‘අයිසන්’ නමින් හඳුන්වා ඇති මේ ධූම කේතුව දහවල් කාලයේ දීත් අහසේ දීප්තිමත්ව පෙනෙනු ඇතැයි තාරකා විද්‍යාඥයන් කියනවා.
මෙය මෙතෙක් දක්නට ලැබුණු දීප්තිමත්ම වල්ගාතරුව වනු ඇති. පළමු වතාවට සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇතුළතින් ගමන් කරන එය මේ වසර අග නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී උතුරු අර්ධගෝලයේ අහසෙහි දීප්තිමත් ම දර්ශනය මවමින් සූර්යයා දෙසට ගමන් කරනු ඇති.
මේ වසරේ අහසේ දක්නට ලැබෙන අසිරිමත්ම දෙය සැලකෙන්නේ අයිසන් නම් වල්ගා තරුවයි. එය 1997 දී පෑයූ ඉහත දැක්වෙන හැලි-බොප් වල්ගා තරුවටත් වඩා දීප්තිමත්ව පෙනෙනු ඇති.
ගිය සිය වසේ පෑයූ සියලූ ම වල්ගා තරුවට වඩා දීප්තිමත් මෙය දහවල් කාලයේ දී අහසේ දැක ගත හැකියි. මේ එය සෞර ග‍්‍රහ මණ්ඩලය වෙත එන එකම හා අවසාන ගමන වනු ඇති. එහි ගමන් මග ගැන විමසීමේ දී තාරකා විද්‍යාඥයන්ට පෙනී ගොස් ඇත්තේ මේ ගමන අවසානයේ දී එය සූර්යයා වෙත ඇදී ගොස් විනාශ වන බවයි.
දැනට එය බ‍්‍රහස්පති ග‍්‍රහයා පසු කර පෘථිවිය දෙසට එමින් සිටිනවා. පොළොවට ළං වන විට තව තවත් ධූලිවලා එක් රැස් කර ගනිමින් මේ ‘කුණු අයිස් බෝලය’ට හිරු එළිය වැටීමෙන් එහි වේගය නිසා විසිරී ඒ පසුපසින් විහිදුණු වල්ගය ඉතා දීප්තිමත්ව පොළොවට දිස්වෙනු ඇති.
හැලි-බොප් වල්ගා තරුව ඇලැස්කාට ඉහළින් දිස්වූයේ මෙසේයි. මේ වසර අගදී පායන අයිසොන් වල්ගා තරුව මීටත් වඩා දීප්තිමත්ව පායනු ඇති.
මෙය මුලින් ම දැක හඳුනා ගෙන ඇත්තේ රුසියානු තාරකා විද්‍යාඥයන් දෙපොළක් විසිනුයි. මෙහි අවට තරු අතර යෙදූ ඉරි දෙකෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් මේ ‘අයිස් බෝලය’ දුටු අයුරුයි.
තාරකා විද්‍යාඥ ආචාර්ය ඬේවිඞ් වයිට් හවුස් කියන විදියට මෙය පියවි ඇසට පෙනෙන්නට පටන් ගන්නේ මේ වසරේ නොවැම්බර් මාසයේ අග හරියේදියි.
”මේ වල්ගා තරුව සූර්යයා වටා වේගයෙන් යන්න පටන් ගන්නවා. මේ ගමනේ දී සූර්යයාට සැතැපුම් මිලියන දෙකක් පමණ ළඟින් යනවා. කිසිම ග‍්‍රහලෝකයක් එතරම් සූර්යයාට ළංවී නැහැ. මෙය සැඳෑ අහසේ ධ‍්‍රැව තාරකාවට ආසන්නයෙන් දැක ගත හැකියි.
”මේ වල්ගා තරුව පියවි ඇසින් මාස කීපයක් තිස්සේ දැක ගත හැකියි. සූර්යයාට හොඳටම ළං වන විට මෙය දීප්තියෙන් වැඩි වන නිසා ඒ අවස්ථාවේදී කෙළින්ම ඒ දෙස බලන එක ඇසට අනතුරුදායක විය හැකියි.” ඔහු වැඩිදුරටත් කියනවා.
