HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇහැ රවටන විස්මිත ‘බොරු’ මකුළුවෙක්! දිවි බේරා ගන්න සැබෑ මකුළුවකු යොදන ආරක්ෂක උපක‍්‍රමයක්!

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ ඇමසන් වනාන්තර කොටසේ හමු වන විශේෂ මකුළු වර්ගයක් සතුරන්ගෙන් දිවි ගලවා ගැනීමට තමාට බොහෝ සේ සමාන මායා මකුළුවකු මවනවා. මෙසේ මවන මායා මකුළුවා දැලෙහි කැපී පෙනෙන තැනක එල්ලෙන්නට තබා විලෝපිකයන් රැවටීමට ඒ මකුළු වර්ගය හරිම දක්ෂයි.

සන්ධිපදිකයන්ගේ සත්ව කාණ්ඩයට අයත් මේ විශේෂ මකුළුවා මළ කෘමීන්ගේ සිරුරු හා වියළි පත‍්‍ර ආදිය එක්කොට තමන්ට සමාන මකුළුවා නිර්මාණය කරනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඌ මෙසේ කරන්නේ විලෝපිකයන් තමන්ව ගොදුරු කර ගැනීම වළක්වා ගැනීමේ ආරක්ෂක පියවරක් හැටියටයි කියායි.

සයික්ලෝසා (Cyclosa) නම් විශේෂ මකුළු වර්ගයයි, මේ විදියට කි‍්‍රයා කරන්නේ. මේ සත්ව ගණයට ම අයත් තවත් මකුළු වර්ග කීපයක්ම ඉන්නවා, මේ විදියට ‘රූප ඇඹීම’ කරන. ඒත් ඒ එකකුවත් නොකර දෙයක් මේ සුවිශේෂ මකුළු වර්ගය කරනවා. ඒ තමන් අඹන රූපයට මකුළුවන් පාද යෙදීමයි.

 
මේ මකුළුවා ඌ විසින් තනන ලද අනුරුව මත වාඩි වී සිටින අයුරු. මෙය ඡායාරූපයට නගා ඇත්තේ පේරු රාජ්‍යයේ තම්බෝපට පර්යේෂණ මධ්‍යස්ථානය අසලදීයි.

මේ විස්මිත සොයා ගැනීම කර ඇත්තේ ෆිල් ටෝරෙස් (Phil Torres) නම් ජීව විද්‍යාඥයකු වූ ආචාර්යවරයකු විසිනුයි. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්වල ජීවත්වෙන ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී පේරු රාජ්‍යයේ තම්බෝපට පර්යේෂණ මධ්‍යස්ථානය අවට ගංගා නිම්නයේ සංචාරයක් සඳහා විදේශ සංචාරකයන් පිරිසක් කැටුව ගිය අවස්ථාවකදියි.

‘දුර සිට බැලූ බැල්මට ම මධ්‍යම ප‍්‍රමාණයේ මකුළුවකු මෙන් පෙනෙන මේ අනුරුව අඟලක් තරම් ඇති. මැරී වියළි ගිය ආකාරයක් දක්වන මෙය රඳවා ඇත්තේ මකුළු දැලෙහි මැදයි.’ පාරිසරික සංචාරක ව්‍යාපාරයට වෙන්වුණු ආයතනයක ‘රේන්ෆොරස්ට් එක්ස්පෙඩිෂන්ස්’ (Rainforest Expeditions) නම් වෙබ් අඩවියකට ලියමින් ෆිල් ටෝරෙස් සිය අත්දැකීම මුල්වරට එසේ විස්තර කළා.

එවැනි දර්ශන සාමාන්‍යයෙන් ඇමසන් වනාන්තරයේ සුලබ ඒවා නෙවෙයි. ඒත් ඔහු ඒ දෙසට ළං වන විට ඒ ‘සතා’ ඒ මේ අතට සෙලවෙනවා වාගේ පෙනුණා.

”තවත් හොඳට ළං වී බලන විට තමයි, පෙනී ගියේ ඒ ඇත්තම මකුළුවෙක් නෙවෙයි අටවපු එකෙක් බව. මං සම්පූර්ණයෙන් ම රැවටුණා ඇත්ත එකෙක් කියලා. බලපුවාම වියළි පත‍්‍ර, කුණු රොඩු හා මැරුණු කෘමින්ගෙන් මකුළුවකුගේ හැඩයට තනා ඇති අනුරුවක්.” ඔහු කියනවා.

”මට හිතා ගන්න බැරි වුණා, මේක කවුරු කොහොම කරපු දෙයක්ද කියලා. කොහොමද හරියට ම මකුළුවකු වාගේ පෙනෙන්න මේ වගේ දෙයක් නිර්මාණය කරන්නෙ? සෙලෙවෙනවා වගේ පෙනෙන්න සැලැස්සුවෙ කොහොමද?”

