HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අන්තර්ජාලය නිසා ළමයින්ගේ නිර්මාණශීලිත්වය මොට වෙනවා! ලෝක ප‍්‍රකට නව නිපැයුම්කරුවෙන් කියනවා!

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රමුඛ පෙළේ නව නිපැයුම්කරුවෙක් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා, අන්තර්ජාලය ළමයින්ගේ මොළය අකි‍්‍රය කරනවාය, ඒ නිසා අනාගත පරපුර, ඒ කියන්නේ ගූගල් පරම්පරාව, නිර්මාණශීලීත්වයෙන් ඈත්ව යනවාය කියා.

මෙහෙම කියන්නේ ටෙ‍්‍රවර් බේලිස් (Trevor Baylis) කියන ලෝක ප‍්‍රකට නිර්මාණකරුවායි. (ඔහු තමයි, වයින් කරන ගුවන් විදුලිය ලොවට දායාද කළේ. විදුලිය හෝ බැටරි හෝ නැති ප‍්‍රදේශවල දී පාවිච්චි කළ හැකි ඒ ගුවන් විදුලි යන්ත‍්‍රය පමණක් නොව ආබාධිත අයට ප‍්‍රයෝජනවත් නිර්මාණ රැසක් ඔහුගේ නමට තියෙනවා.)

ඔහු පවසන විදියට ළමයින්ගේ නිර්මාණශීලීත්වය විතරක් නෙවෙයි, ප‍්‍රායෝගික කුසලතාව ද දැන් ළමයින් අන්තර්ජාලයට ඇබ්බැහි වීම නිසා දැන් වියැකෙමින් පවතිනවා.

75 හැවිරිදි වියේ පසුවන ඔහු කියන්නේ නව ළමා පරපුර ගූගල් තිරයේ ඇස් අලවා ගෙන සියල්ල පහසුවෙන් එතැනින් ලබා ගෙන ජීවිතය ගෙන යාමේ පුරුද්ද නිසා ඊළඟ පරම්පරාවට නව නිපැයුම්කරුවන් අහිමි වී යන බවයි. ඔවුන්ට තමන්ගේ ඇඟිලි තුඩු මෙහෙයවා යමක් නිර්මාණය කිරීමේ හැකියාවක් නැති බවයි.

 
වයින් කරන රේඩියෝව නිපදවූ බි‍්‍රතාන්‍ය ජාතික නිර්මාණකරුවා - ටෙ‍්‍රවර් බේලිස්.

ඔහු යෝජනා කරනවා, ළමයින්ට ඔවුන්ගේ සැඟවුණු කුසලතා යළි හඳුනගන්න මිකැනෝ (Mecanno) සෙට් හා එවැනි ප‍්‍රායෝගික සෙල්ලම් බඩු පාසල්වලදිවත් භාවිතයට ගන්න කියලා.

බේලිස් කියන්නේ, ”ළමයින් අත්වලින් ඇඟිලිවලින් කරන වැඩට හුරු කරන්න ඕනෑ. පමණට වඩා ජංගම දුරකතනවලට, පරිගණකවලට ඇබ්බැහි වෙන එක නතර කරවන්න ඕනෑ.

”ඔවුන්ට පරිගණකය පාවිච්චි කරන්න දෙන්න ඕනෑ, එය අත්‍යවශ්‍යම විට පමණයි. ඒත් දැන් එහෙම නැහැ. දැන් කීදෙනෙක් නම් ඔවුන්ගේ පරිගණක ඉදිරියේ වැඩිවෙලා කී‍්‍රඩාවල යෙදෙමින් ඔවුන්ගේ මුළු කාලයම ගෙවනවද? ඔවුන් බඩටවත් ව්‍යායාමයක් දෙන්නේ නෑ.

”ඔවුන් ගූගල් සෙවුම්වලින් තමයි යැපෙන්නෙ. මේ තරම්ම අන්තර්ජාලයෙන්ම යැපෙන්න ගියොත් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය නැතිව යන්න පුළුවන්. ඉස්සර ක‍්‍රමයට නිපැයුම් කරන්න ඔවුන්ට බැරි වේවි.”

එංගලන්තයේ මිඞ්ල්සෙක්ස්හී සවුත්හෝල්වල ජීවත්වෙද්දී ඔහු ගත කළ ඔහුගේ අතීතය මතක් කරමින් කීවේ ඔහු එදා ජීවත් වූ ලෝකය අදට වඩා වෙනස් වූ බවයි. ඔහු යම් යම් නිපැයුම් කළේ වයස අවුරුදු පහේදි හයේදි විතරයි.
”දවසක් මට නිවෙස අසල විසූ වැඩිමහලූ කාන්තාවක් කීවා, විල්බැරෝ එකක් ගේන්න මට යමක් දෙන්න තියෙනවා කියලා. මං ගියාම එයා මට ලොකු පෙට්ටියක් දුන්නා. මං ගෙදර ඇවිල්ල බැලූවාම ඒ පෙට්ටිය ඇතුළේ තිබුණේ ලොකු මිකැනෝ සෙට් එකක්.”

 
ටෙ‍්‍රවෝ බේලිස් කියන්නේ අද ළමයින් පමණට වඩා ගූගල් සෙව්ම්වලට ඇබ්බැහි වී ඇති බවයි.

”ඒකෙන් මට අවශ්‍ය හැම දෙයක් ම හදන්න මට පුළුවන් වුණා. රෝද පහේ මෝටර් රථයක්, ෆෝක්ලිෆ්ට් ට‍්‍රක් එකක් ආදී හැමදෙයක් ම මම තනිවම හැදුවා. ඒ මිකැනෝ සෙට් එක මගේ නිර්මාණ කුසලතා වැඩි කරමින් මගේ ජීවිත කාලය පුරා ම ප‍්‍රයෝජනවත් වුණා.” ඔහු කියනවා.

