නොපෙනී යන ඇඳුමක් තැනිය හැකි නූල් විශේෂයක් නිපදවයි! එයින් ඕනෑම දෙයක් නොපෙනී යන්නට සැලැස්විය හැකියි!

ඊයේ ඔබට අපි "හැරී පොටර් වාගේ ඇත්තටම නොපෙනී යන්න දැන් පුළුවන්!" මගින් නවකතාවේ හා චිත‍්‍රපටයේ ආ ‘අදිසි’ ලෝගුව සැබැවින්ම තැනූ පුවතක් ඔබ වෙත ගෙනාවා. මේ තවත් එවැනි නිර්මාණ කීපයක් ගැනයි.

ඇමරිකාවේ ඩලාස්හී ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥයකු හැරි පොටර් චිත‍්‍රපට කතා මාලාවේ එන අදිසි ලෝගුව වැනි දෙයක් නිර්මාණය කරල තියෙනවා. ඒක මිලදී ගන්න හොග්වාට්ස් වෙළඳසැල සොයා යන්න ඕනෑ නෑ.

චිත‍්‍රපටයේ ආ ඒ කල්පිතය සැබෑ කිරීම ඇත්තෙන්ම විස්මයජනක දෙයක්.

 
හැරී පොටර් චිත‍්‍රපටයේ එන මේ අදිසි ලෝගුව දැන් සැබෑවක් වෙලා!

මෙම පර්යේෂණය පසුපස ඉන්නා නිර්මාණකරු වූ භෞතික විද්‍යාඥ අලි අලීව් (Ali Aliev) කීවේ ඔහු මෙහිදී අදිසි ලෝගුව තනන්නට කාබන් නැනෝ නාල ඉතා කුඩා නූල් ආකාරයෙන් භාවිත කළ බවයි.

”අපට ඕනෑම වස්තුවක් නොපෙනී යාමට සලස්වන්න පුළුවන්, මේ ක‍්‍රමයෙන් කෙටි වේලාවක් විදුලි බලය ලබා දීමෙන්.” ඔහු එය පැහැදිලි කරමින් කීවා.

මේ පිළිබඳව ඔහු යූ ටියුබ් එකට වීඩියෝවක් නිකුත් කරල තියෙනවා. එහිදී අලි අලියේව් පෙන්වූ නිදර්ශනයේදී වරින්වර ඒ නූල් නොපෙනී යනු හා පෙනී යනු දැක ගන්න පුළුවන්.

”විද්‍යාඥයන් සාමාන්‍යයෙන් කරන්නේ ඇසට නෙපෙනෙන දේ අන්වීක්ෂවලින් පෙන්වා දීමයි. ඒත් අපි මෙහිදී කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපි කරන්නේ ඇහැට පෙනෙන දෙයක් නොපෙනෙන්නට සැලැස්වීමයි.” අලීව් වැඩිදුරටත් කියනවා.

 
‘ඔන්න දැන් පේනවා!’ - භෞතික විද්‍යාඥ අලි අලීව් ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ සිය රසායනාගාරයේ දී ඒ ලෝගුව අදිසි වන ආකාරය පෙන්වා දුන්නේ මෙහෙමයි.

 
‘ඔන්න දැන් පේන්නේ නෑ!’ - භෞතික විද්‍යාඥ අලි අලීව් රසායනාගාරයේ දී කලින් පෙනුන දේ අතුරුදහන් කර පෙන් වූ අන්දම.

යුද්ධ ටැංකියකට වෙනත් වේශයක් ලබා දිය හැකියි!

මේ අතර ස්වීඩනයේ විද්‍යාඥයන් විසින් සංවර්ධනය කර ඇති ක‍්‍රමයකින් යුද ටැංකි පවා නොපෙනී යාමට සැලැස්විය හැකියි!

ඒ වගේ ම තාපය ඔස්සේ යුද ටැංකි සොයා යන මිසයිලවලට අසු නොවන ලෙස ඒවා අවරණය කරන්නත් ඔවුන් විසින් සොයා ගෙන ඇති නව ක‍්‍රමයෙන් පුළුවන්.

ඔවුන් විසින් සංවර්ධනය කර ඇති නව තාක්ෂණයට අනුව එහි විශේෂ සුවීක්ෂකයන් (ස්කෑනරයන්) සවි කර තියෙනවා. අවට ඇති ගොඩනැගිලිවල හා ඒ අවට භූමි ප‍්‍රදේශවල විහිදී ඇති උණුසුම හා සිසිල ඇතුළත් තාප රටාවන් හඳුනා ගෙන ඒවායින් යුද ටැංකිවල බඳ සරසා ඒවා ආරක්ෂා කරන්න ඒ නව තාක්ෂණයෙන් පුළුවන්.

 
අදිසි ලෝගුව යොදා ගෙන යුද බිමේ දී මෙවැනි යුද ටැංකි සඟවා තබන්න පුළුවන්.

එහි දී අධෝරක්ත පිළිබිඹුවක් නිර්මාණය වී යුද්ධ රථය පරිසරයට තුළ සැඟවෙනවා. අන්තිමේ දී එය සතුරා රවටනවා. සතුරාට එය පෙනෙන්නේ එක්කෝ කාරයක් ලෙසයි, නැති නම් ගවයෙක් ලෙසයි.

