මහා ලේඛක ලියෝ තොල්ස්තෝයි ළමයින්ට දුන් දර්ශනය

19 වැනි සියවසෙහි දී පමණ ආරම්භ වූ රුසියන් ගද්‍ය පද්‍ය සිහිත්‍යය යුරෝපීය සාහිත්‍යය සමඟ සසඳන විට වයසින් ඉතා බාලය. රුසියන් ලේඛකයන් විසින් ස්වකීය දේශීය චින්තනයෙන් පෝෂණය කරන ලද මෙම ළදරු සාහිත්‍යය නොබෝ කලකින් ම යුරෝපීය සාහිත්‍යය අබිබවා උසස් තත්වයට වර්ධනය විය. රුසියන් සාහිත්‍යයහි මෙම නැඟීම යුරෝපා සාහිත්‍ය ඉතිහාසයේ ප‍්‍රාතිහාර්යයක් ලෙස විචාරකයෝ සලකති. මෙම ප‍්‍රාතිහාර්ය පෑ රුසියන් ලේඛකයන් අතරින් ලියෝ තොල්ස්තෝයි ලොව පහළ වූ අග‍්‍රගණ්‍ය සාහිත්‍යධරයෙකු ලෙස සලකනු ලැබේ.


රුසියන් ජන සාහිත්‍යයක් ගොඩනැඟීමෙහි යෙදුණු තොල්ස්තෝයි කාලෝචිත පරිදි දේශීය හා විදේශීය ජනකතා හා උපමා කතා රුසියන් සාහිත්‍යයට ගැළපෙන පරිදි ප‍්‍රතිනිර්මාණය කළ අතර අලූත් කතා ද රචනා කළේය. යස්නායා පොල්යානා වත්තේ පවත්වා ගෙන ගිය පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය පොත් පෙළක් පිළියෙල කිරීමේ දී තොල්ස්තෝයි උපමා කතා, සුරංගනා කතා හා ළමා කතා රාශියක් රචනා කළේය. එමගින් රුසියන් සාහිත්‍යය ළමා සාහිත්‍යයෙන් ද පෝෂණය විය. ඔහු ළමයින් සඳහා ලියූ කෙටි නාට්‍යයකි, මෙහි පළවෙන්නේ.

යුද්ධය
කාල්චාන් - නව හැවිරිදි ළමයෙකි.
පෙත්යා - දස හැවිරිදි ළමයෙකි.
මාෂා - අට හැවිරිදි ළමයෙකි.

කාල්චාන් - අපේ ප‍්‍රසියාව, රුසියන්කාරයන්ට අපේ රට අල්ල ගන්න දෙන්නෙ නැහැ.
පෙත්යා - නමුත් අපි කලින් අල්ල ගත්ත නිසා අයිති අපටලූ.
මාෂා - ‘අපි’ කියන්නෙ කාටද?
පෙත්යා - ඔයා තවම පොඩි ළමයෙක්. ඔයාට මේවා තේරනේනෙ නැහැ. ‘අපි’ කියන්නෙ අපේ රට වැසියන්ටයි.
කාල්චාන් හැම රටකම මේ විදියයි. එක්කෙනෙක් එක රටකට අයත් වන අතර තවත් කෙනෙක් වෙන රටකට අයත් වෙනවා.
මාෂා - මා අයිති මොන රටට ද?
පෙත්යා - අප වගේ ඔයත් අයිති රුසියාවටයි.
මාෂා - නමුත් මට වුවමනා නැති නම්?
පෙත්යා - ඔයාට වුවමනා වුණත් නැතත් ඔයා අයිති රුසියාවටයි.
කාල්චාන් - හැම රටකටම සාර් කෙනෙක් ඉන්නවා. නැති නම් රජ කෙනෙක් ඉන්නවා. (පෙත්යා කතාවට බාධා කරමින්) නැති නම් පාර්ලිමේන්තුවක් තියෙනවා.
පෙත්යා - හැම රටකට ම යුද හමුදාවක් තියෙනවා. හැම රටක් ම ඒ රටේ මිනිසුන්ගෙන් බදු අය කරනවා.
මාෂා - නමුත් මේ රටවල්වල ඉන්න මිනිස්සු එකිනෙකාගෙන් ඈත් වී ඉන්නෙ මොකද?
පෙත්යා - ඔවුන් එකිනෙකාගෙන් වෙන් වී ඉන්නෙ හැම මිනියම එයාගෙ රටට ආදරය නිසයි.
මාෂා - මට තේරෙන්නෙ නැහැ. මේ රටවල ඉන්න මිනිස්සු එතිනෙකාගෙන් වෙන් වෙලා ඉන්නෙ මොකද කියා. ඊට වැඩිය හොඳ නැද්ද හැම රටක ම, හැම ජාතියක ම මිනිස්සු එකතු වෙලා ඉන්නව නම්?
පෙත්යා - සෙල්ලම් කරන්න නම් අපි සේරම එකතු වෙන්න ඕනෑ තමයි. නමුත් මේවා සෙල්ලම් වගේ නෙවෙයි. ඊට වඩා ලොකු දේවල්.
මාෂා - මට තේරෙන්නෙ නැහැ.
කාල්චාන් - ඔයාට මේවා හොඳට තෙරේවි තව ටිකක් ලොකු වුණාට පස්සෙ.
මාෂා - එහෙනම් මට ලොකු වෙන්න වුවමනා නැහැ.
පෙත්යා - ඔයා පොඩි වුණත් හිතුවක්කාරයි.