ලොවට කළ මෙහෙය වෙනුවෙන් 1997 දී එංගලන්ත මහ රැුජිනගේ ඉහළම සම්මානයට පවා පාත‍්‍ර වූ ඔහු පවසන්නේ මේ මිකැනෝ වැනි නිර්මාණ කට්ටල පාසල්වල භාවිතයට ගැනීමෙන් ළමයින්ට මිල කළ නොහැකි කුසලතා වර්ධනයක් ඇති කර ගත හැකි බවයි.

”මේ මිකැනෝ සෙට් එකකින් ඕනෑම දෙයක් ඔබට නිර්මාණය කළ හැකියි. ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි වරායේ පාලම වුනත් නිර්මාණය කළ හැකියි.” කියන ඔහු මිකැනෝ කට්ටලය පාසල්වල භාවිතයට ගත්තොත් පන්ති අතර තරගයක් වුනත් තියන්න පුළුවන්. ”පැය හතරක කාලයක් දීලා ඒ පාලම හදන්න. බලමු, අපි කවුද ශක්තිමත් ම පාලම හදන්නේ” කීවොත් එයින් ළමයින් අතර කුසලතා වර්ධනයක් විතරක් නෙවෙයි ඔවුන් තුළ ප‍්‍රබෝධයකුත් ඇති කළෑකි කියලයි ඔහු කියන්නේ.

බේලිස්ගේ නව නිපැයුම් බොහොමයක් ම ලෝකයේ දිළිඳු ජනයාගේ හා ආබාධිත ප‍්‍රජාවගේ යහපත වෙනුවෙන් කළ ඒවායි. අතින් වයින් කරන රේඩියෝවත්, විදුලි බලය හෝ බැටරි නැති නගරවලින් බැහැර පළාත්වල වෙසෙන දුප්පත් අයගේ ප‍්‍රයෝජනයට කළ නිපැයුමක්. අපි‍්‍රකාවේ පිටිසර වෙසෙන ඒඞ්ස් රෝගීන් දැනුවත් කිරීමේ වැඩ සටහනකට උදවු වෙන්නයි ඒ ගුවන් විදුලි යන්ත‍්‍රය නිපදෙව්වේ.

ඔහු මෙවැනි සමාජ මෙහෙවරකට යොමු වුණේ අහම්බෙන්. 1970 ගණන්වල ඔහු බර්ලින් සර්කස් කණ්ඩායමේ සාමාජිකයකු හැටියට විස්මිත කි‍්‍රයාවල යෙදුණු කෙනෙක්. එහි ඔහු ආදරය කළ සුරූපිනියක් හිටියා. වියානවෙන් පැමිණි ඇය ඒ කණ්ඩායමේ ගුවන් බැලේ සංදර්ශිකාවක් ලෙසයි දස්කම් පෑවේ.

”එක රැයක, ඇය අහසේ රැඟුම් පාද්දී එක් කරණමක් අවසානයේදී වැරදීමකින් ආරක්ෂක දැලෙන් පිට පැන අනතුරට පත්ව මිය ගියා. මගේ හිත හොඳට ම පෑරුණා. මට එක වර ම තේරුණා යමකු ආබාධිත කරන්න කෙසෙල් ලෙල්ලක් වුනත් ප‍්‍රමාණවත් කියලා. ඒ සිද්ධිය මගේ ජීවිතය වෙනස් කළා.”

අවිවාහකයකු වශයෙන් වෙසෙන ඔහු තවමත් නව නිපැයුම්වල යෙදනවා. විශේෂයෙන් ම ආබාධිත අය වෙනුවෙන්. නිරිතදිග ලන්ඩනයේ ට්විකන්හැම්හි පිහිටි ඔහුගේ නිවසේ ඔහු වැඩපොළක් පවත්වා ගෙන යනවා. නව නිපැයුම්කරුවන්ට අතහිත දෙන්න, ඔවුන්ගේ අයිතීන් සුරකින්න ඔහු සිය වටිනා කාලයෙන් කොටසක් වෙන්නර තියෙනවා.

නව නිපැයුම්කරුවකු හැටියට බේලිස් මහතා දක්වන අදහස් මේ කාලයේ ගුරුවරුන්ට වගේ ම දෙමාපියන්ටත් එකසේ වැදගත් කියලයි, අපට හිතෙන්නෙ. ඒ නිසා අන්තර් ජාලයේ ගත කරන කාලයෙන් කොටසක් වැය කරලා ‘වැඩ කිට්’ එකක් එක්කත් ගත කරන්න ඔබේ දරුවාත් යොමු කරන්න ඔබට පුළුවන් නම් බේලිස් මහතා කියන අනතුරෙන් ඔබේ දරුවා ගලවා ගන්න ඔබටත් හැකි වේවි.

Post a Comment

3 Comments

  1. මගේනං නිර්මාණසීලීත්වය තිබ්බට වඩා වැඩි උනා කිවුවොත් හරි...

    ReplyDelete
  2. කරුණා කර මෙවැනි දේවල් දමන විට ලංකාවේ මිනිස්සුන්ගේ , විශේෂයෙන් ම දෙමවුපියන්ගේ මානසිකත්වය ගැන පොඩ්ඩක් හිතලා බලන්න .. උදේ ඉදල රෑ වෙනකන් ටියුෂන් ක්ලාස් වල හිරකර ඇති අපේ ළමා පරපුරට දැනට තියෙන අස්වසිල්ලත් නැති වේවි

    ReplyDelete