වය අප සිතා සිටියාට වඩා බොහෝ සේ වෙනස් බව මෙයින් පෙනී යනවා.” ඔහු කියනවා.

”දැන් අපේ කණ්ඩායම මේ වගේ තවත් ඒවා ඇත්දැයි සොයා බලමින් සිටිනවා.” ඔහු වැඩිදුරටත් කියනවා.

 
ක්වෝසාර 73කින් යුත් මේ යෝධ ව්‍යුහය අහසේ විසිර ඇති අයුරු දැක්වෙන සටහනක්.

නවින විශ්ව න්‍යායට පදනම් වි ඇත්තේ ඇල්බට් අයින්ස්ටයින්ගේ සංකල්පයන්. ඒ ගණනය කිරීම් අනුව නව විශ්ව විද්‍යාවේ (Cosmology) පිළිගැනීම වන්නේ තාරකා භෞතික විද්‍යාඥයන්ට කිසිදාක ආලෝක වර්ෂ බිලියන 1.2කට වැඩියෙන් විශාල ව්‍යුහයන් සොයා ගත නොහැකි බවයි.

මේ නව ක්වෝසාර කාණ්ඩය සොයා ගෙන ඇත්තේ අහසේ ලියෝ තරු පන්තිය දෙසින්. හවායි දුපතේ ස්ථාපිත කර ඇති එක්සත් රාජධානියට අයත් අධෝරක්ත කිරණ දුරේක්ෂය භාවිත කරමින්. ඊට නම යොදා ඇත්තේ එම ක්වෝසා්ර සොයා ගත් ව්‍යාපෘතිය අනුව යමින්.

 
අපේ මන්දාකිණිය හෙවත් ගැලැක්සිය - මේ ක්ෂීර පථයයි. පෘථිවියෙහි සිට අපේ කිට්ටුම අසල්වැසියා වූ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියට ඇති දුර ආලෝක වර්ෂ 2.5ක්. දැන් විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති නව ව්‍යුහයේ දිග පමණක් ආලෝක වර්ෂ බිලියන 4ක්.

Post a Comment

5 Comments

  1. "ආලෝකයේ වේගයෙන් ගියොත් අනෙක් අන්තය දකින්නට ආලෝක වර්ෂ බිලියන 4ක් ගත වෙනවා."

    - ආලෝකේ වේගයෙන් ගියොත් වර්ෂ බිලියන 4ක් වෙන්න ඇති නේද

    ReplyDelete
  2. හප්පේ............. නියම තොරතුරක්

    ReplyDelete
  3. මිස්ටර් එක්ස්, ඔබ හරි මුලට ආලෝකයේ වේගයෙන් කිව්වොත් ඊළඟ තැනේ දි ආලෝක වර්ෂ කියන්න අවශ්‍ය නෑ. එතැන තියෙන්න ඕනෙ වර්ෂ විතරයි. වරද පෙන්නා දුන්නාට ස්තුතියි.

    ReplyDelete
  4. වර්ෂ - කාලය මනින ඒකකයක්
    ආලෝක වර්ෂ - දුර මනින ඒකකයක්

    ReplyDelete