පසුව තවදුරටත් විමසිලිවත්ව බලද්දී ඔහුට පෙනී ගියා මේ විස්මිත නිර්මාණය තවත් පුංචි මකුළුවකුගේ වැඩක් බව.

 
මීට කලින් කවදාවත් දැකලා නැති මකුළුවෙක්. (සමීප රූපයක් වමේ) තමාගේ ස්වරූපයටම සමාන අනුරුවක් තනන ඌ සයික්ලෝසා සත්ව ගණයට අයත් සුවිශේෂ මකුළු වර්ගයක් කියලයි කියන්නෙ.

ටෝරෙස් ආපසු උතුරු කැලිෆෝනියාවට ගිය පසු මේ නව සොයා ගැනීම ගැන උපදෙස් ගන්නට ඔහු තමා ඉගෙන ගත් කෝනෙල් විශ්ව විද්‍යාලයේ ඇරැක්නිඩාවන් පිළිබඳ විශේෂඥවරියක වූ ලින්ඩා රේනෝ හමු වුණා. ඇය පිළිගත්තා එහි අමුත්තක් ඇති බව. ඒ මෙතෙක් හඳුනා නොගත් මකුළු විශේෂයක් විය හැකියැයි ඇය තහවුරු කළා.

සතුරන් නොමඟ යැවීමට උපා යොදන සයික්ලෝසා මකුළු විශේෂ අතර මකුළු පාද සහිත අනුරුවක් තනා එය මකුළුවකු සේ පෙනෙන ලෙස තැන්පත් කොට මකුළු දැලෙහි නූලක් සෙලවීමෙන් එයට පණ ඇති බව පෙන්වීමේ උපායක් යෙදූ මකුළු විශේෂයක් ගැන මින් පෙර අසා නැති බව ඇය කීවා.

මේ පිළිබඳව කීට විශේෂඥයන් සමග සාකච්ඡා කොට ටෝරෙස් යළිත් තම්බෝපට ගංගාව අවට ප‍්‍රදේශයේ ඇති මකුළු දැල් පරීක්ෂා කරන්න ගියා. ඒ ගංගාධාර නිම්නයේ පමණක් තවත් එබඳු මකුළු විශේෂ 25ක් පමණ ඔහුට හමු වුණා. එහෙත් ඒ ප‍්‍රදේශයේ හැර වෙනත් කිසි තැනක ඔවුන් හමු වුණේ නැහැ.

 
ජීව විද්‍යාඥයකු හා ආචාර්යවරයකු වූ ෆිල් ටෝරෙස් හඳුනා ගෙන තියෙනව අලූත් ම මකුළු විශේෂයක් පේරූ රාජ්‍යයේ තම්බෝපට ගංගාව අවට ප‍්‍රදේශයෙදි.


 
මේ පිළිබඳව විශේෂඥයන් සමග සාකච්ඡා කොට ටෝරෙස් යළිත් තම්බෝපට අවට මකුළු දැල් පරීක්ෂා කරන්න ගියා. ඒ ගංගාධාර නිම්නයේ තවත් එබඳු මකුළු විශේෂ 25ක් පමණ ඔහුට හමු වුණා. එහෙත් ඒ ප‍්‍රදේශයේ හැර වෙනත් කිසි තැන ඔවුන් හමු වුණේ නැහැ.

ඇමරිකාවේ ස්මිත්සෝනියන් නිවර්තන පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ විලියම් එබර්හාඞ් මකුළු දැල් තැනීම ගැන ගැඹුරින් හැදෑරූ අයෙක්. ඔහු කීවේ ඇමසෝනියානු කලාපයෙන් හමු වූ මේ ව්‍යුහයට සමාන දෙයක් කිසි විටෙක දැක නැති බවයි.

සයික්ලෝසා මකුළු ගණය සතුරන් රැවටීමට උපායක් ලෙස මකුළු දැලෙහි යම් යම් දේ රැඳවීම සිදු කළත් එසේ රඳවන දේ බොහෝ විට ගුළියක් වැනි දෙයක් ලෙසයි තනන්නේ. මෙතෙක් ඔවුන් මකුළුවකුගේ පෙනුම ඇති මකුළු පාද සහිත අනුරුවක් කිසි විටෙකත් තනා තිබුණේ නැහැ. ඒ නිසා මේ නම් නව මකුළු විශේෂයක් බව පිළිගන්න පුළුවන් කියලයි විශේෂඥයන් ඔහුට කීවේ.

ඒ නිසා මේ ජනවාරියේ සාම්පල එකතු කිරීමට අවසරයකුත් ලබා ගෙන ඒ නව මකුළු විශේෂය ගැන අධ්‍යයනයක් කරන්නට යළිත් පේරූ දේශයට යන්නට ඔහු බලාපොරොත්තු වෙනවා. මේ මකුළු විශේෂයට නමක් දමන්නට හැකි වන්නේ නිල වශයෙන් සත්ව විද්‍යාඥයන් පිළිගත්තාට පසුවයි.

Post a Comment

0 Comments