මේ ධූම කේතුව හඳුනාගෙන ඇත්තේ රුසියාවේ ස්ථාපිත කර ඇති ‘අන්තර්ජාතික විද්‍යාත්මක ප‍්‍රකාශ ජාලය’ යන අරුතින් ‘ඉන්ටර්නැෂනල් සයන්ටිෆික් ඔප්ටිකල් නෙට්වර්ක්’ (International Scientific Optical Network) නම් දුරේක්ෂ පද්ධතියට අයත් දුරේක්ෂයකිනුයි. මෙය ‘අයිසොන්’ කියා නම් කර ඇත්තේ එය සොයා ගැනීමට ආධාර වූ එම පද්ධතියට භාවිත කෙටි නම අනුව යමිනුයි.
ධූම කේතුව ගමන් කරන පාරවලයික කක්ෂය නිසා මෙය සෞරග‍්‍රහ මණ්ඩලයේ පිටත කොටසින් වෙන් වී ආ එකක් ලෙස සැලකිය හැකියි. සමහර විට මෙය ඌට් වලාවෙන් මිදී ආ එකක් විය හැකියි. ඌට් වලාව හිම සහිත සුන්බුන්වලින් සැදි එකක් වන අතර පෘථිවියේ සිට හිරුට ඇති දුර මෙන් පනස් ගුණයක් දුරින් සෞරග‍්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේ පිහිටා ඇති එකකි.
මේ අපට පායපු තවත් ධූමකේතුවක්, හැලි-බොප්. එහි චුම්බක ආරෝපිත අංශූන් නිසා එක් වල්ගයකුත් දූවිලි හා වෙනත් කැබලි එක්ව තවත් වල්ගයකුත් වල්ගා දෙකක් සුර්යයාගෙන් පිටතට විහිදී තිබෙනු දැක ගත හැකි වුණා.
මේ ගමනේ දී හිරුට හසු වී විනාශ නොවුණොත් මේ අයිසොන් වල්ගා තරුව නැවත වතාවක් සෞරග‍්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තර කොටස දෙසට එනු ඇත්තේ තවත් වසර දහස් ගණනකට පසුවයි.
මේ ධූම කේතුව බ‍්‍රහස්පතීගේ කක්ෂයට ආ විට දීප්තියෙන් වැඩි වන්නට පටන් ගන්නවා. ඒ අතර සුර්ය තාපය නිසා එහි ධූම කේතුව සෑදී ඇති හිම බෝලයෙහි හිර වී ඇති හිම දිය වෙන්නට පටන් ගන්නවා. ඉන්පසු එය වායු වලාවක් බවට පත් වෙනවා.
1997 දී පොළොව පසු කර ගෙන ගිය හැලි-බොප් ධූමකේතුව මෙන් අපේ උතුරු අර්ධගෝලයට අයත් අහසේ චමත්කාර දර්ශනයක් මවනු ඇති.
එය මේ සියවසේ පෑයූ ලොකුම ධූමකේතුව ලෙස සැලකෙන ‘මැක්නෝට්’ වල්ගා තරුවට වඩා දීප්තිමත්වනු ඇතැයි තාරකා විද්‍යාඥයන් දැනටමත් අදහස් දක්වා තියෙනව. 1965 දී දකුණු අර්ධගෝලයේ පෑයූ ඒ වල්ගාතරුව ‘සිකුරු තරුව’ හෙවත් සිකුරු ග‍්‍රහයාටත් වඩා දීප්තියෙන් වැඩි එකක් වුණා.
ධූමකේතු යනු ‘කුණු තැවරුණු හිම බෝල’ (dirty snowballs) ලෙසින් හැඳින්වෙනවා. ඒත් ඒවා නියම වශයෙන් නම් ‘හිම තැවරුණු කුණු බෝල’ (snowy dirtballs) යි. සාමාන්‍යයෙන් මේ ධූමකේතුවක මතුපිට පාෂාණවලින් සෑදී ඇති අතර ඇතූළත රසායනික ද්‍රව්‍ය මුසු අයිස්වලින් පිරී තියෙනවා.
