HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න! පළමුවරට කැමරාවට නැඟුණු යෝධ දැල්ලා!

ජපන් සිනමා කණ්ඩායමක් මුහුද යට උගේ වාසබිමටම ගිහිල්ලා මේ දැල්ලා කැමරාවට අල්ලා ගත්තා!

මෙතෙක් අප දැන සිටියේ මේ යෝධ දැල්ලන් ගැඹුරු මුහුදේ සැඟවී සිට හදිසියේ මතුපිටට විත් පහර දෙන බිහිසුණු සතුන් විශේෂයක් ලෙස ඔවුන් පිළිබඳ ගෙතුණු කතාවලිනුයි.

නෝර්වේ අවට මුහුදේ ක‍්‍රාකන් (Kraken) නමින් යෝධ දැල්ලකු විසූ බවත් ඌ ඒ මුහුදේ යාත‍්‍රා කළ නැව් හා නැවියන් අල්ලා විනාශ කළ බවත් ඒ දැල්ලා වටා ගෙතුණු කතාවලින් කියැවුණා.

මෙතෙක් යෝධ දැල්ලා, කතා කියන්නන්ගේ මෙන්ම ස්වභාවවිද්‍යාඥයන්ගේත් සිත් ඇදගත් මාතෘකාවක් වුණත් දැන් ප‍්‍රථම වරට අපට ඌව උගේ ජීවන පරිසරය තුළම දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා.

මේ ස්වර්ණමය අවස්ථාව අපට ලැබිලා තියෙන්නේ ජපන් ජාතික සිනමා කණ්ඩායමක් ඌ සොයා මුහුද යටට ගිය ගවේෂණ චාරිකාවක් නිසයි.

තිදෙනකු රැගෙන යා හැකි කුමුදුවකින් උතුරු පැසිපික් සාගරයේ පත්ල නිරීක්ෂණය කරද්දී අඩි 2066ක් (මීටර 630ක්) පමණ ගැඹුරේදී දැල්ලා කැමරාවට අල්ලා ගන්නට ඔවුන් සමත් වෙලා තියෙනවා. ඒ සතාව වීඩියෝ ගත කළ පළමුවන වතාව මෙයයි.

 
අඩි 10ක් දිග මේ යෝධ දැල්ලා හමු වී ඇත්තේ උතුරු පැසිපික් සාගරයේදියි.

මේ හමුවීම අහම්බෙන් වුණු දෙයක් නෙවෙයි. මේ කණ්ඩායම මෙහෙයුම් වාර 100ක් හා පැය 400ක් ගත කරලයි අවසානයේ යෝධ දැල්ලා කැමරාවට අල්ලා ගත්තේ. මේ සතා තමයි, ලෝකයේ දැවැන්තම අපෘෂ්ඨවංශිකයා.
ඔවුන්ට හමු වූ සත්වයා මීටර 3ක් (අඩි 10ක්) දිගයි. ඔවුන් සමත් වුණා ඌ පසුපස මීටර් 900ක් විතර හඹා යන්න. ඉන්පසු ඌ සාගර අගාධයේ සැඟවී ගියා.

ජපානයේ ජාතික විද්‍යා කෞතුකාගාරයේ විද්‍යාඥ ත්සුනෙමි කුබෝදෙරා කියා සිටියේ ඌ ‘ඉතාමත් දීප්තිමත් අලංකාර සත්වයකු’ බවයි. ඌ පෙනුනේ හරියට වානේවලින් වාත්තු කළ සතෙක් වගෙයි.

ඔහු සහ ඔහුගේ කණ්ඩායමත් ඉතා සාර්ථකව එය වීඩියෝ ගත කිරීමට සමත් වූ බව කුබෝදෙරා කියා සිටියේ සතුටින් ඉපිලෙමින්. ඔවුන් සමග එම අවස්ථාවට ජපානයේ එන්එච්කේ රූපවාහිනී ආයතනයේ විස්තර විචාරකයෙකු හා ඇමරිකාවේ ඩිස්කවරි චැනලයේ නියෝජිතයෙකුත් එක්ව සිටි අතර ඔවුන්ගේ නොමඳ සහය එම කාර්යයට ලැබුණු බව ඔහු කීවා.

ආකිටෙවුතිස් (Architeuthis) නම් මේ යෝධ දැල්ලන් විශේෂය වෙනත් දැල්ලන්, ග්රෙනේඩියර් මසුන් වැනි සතුන් ආහාරයට ගන්නවා. ඒ වාගේම ඔවුනුත් යෝධ ස්පර්ම් තල්මසුන්ගේ ආහාර ලෙසට ගෙදුරු වෙනවා.
ඒ බව තල්මසුන්ගේ සිරුරවල තිබූ තුවාලවලින් විවිධ අවස්ථාවල නිරීක්ෂණ කරල තියෙනවා.

 
කිමිදුම් කණ්ඩායම යෝධ දැල්ලා පසුපස අඩි 2,953ක් (මිටර 900) ගැඹුරට කිමිදුණා. ඉන් එහාට වේගයෙන් ඇදී ගිය ඌ අඳුරු අගාධයේ අතුරුදන් වුණා.

බොහෝ විට යෝධ දැල්ලාත් තල්මසාත් අතර සටනක් ඇති වෙනවා. දැල්ලා සිය දිග අඬුවලින් තල්මසාට තුවාල කරනවා. තල්මසා දැල්ලා ගිල්ලත් ඌ තල්මසාගේ උදරයටත් හානි කරනවා. අවසානයේ දී දෙදෙනාම මිය යනවා.

