සිංහල සිනමාව අද 66 වසරක් සපුරයි. එදා අපේ ප‍්‍රථම නිළිය වූ රුක්මණී දේවිට සිංහල අකුරක්වත් කියවන්න බැහැ!

සිංහල සිනමාවට අදට අවුරුදු 66ක්. මුලින් ම සිංහල චිත‍්‍රපටයක් මෙරට සිනමා හල්වල ප‍්‍රදර්ශනය වූයේ 1947 ජනවාරි 21 වැනිදායි. ‘කඩවුණු පොරොන්දුව’ නම් වූ එම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කෙරුණේ කොළඹ කිංස්ලි සිනමා ශාලාවේදියි.

1946 දී ඉන්දියාවේ මදුරෙයි නගරයේ දී එහි නිෂ්පාදන කටයුතු ඇරඹුණේය. එහි අධ්‍යක්ෂවරයා වූයේ බෙංගාලි ජාතික ජ්‍යෝතිශ් සිං ය. සංගීත අධ්‍යක්ෂ වූයේ දකුණු ජාතිකයකු වූ නාරායන අයියාර් ය. එහි නිෂ්පාදකයා වූයේ එස්. එම්. නායගම් ය. (මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් 2012 ජනවාරි 21 වැනිදා ‘මල් කැකුළු’ තුළින් ‘සිංහල සිනමාව’ නම් ලිපියෙන් ඉදිරිපත් කළා.)

‘කඩවුණු පොරොන්දුව’ චිත‍්‍රපටයට පාදක වූයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ මිනර්වා නාට්‍ය සමාගමේ ඒ නමින් ජනපි‍්‍රය වූ නාට්‍යයයි. රටපුරා දර්ශන වාර 800ක් පමණ පෙන්වූ ජනපි‍්‍රය නාට්‍යයක් වූ එහි ප‍්‍රධාන චරිතය රඟපෑවේත් රුක්මණී දේවියමයි.

රුක්මණී දේවිය අපේ ප‍්‍රථම සිනමා නිළිය වන්නට පෙර මෙරට වේදිකාවේ සිටි ජනපි‍්‍රය ම නිළිය ද වෙනවා. රුක්මණී දේවිය ලෙස වේදිකාවට එන්නට පළමු ඇය හැඳින් වුණේ ඬේසි ඩැනියෙල්ස් කියන නමිනුයි. හරියටම කියනවා ඬේසි රාසම්මා ඩැනියෙල්ස්. ඇය උපන්නේ නුවරඑළියේ රම්බොඩදීයි.

ඔබ පුදුම වේවි, අපේ ප‍්‍රථම සිංහල චිත‍්‍රපට නිළියට සිංහල අකුරක්වත් කියවන්න ලියන්න බැහැයි කීවාම. ඒත් ඒක සම්පූර්ණ ඇත්තයි! ඇය පාසල් අධ්‍යාපනය ලබා තිබුණේ ඉංගී‍්‍රසි භාෂාවෙන්. සිංහල නොවන පවුලකට අයත් වූ ඇය සිංහල අකුරු කියවීමට, ලිවීමට දැන සිටියේ නැත. ඒ නිසා ම ඇය මුළු ජීවිත කාලය පුරා ම සිංහල දෙබස් උච්චාරණය කළේ ඉංගී‍්‍රසි අකුරින් ලියා ගෙනයි. ගීත ගායනය ද ඇය කළේ සිංහල අකුරුවල උච්චාරණය ඉංගී‍්‍රසි අකුරින් ලියා ගෙනයි.


එහෙත් ඒ බවක් ඇය පේ‍්‍රක්ෂකයන්ට හා ශ‍්‍රාවකයන්ට දැනෙන්නට හැරියේ නැහැ. මුල් යුගයේ තිබූ මිශ‍්‍ර සිංහල ගැඹුරු වදන් හොඳින් ඉගෙන, හොඳින් පුහුණු වී සිංහල කාන්තාවක සේ උච්චාරණය කරන්නට ඇය සමත් වීම එක්තරා විධියක විස්මය දනවන්නක්.

ඇය කටහඬ මුල්වරට ගීයකින් අසන්ට ලැබුණේ එච්.එම්.වී. තැටියකින්. ඒ 1939 දී එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සමග ගැයූ ‘සිරි බුද්ධගයා විහාරේ’ නම් ගීතයෙනුයි.

