HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බොරු කිව්වොත් නාසය දික්වෙයි! පිනෝකියෝ කතාවේ ආ ඒ සිද්ධිය ගැන අපූරු හෙළිදරවුවක්!

පිනෝකියෝ කතාව ඔබ කියවා ඇත්නම් එයින් ඔබ ලත් විනෝදය තවමත් ඔබේ මතකයේ ඇති. ඒ කතාවේ හැටියට පිනෝකියෝ කියන්නේ රූකඩයෙක්. රූකඩය කපලා ඉවර වෙන කොට එයාට පණ එනවා.

ඊට පස්සේ ඇත්තම ළමයකු බවට පත් වෙනකම් ඒ ලැබූ අත්දැකීම් තමයි, ඒ නවකතාවට ඇතුළත් වෙන්නේ. ඒ කතාවේ තැනින් තැන පිනෝකියෝ බොරුවක් කියන හැමවිට ම එයාගේ නාසය දික්වෙනවා. දරුවන් බොරු කීමෙන් වළක්වා ගන්න උපායක් හැටියට වසර සීයකටත් වැඩි කාලයක් තිස්සේ ලොව පුරා දෙමාපියන් මේ පිනෝකියෝගේ නාසයේ වෙනස් වීම යොදා ගත්තා.

දැන් විද්‍යාඥයන් මේ නාසයේ වෙනස් වීම ‘පිනෝකියෝ ආචරණය’ (Pinocchio effect) කියලයි, හඳුන්වන්නේ.

ඉතාලි ජාතික ලේඛක කාලෝ කලෝඩි (Carlo Collodi) මීට අවුරුදු 32කකට ඉස්සර එනම්, 1880 දී ඉතාලියේ මුල්ම ළමා පුවත්පතට කොටස් වශයෙන් මේ කතාව ලියද්දි හිතන්නවත් නැතුව ඇති බොරු කීමත් නාසයත් අතර සැබැවින්ම සම්බන්ධයක් ඇතියි කියලා. ඒ විතරක් නොවෙයි පිනෝකියෝ චරිතයවත් මේ තරම් ලොව පුරා ජනපි‍්‍රය වෙයි කියල ඔහු හිතන්නත් නැතුව ඇති.

 
වෝල්ට් ඩිස්නිගේ ‘පිනෝකියෝ’ කාටූන් චිත‍්‍රපටයේ බොරු කියනවාත් සමග නාසය දික් වී යන අන්දම. බොරු කීමේ දී සැබැවින්ම අපේ නාසය අවට ඉස්සෙන බව දැන් සොයා ගෙන තියෙනවා.

මානසික තත්වයන් සිරුරේ උෂ්ණත්වයට කරන බලපෑම ගැන විමර්ශනය කරන මනෝවිද්‍යාඥයන් කියන්නේ මිනිසුන් බොරු කියන විට ඔවුන්ගේ නාස්වල හා ඒ අවට ඇස් කෙළවර ප‍්‍රදේශය උණුසුම් වෙලා පිම්ඹෙනවා කියලයි.

ස්පාඤ්ඤයේ ග‍්‍රැනඩා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් කළ පර්යේෂණයකට අනුව ‘පිනෝකියෝ ආචරණය’සිරුරේ ඇති වන කායික උෂ්ණත්වයේ සිදු වන වෙනස්වලින් එකක් පමණයි. ‘තාපරේඛනය’ (thermography) යනුවෙන් හඳුන්වන ක‍්‍රමවේදයකින් තමයි, සොයා ගැනීම් කරල තියෙන්නෙ.

ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා, සැලකිය යුතු මානසික කි‍්‍රයාවලියක දී අපේ මුහුණේ උෂ්ණත්වයේ අඩු වීමක් සිදු වන බව. කාංසාව ඇති වූ විට අපේ මුහුණේ උෂ්ණත්වය විශේෂයෙන් අඩු වන බව ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා.

මේ ‘තාපරේඛන ක‍්‍රමය’ මනෝවිද්‍යාත්මක පර්යේෂණ සඳහා මීට කලින් යොදා ගෙන නැහැ. මෙහිදී විශේෂයෙන් අධෝරක්ත විකිරණ හසුකර ගත හැකි කැමරා තමයි, භාවිත කරන්නේ. එයට හසු කර ගත හැකි යම් යම් වස්තූන්ගේ තාපය භාවිත කර ගෙන එම වස්තූන්ගේ පින්තූර ගැනීමක් මෙහිදී සිදු වෙනවා.

මේ තාපරේඛන කැමරා ඇමරිකා එක්සත් ජනපදය විසින් නිපදවන ලද්දේ දෙවැනි ලෝක යුද සමයේයි. මෙකල ඒවා බොහෝ විට භාවිත කෙරෙන්නේ ගොඩනැගිලිවල බලශක්තිය විනාශ වෙන තැන් මනින්නත්, ගවයන්ගේ ශ්වසන ආබාධ ගැන සොයන්නත්, රැකූනා සතුන්ට වැළඳී ඇති ජලභීතිකාව ගැන සොයන්නත් ආදී විවිධ දේ සඳහායි.