”මට හොඳටම විශ්වාසයි, මං දැක්කෙ යුද්ධ ටැංකියක් බව.” යමකු ඒ දැක කියන්න ඉඩ තියෙනවා. ඒ මන්ද ‘අදිසි ලෝගුව’ට හැකියාව තියෙන නිසා, මොහොතකින් ඒ සන්නද්ධ රථය ගවයකු ලෙස පෙනෙන්න සලස්සන්න.

මේ මෙවලම සංවර්ධනය කර ඇත්තේ ස්වීඩනයේ බීඒඊ පද්ධතියට අයත් විද්‍යාඥයන් පිරිසක් විසින්. එහි පූර්ණ අත්හදා බැලීම් මීළඟ වසර දෙක තුළ සිදු වේවි.

මේ පර්යේෂක මෙවලම හඳුන්වන්නේ ඇඩප්ටිව් කියලයි. දැනටමත් එය අනුමැතිය සඳහා බි‍්‍රතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යංශයට බාර දීලයි තියෙන්නෙ.

මේ මෙවලමට ඇතුළත් වන්නේ, යමකුගේ අල්ලක් තරම් ප‍්‍රමාණයේ ෂඩාස‍්‍රයක් හෙවත් පැති හයක් ඇති ලෝහ තලයක්. එය ඉක්මනින් රත් කළ හැකියි, නැතිනම් සිසිල් කළ හැකියි. නොපෙනී යාමට සැලැස්විය යුතු දේවල්, ගොඩනැඟිලි, නැව් හෝ පහතින් පියාසර කරන හෙලිකොප්ටර ආදිය ඒවායින් ආවරණය කර සැඟවිය හැකියි.

කුඩා යුද්ධ ටැංකියක් සැඟවීමට නම් මේ කොටස් 1,000ක් පමණ අවශ්‍ය වෙනවා.

මේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ පීටර් සෝලන්ඞ් (Peter Sjolund) ලන්ඩනයේ සන්ඬේ ටයිම්ස් පත‍්‍රයට කීවේ, මේ පද්ධතිය කි‍්‍රයා කරන්නේ තාප ටෙලිවිෂන් තිරයක් කි‍්‍රයා කරන ආකාරයෙන් බවයි.

”එහි විවිධ රූපවලින් පිරුණු පුස්තකාලයක් තියෙනවා. නාගරික පරිසරයකදී ඔබට අවශ්‍ය නම් කාරකෙක් ලෙසත්, වරායක නම් කන්ටේනරයක් ලෙසත් පෙනෙන්න සැලැස්විය හැකියි.” ඔහු කියනවා.

තමන්ගේ පද්ධතියේ රූප වෙස්වලා ගැනීමට යොදා ගැනීමට නුසුදුසු නම් ඒ වෙනුවට අවට පරිසරයෙන් සුදුසු වස්තුවක පිළිබිඹුවක් තෝරාගෙන ඒ සඳහා යොදා ගන්න පුළුවන්.

ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ මහාචාර්ය සර් ජෝන් පෙන්ඞ්රි පැහැදිලි කළේ රූපය මෙසේ ඉදිරිපත් කෙරෙන්නේ සතුරාට පෙනෙන පැත්තට අනුව පමණක් බවයි. වෙනත් කෝණයකදී මෙය එතරම් ආකර්ෂණීය නොවන වෙනස් රූපයක් විය හැකි යයි ඔහු කියනවා.

කෙසේවෙතත් ඔහු කියන්නේ මෙහි අනාගත සංවර්ධනයන් මෙයටත් වඩා සංකීර්ණ විය හැකියි කියායි.

 
නව තාක්ෂණය අනුව යුද්ධ රථය පරිසරයට තුළ සැඟවෙනවා. අන්තිමේ දී එය සතුරා රවටනවා. සතුරාට එය පෙනෙන්නේ කාරයක් ලෙසයි, නැති නම් ගවයෙක් ලෙසයි.


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

4 Comments

  1. වැඩේ නරකම නෑ.. අවුල තියෙන්නෙ ඕනම හොඳ දෙයක් නරකට හරය ගන්න එකනේ.. ඒක හොයාගන්නත් කළිං යුධ ටැංකි වලට යොදන විදිය හොයාගෙන.. කතා කරල වැඩක් නෑ..

    ReplyDelete
  2. Habayi ithin oya anduma andagena yanda nam baha.

    ReplyDelete
  3. එක පැත්තකින් විතරක් හිතන්න බැහැ. මේ දේවල් සතුරගෙ අතට පත්වෙන්නත් වැඩි කලක් නොයාවි. එහෙම වුණොත් වැඩි විනාශයක් අත ළඟ. නව නිපැයුම යහපත් වැඩකට යොදාගත්තනම් තමයි වටින්නෙ.. නැතිනම් තවත් ලොවට වැඩදායි , වටින මනසක් අහිමිවේවි.
    ස්තූතියි මේ ලිපියට.. :)

    ReplyDelete
  4. ස්තූතියි මේ ලිපියට !! :D

    ReplyDelete