මේ අයිස් හා රසායනික තාපයට ලක් වූ විට ඒවා වලාවක් ලෙසින් ධූමකේතුවේ ගමන් මග දිගට විහිදෙනවා. ධූමකේතුවේ න්‍යෂ්ටිය හිරු දෙසට හැරී ඇති විට හිරුගෙන් පිටතට මේ වලාව දීප්තිමත්ව විහිදී පවතිනවා. ඇතැම් විට මේ වලාවක් කිලෝමීටර් ලක්ෂ ගණනක් දිගට විහිදෙනවා.
කලින් කලට අප හමුවට එන ධූමකේතු හෙවත් වල්ගාතරු
ධූමකේතු හෙවත් වල්ගාතරු කියන්නේ දූවිලින් පිරුණු අයිස් බෝල විශේෂයක්. ඒවා සාමාන්‍යයෙන් හට ගන්නේ කුයිප්ලර් වළලූවලින්. නෙප්චූන් ග‍්‍රහයාට එපිටින් ඇති අයිස්වලින් පිරුණු කුඩා ග‍්‍රහක තැබලි ඇතුළු කුඩා ග‍්‍රහ වස්තු රාශියක් එහි තියෙනවා. ඒවා සූර්යයා වටා කක්ෂගතවයි තියෙන්නෙ.
ඉඳහිට මේ එකක් ඒ කක්ෂයෙන් මිදී සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇතුළත කොටසට කඩා වදිනවා. ඒවා ඇස්ටෙරොයිඞ්ස් හෙවත් ග‍්‍රහකවලට වඩා වෙනස්. ග‍්‍රහක තැනී ඇත්තේ ලෝහ හා පාෂාණ ආදියෙන් වන අතර ඒවා බොහෝ විට ග‍්‍රහයන්ගෙන් හෝ චන්ද්‍රයන්ගෙන් වෙන් වී ගිය හෝ ශේෂ වී ගිය කැබලියි.
ධූම කේතු ආලෝක පරාවර්තනය නොකරන තරම්. ඒවාට වැටෙන හිරු එළියෙන් සියයට හතරක් විතරයි ඒවා පරාවර්තනය කරන්නේ. හරියට ගල් අඟුරු වගෙයි.
පොළොවේ සිට බලන විට ධුමකේතු දීප්තියෙන් යුක්තව පෙනුනාට ඒවායේ මතුපිට කළු පැහැතියි.
අප හොඳින්ම දන්නා ධූමකේතුව හේලිගේ ධූමකේතුවයි. තාරකා විද්‍යාඥ ශී‍්‍රමත් එඞ්මන්ඞ් හේලීට ගෞරවයක් ලෙස නම් කරනු ලැබුවා. හේලී තමයි, ඒ ධූමකේතුව හඳුනාගෙන එය වසර 75කට හෝ 76කට වරක් නැවත නැවතත් අපට දක්නට ලැබෙන බව කීවේ. යළිත් 1758 දී ඒ ධූමකේතුව යළිත් දැක ගත හැකි බව කීවත් එය සත්‍යවනු දැකීමට වසර 16කට පෙර ඔහු මියගියා.
1910 දී එය පොළොවට ආසන්නව ම ගිය අතර එවර පෘථිවිය එහි වල්ගය තුළින් ගිය බවද සඳහන් වෙනවා.
නැවත 1986 දී යළිත් හේලිගේ ධූමකේතුව පෑයුවත් පෘථිවියත් ඒ වල්ගාතරුවත් සූර්යයාගේ විරුද්ධ පැති දෙකෙහි පිහිටීම නිසා අපට එය දැක ගන්න ලැබුණේ නෑ. වසර 2000කට එසේ සිදු වූ එකම වතාව එයයි.
1 Comments
අනගි තොරතුරක්...ස්තුතියි.
ReplyDelete