ස්පාඤ්ඤයේ ග‍්‍රැනඩා විශ්ව විද්‍යාලයේ එමිලියෝ ගෝමස් මිලාන් හා එල්වීරා සලාසාර් ලෝපස් යන මහාචාර්යවරුන් දෙදෙනා පළමුවරට මනෝවිද්‍යාත්මක පර්යේෂණ සඳහා මෙම තාපරේඛන ක‍්‍රමය යොදා ගත් අය ලෙස වාර්තා වෙනවා.

ඔවුන් සොයා ගෙන තියෙනවා, අපි අපේ සැබෑ හැඟීම් යටපත් කර ගෙන වැරදි දෙයක් කියන විට, එනම් බොරු කියන විට, අපේ නාසය අවට උෂ්ණත්වය ඉහළ ගොස් මොළයේ ‘ඉන්සියුලා කෝටෙක්ස්’ හෙවත් දීප බාහිකය (insula cortex) සකි‍්‍රය වන බවයි.

මෙය මොළයේ මස්තිෂ්ක බාහිකයේ ඇති එය හැඟීම් දනවන කොටසක් වන අතර එය සකි‍්‍රය වන්නේ නියම හැඟීම් අත්දකින විටයි. එය සිරුරේ උෂ්ණත්වය පවත්වා ගෙන යාමටද උපකාර වන්නක්.

පර්යේෂකයන් කියන්නේ තාපරේඛන ක‍්‍රමය හැඟීම් ඇගයීමට යොදා ගත හැකි බවයි. හැඟීම් නොකඩවා ගලා යන හැටි විමර්ශනය කරන්නත් මේ ක‍්‍රමය භාවිත කළ හැකියි.

මේ තාපරේඛන ක‍්‍රමය තවදුරටත් යොදා ගන්න පුළුවන් සිරුරේ මේද රටාවන් නිර්ණය කිරීමට. එය ඉතා ප‍්‍රයෝජනවත් වේවි බර අඩු කර ගැනීමේ හා පුහුණු වැඩසටහන්වලට අවශ්‍ය තොරතුරු සපයා ගැනීමට. විවිධ මානසික රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී ඔවුන්ගේ සිරුරු උෂ්ණත්වය මනින්නටත් මේ ක‍්‍රමය යොදා ගත හැකියි.
මේ සමීක්ෂණයෙන් හෙළි වූ අනිකුත් තොරතුරුවලින් බිඳක්.
  • බොරු කීමේ දී - අපේ නාස්වල හා ඒ අවට ඇස් වටා ප‍්‍රදේශය උණුසුම් වෙනවා.
  • අවධානය යොමු කිරීමේ දී - මුහුණේ උෂ්ණත්වය අඩු වෙනවා.
  • කාංසාව ඇති විට - අපේ මුහුණේ ඇති උෂ්ණවය ඉහළ යනවා.
  • ෆ්ලැමෙන්කෝ නැටුමේ දී - (ස්පාඤ්ඤ වේග රිද්ම නැටුමක්) අපේ උකුලේ උෂ්ණත්වය අඩුවී ඉදිරි අත්වල උෂ්ණත්වය වැඩිවෙනවා.
  • ලිංගික ආශාව ඇති විට - හෘදයේ හා ජනේන්ද්‍රියවල උෂ්ණත්වය වැඩිවෙනවා.
 
බොරුව හෙළිවෙන හැටි - බොරු කියන විට, අපේ නාසය අවට උෂ්ණත්වය ඉහළ යනවා. එසේ වන්නේ මොළයේ ‘ඉන්සියුලා කෝටෙක්ස්’ හෙවත් දීප බාහිකය (insula cortex) සකි‍්‍රය වීම නිසයි. (මුහුණ මැද රතු පැහැයෙන් දැක්වෙන්නේ උෂ්ණත්වය වෙනස් වන කොටසයි.)


Post a Comment

3 Comments

  1. ඔබගේ වටිනා ලිපි හැමදා ම කියවනවා.

    ReplyDelete
  2. විද්‍යාත්මක හා නවමු තොරතුරැ මෙතනින් තමයි මමත් දැනගන්නේ


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  3. මම අදටත් කැමතිම චරිතයක් තමයි පිනෝකියෝ. ඒ නම දැකල තමයි මේ පැත්තට ආවෙත් :) බොරු කීමත් නහයත් අතර ඇත්තටම සම්බන්ධයක් තියනවා කියන එකනම් හරිම පුදුමයි. පිනෝකියෝ ලියද්දි ඒ බව දැනගෙන නොහිටියත් පුදුමාකාර විදියකට ඒක ඇත්ත වෙලා තියනවා.

    අර // මීට අවුරුදු 32කකට ඉස්සර// කියන තැන අවු. 132 වෙන්න ඕන නේද?

    ReplyDelete