1965 දී තල්මස් දඩයමේ ගිය අයකු දැකල තියෙනවා, ටොන් 40ක තල්මසෙක් හා යෝධ දැල්ලකු එකට පැටලිලා මාරාන්තික සටනක යෙදෙනවා. පසුව බලන විට දෙදෙනාම එකට මැරිලා උන් බවට වාර්තා වුණා.

 
පැරණි ප‍්‍රවාදවල සඳහන්ව ඇත්තේ ක‍්‍රාකන් නම් රාක්ෂ දැල්ලා මුහුදේ යන එන නැව්වලට පහර දුන් බවයි.

1874 දී මෝසස් හාවී පියතුමා විසින් යෝධ දැල්ලකුගේ පළමු ඡායාරූපය ගත් බවට වාර්තා වෙනවා. එතුමා නිවුෆවුන්ඞ්ලන්ඞ්හී ජීවත් වූ ස්වභාවවේදියෙක්. ඒ වගේම ලේඛකයෙක්. ධීවරයකු විසින් වැරදීමක් අල්ලා තිබූ යෝධ දැල්ලකු එතුමා විසින් මිල දී ගෙන තිබුණා. එතුමා ගත් ඡායාරූපය ඒ දැල්ලාගෙයි.

මේ යෝධ දැල්ලන්ගේ මිය ගිය සිරුර ඉඳහිට වෙරළට ගසා ගෙන ආ බව වාර්තා වුණා. ඒත් 2004 නිශ්චල ඡුායාරූප කිපයක් ගන්නා තෙක් ඡායාරූපයට නඟා තිබුණේ නෑ.

ඉන් වසර දෙකකට පසු කුබෝදෙරා පිරිසක් සමග පර්යේෂණ නෞකාවකින් යෝධ දැල්ලකු රූගත කිරීමට ගියා. ඇමක් යොදා සාගරය මතුපිටට ගෙන යෝධ දැල්ලකුගේ ගැහැනු සතකු කැමරාවට නඟන්න ඔවුන් එදා සමත් වුණා. ඒ එවැන්නක් කළ පළමු වතාවයි.

මෙවර මුහුද යට යෝධ දැල්ලා ජීවත්වන ස්වාභාවික පරිසරයේ ම රූගත කිරීමක් සිදු වුණේ මේ කුබෝදෙරාගේ දෙවැනි ගමනේදියි. ඒ වතාවේ තමයි, ඔවුන් තුන්දෙනකුට පමණක් යා හැකි විශේෂ කුමුදුවකින් දියයට ගියේ.

ඩිස්කවරි නාලිකාවේ හා ටීඑල්සී අධ්‍යාපන නාලිකාවේ සමූහ සභාපති අයිලීන් ඕ’නීල් කියන්නේ, ”මේක ඇත්තේන්ම සුවිශේෂ සිදුවීමක්. යෝධ දැල්ලකු පණ පිටින් උගේ ස්වාභාවික ජීවන පරිසරයේ දී පළමු වතාවටයි, මෙසේ රූගත කර තියෙන්නේ” කියායි.

සාහිත්‍යයේ මේ යෝධ දැල්ලන් ගැන සඳහන්ව ඇත්තේ බෝට්ටුවලට පහර දෙන බිහිසුණු රකුසු විශේෂයක් හැටියටයි. ඒත් තාම ඒක නම් ඇත්තක්දැයි දැන ගන්න ලැබිලා නෑ.

ඇත්තෙන්ම මේ යෝධ දැල්ලන් කියන්නේ ශීර්ෂපාදිකයන් විශේෂයක්. මේ යෝධ දැල්ලාගේ ඇති ලොකුම විශේෂත්වය නම් සත්ව ලෝකයේ ඇති විශාලතම ඇස් දෙක මේ සතා සතුවීමයි.

ස්මිත්සෝනියන් ස්වභාව විද්‍යා ජාතික කෞතුකාගාරයට අනුව මේ තාක් හමු වී ඇති විශාලතම යෝධ දැල්ලාගේ දිග මීටර 13ක් (අඩි 43ක්).

යෝධ දැල්ලාට අත් අඬු අටක් තියෙනවා. එයින් අඬු දෙකක් අනික්වාට වඩා දිගයි. ඒවායින් අල්ලා ගෙන සතකුගේ සාරය උරා බොන්නට ඌට පුළුවන්. ඒ වගේම ඒ අඬුවල ඇති තියුණු දත්වලින් අල්ලා ගෙන මුව තුළට රුවා ගෙන විකා දමන්නත් පුළුවන්.

පහසුවෙන් දැක ගත නොහැකි යෝධ දැල්ලකුගේ මුල්වරට කැමරාවට නැඟුණු දර්ශන නරඹන්න!


Post a Comment

3 Comments

  1. GODAK HODA BLOG EKAK ETH ME WAGE WADAGATH LIPI WALATA KAURUTH COMENT KARANNE NA

    ReplyDelete
  2. අපිට පේන්නේ නැතිව ඔයිට වඩා ලොකු අයත් ඇති!

    ReplyDelete
  3. mmm ow. thawa loku aya athi. habahin daka ganna thiyenawanm godak hodai.

    ReplyDelete