1978 දී ජා-ඇළ තුඩැල්ලේදී සිදු වූ රිය අනතුරකින් මියගියා. වසර 55ක් වැනි කෙටි ජීවිත කාලයක් තුළ ඇය ඉතිරි කර ගිය දසක හතරක වින්දනීය මතක සටහන් එක්කළ අපූරු නිර්මාණයක් තියෙනවා.

ඇය ගැන කළ ඒ අපූරු මතක සටහන හැඳින්වෙන්නේ ‘රූප ඡුායා’ නමින්. දිවංගත සිනමාවේදී තිස්ස අබේසේකරයන් විසින් රජයේ චිත‍්‍රපට අංශය වෙනුවෙන් තමයි, එය නිෂ්පාදනය කර තියෙන්නේ. රුක්මණී දේවියගේ මධුර මනෝහර කටහඬත් තිස්ස අබේසේකරයන්ගේ චිත්තාකර්ෂණීය කටහඬත් එකට අහන්නට ලැබෙන එකම තැන එතැන විතරයි.

අද අන්තර් ජාලය හරහා එය ඔබටත් එය වින්දනය කිරීමට අවස්ථාව ලැබී තියෙනවා. ‘රුක්මණී දේවි - රූප ඡායා’ නමින් එය සකසා පසුබිම් කථනය ලියා ඔහුගේ ම හඬින් එය සරසන්නට ශී‍්‍ර ලංකාවේ සිටි ප‍්‍රශස්ත සිනමාවේදියකු වූ තිස්ස අබේසේකරයන් ඉදිරිපත් වීම අපේ වාසනාවක්.

ඉතා කෙටි වුවත් මේ නිර්මාණය ළයාන්විත සුවිශේෂ එකක් වූයේ ඒ නිසයි. එයින් ඔබට සිංහල සිනමාවේ මතක සටහන් ද නරඹන්න පුළුවන්. කොටස් තුනකින් අන්තර්ජාලයට මුදා හැර ඇති එහි මුල් කොටසෙන් ‘කඩවුණු පොරොන්දුව’ චිත‍්‍රපටයේ කොටස් කීපයක්, රුක්මණී දේවිය එදා මුල් ම ගීතය ගැයූ එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සමග පසු කලෙක එම ගීය ගැයූ අවස්ථාවකුත් දැක ගන්න පුළුවන්.


එහි ඊළඟ කොටසින් සිංහල සිනමාවට නැඟුණු මුල්ම නවකතාව ඩබ්ලියු. ඒ. සිල්වාගේ ‘කැළෑහඳ,’ ඓතිහාසික නවකතාවක් වූ ‘දෛවයෝගය,’ සිංහල රජ දවසේ පෙම්පුවතක් වූ ‘දස්කොන්,’හී ඇය රඟපෑ ප්‍රෙමිලා බිසවගේ චරිතයත් දැක ගන්න පුළුවන්. ඒ එක්කම රුක්මණී දේවියගේත්, ඇය තිරයට ගෙනා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේත්, අවසාන සිංහල චිත‍්‍රපටය වූ ‘මගුල් පෝරුව’ චිත‍්‍රපටයේ දර්ශනයක් සමග රුක්මණීදේවිය වැඩිහිටි චරිතයක් රඟපෑ එකම චිත‍්‍රපටය වූ ‘පාරාවළලූ’ දර්ශනයකුත් ඔබට දැක ගන්න පුළුවන්.

එහි අවසාන කොටසින් රුක්මණී දේවිය අවසන් ගමන් ගිය අවස්ථාව ඔබට දැක ගත හැකියි. එහි දී ‘කැළෑහඳ’ චිත‍්‍රපටයේ මාලිනී ලෙස රඟපාමින් ඇය කළ රංගනයත් රුක්මණීදේවියගේ අවමඟුලේ දර්ශනත් සමග අන්තර්ෙඡ්දනය කර තිබෙනු ඔබට පෙනේවි. ඒ චිත‍්‍රපටයේදී ම මොහිදීන් බෙග් ගැයූ ‘මායා! මායා! කෝ සැපතා මේ සංසාරේ’ ගීතය රුක්මණී දේවියගේ අවසන් ගමන සනිටුහන් කිරීමට පසුබිමින් යොදා ගෙන ඇති අන්දම තිස්ස අබේසේකරයන්ගේ ප‍්‍රතිභාව විදහා පාන්නක් ලෙසයි, මම දකින්නේ.

- පර්සි ජයමාන්න



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. හොද ලිපියක් හොදේ.. ස්තුතියි...

    ReplyDelete