(ටෝල්ස්ටෝයිගේ මෙම ළමා නාට්‍යය උපුටා ගත්තේ කළුබෝවිල සිරිල් සී. පෙරේරා විසින් සැකසූ ‘මෛතී‍්‍රකරුණාව’ නමින් පළ වූ පරිවර්තන එකතුවකිනි.)

‘යුද්ධය’ නම් වූ මේ කෙටි නාට්‍යය තුළින්, ලියෝ තොල්ස්තෝයි යුද්ධය හා මිනිස් සමාජය දෙස, ළමයින් වෙනුවෙන් මේ විධියට බැලූවත් සෙසු ලෝකයා ඔහු මහා ලේඛකයා ලෙස පිළිගත් ඔහුගේ විශිෂ්ටතම කෘතිය වූ ‘යුද්ධය හා සාමය’ නම් මහා දිග නවකතාවෙන් යුද්ධය ගැන කීවේ මීට වඩා මුහුකුරා ගිය ගැඹුරු කතාවකි.

ශී‍්‍ර ලංකාවේ අග‍්‍රගණ්‍ය ලේඛකයකු වූ කළුබෝවිල සිරිල් සී. පෙරේරා සූරින් විසින් ‘යුද්ධය හා සාමය’ සිංහල බසට ද පෙරළා තිබේ. එහි මුල් මුද්‍රණය කඩින් කඩ කාණ්ඩ දහයකින් නිකුත් වූ අතර දැන් එය කාණ්ඩ තුනක් ලෙස එස්. ගොඩගේ සහෝදරයන් විසින් පළ කර තිබේ.

‘යුද්ධය හා සාමය’ නවකතාවෙන් ලියෝ තොල්ස්තෝයි පාලකයන් හා පාලිතයන් දෙස බැලූ ආකාරය එහි එන මේ ඡේදයෙන් අපූරුවට වටහා ගත හැකිය.

”කරදරවලින් තොර සන්සුන් කාලවල දී තමා විසින් පාලනය කරනු ලබන ජනයා එදිනෙදා කටයුතුවල නිරත වෙමින් ජීවත් වන්නේ තමා ගේ උත්සාහයෙන් යැයි පාලනය කරන හැම නිලධාරියෙක් ම කල්පනා කරයි. ඔහු තම මහන්සියෙන් හා උත්සාහයෙන් තෘප්තියක් ලබන්නේ තමාගේ සේවය අත්‍යවශ්‍ය යන කල්පනාව තුළිනි. මෙය පහසුවෙන් තේරුම් ගත හැකි දෙයකි. ඉතිහාසය නැමැති මහා සාගරය සන්සුන්ව පවතින විට, තමාගේ අබලන් වූ කුඩා බෝට්ටුවට නැඟ ගත් පාලකයා ජනතාව නැමැති නෞකාව කොක්කකින් අල්ලා ගෙන එය පසුපස පාවී යයි. එහෙත් තමා එල්ලී සිටින නෞකාව යාත‍්‍රා කරන්නේ තමා ගේ උත්සාහයෙන් යැයි හේ කල්පනා කරයි. කුණාටුවක් හමන්නට පටන් ගත් වහාම, කුණාටුවෙන් චණ්ඩ වූ මුහුදත් සමඟ නැව ද පැද්දෙන්නට පටන් ගනියි. එවිට නැවේ එල්ලී යන පාලකයාට නැව යාත‍්‍රා කරන්නේ තමා ගේ උත්සාහයෙන් යන මුළාවෙහි තවදුරටත් එල්බ ගෙන සිටිය නොහැකි වෙයි. යෝධ නෞකාව බාහිර පාලනයකින් තොරව ස්ව උත්සාහයෙන් ම රළගෙඩි මත පාවී යන අතර කුඩා බෝට්ටුවට තවදුරටත් නැවෙහි එල්ලී නැව සමග යාමට නොහැකි වෙයි. එවිට මහා සාගරයෙහි තනි වන පාලකයාට තමා පූර්ණ බලතල සහිත පාලකයෙක් නොව, කිසිම වැදගැම්මකට නැති නිෂ්ප‍්‍රයෝජන බෙලහීනයෙකු බව පෙනී යයි...”

(ලියෝ තොල්ස්තෝයිගේ ‘යුද්ධය හා සාමය’ නවකතාවෙන්.)


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

4 Comments

  1. හරිම වැදගත් පෝස්ටුවක්

    ReplyDelete
  2. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් අරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete