HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉකරස්ටත් ඉරිසියා හිතෙන අහස් ගමනකට සැරසෙන ලෝක වීර මුනුපුරා!

සූර්යාලෝකයෙන් බලය ලබා ලෝකය වටේ යන්නට සැරසෙන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් තමයි දැනටමත් වැඩිම දුරක් සූර්ය බලයෙන් වැඩ කරන අහස් යානයකින් පියාසර කරමින් ලෝක වාර්තාව පිහිටුවා තියෙන්නේ.

ඔවුන්ගේ ගුවන්යානයේ පියාපත්වලට සූර්ය කෝෂ 12,000ක් විතර සවිකරල තියෙනවා. රාති‍්‍ර කාලයේ දී පියාසර කරන්නට බලය සැපයෙන්නේ බැටරිවලින්. ඒවා පණ ගන්වන්නේ දහවල සූර්ය කෝෂවලින් ලබා ගන්නා හිරු එළියෙන්.

රාති‍්‍ර කාලයේ දීත් හිරු එළියෙන් දුවන මේ විස්මිත ගුවන් යානයට සම්බන්ධ පිරිස බලාපොරොත්තු වෙනවා, එක තෙල් කඳුලක්වත් නැතිව ලෝකය වටේ යන්න දවස් 20කින්.

ඔවුන්ගේ මේ අපූරු යානය නම් කර ඇත්තේ ‘සෝලර් ඉම්පල්ස්’(Solar Impulse) කියායි. ඒ යානය පැය 26කට වැඩි කාලයක් ස්විට්සර්ලන්තයට ඉහළින් අඩි 30,000ක් අහසේ රැඳී සිටිමින් ලෝක වර්තාවක් තැබූවා. එතරම් වේලාවක් අහසේ රැඳී සිටි මිනිසුන් රැගත් ප‍්‍රථම සුර්යකෝෂ අහස්යානය එයයි.

මේ යානය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ස්විස් ජාතික මනෝචිකිත්සක වරයකු වූ බර්ට්රන්ඞ් පිකාඞ් (Bertrand Piccard) හා ගුවන් නියමු ආන්ද්‍රෙ බෝර්ෂ්බර්ග් (Andre Borschberg) යන දෙදෙනාටයි. මෙහි අවර පෙති යෙදූ එන්ජින් හතරක් සවි කර තියෙනවා. ඒවාට බලය සැපයෙන්නේ එහි දිගු පියාපත් මත සවි කර ඇති සූර්යකෝෂවලින්.

 
මිනිසකු රැගෙන දිගම අහස් ගමනෙහි යෙදුණු සූර්ය බලයෙන් දුවන ‘සෝලර් ඉම්පල්ස්’ යානය, ස්විට්සර්ලන්ත අහසේ පියාසර කළ අයුරු.

හිරුගේ බලයෙන් දුවන ප‍්‍රථම අහස් යානය මෙය නොවෙයි. මෙහි විශේෂත්වය වන්නේ රාති‍්‍ර කාලයේදිත් හිරු එළියේ බලයෙන් කි‍්‍රයා කරන ප‍්‍රථම අහස් යානය වීමයි.

දවල් කාලයේ හිරුගෙන් බල ශක්තිය ලබා ගෙන ඒවා ගබඩා කර තබා ගෙන රාති‍්‍ර කාලයේ දී පියාසර කරන්න මෙයට පුළුවන්.

මේ අවුරුද්දේ මුල හරියේ දී මේ යානය යුරෝපයේ සිට උතුරු අපි‍්‍රකාව බලා 1,550ක දුරක් පියවර තුනකින් ගියා. ඒත් එය නිර්මාණය කළ අය කියන්නේ ඒ යානයේ සැලැසුම අනුව එයට නොවත්වාම ඕනෑ තරම් දුරක් යා හැකි බවයි.

 
ඉතාමත් සැහැල්ලූ ද්‍රව්‍යවලින් තනා ඇති මේ සෝලර් ඉම්පල්ස් යානයේ පියාපත් ජම්බෝ ජෙට් යානයක තරම් විශාල වුවත් එහි බර පුංචි කාරෙකකට වඩා නැහැ.

‘මේ යානයේ පියාපත් මත වෙනම සූර්ය කෝෂ සවි කර නැහැ. සුර්ය කෝෂවලින්ම තමයි එහි පියාපත් නිර්මාණය කරල තියෙන්නෙ.’ පිකාඞ් මාධ්‍ය අමතා කීවේ සූර්යකෝෂ පියාපත්වලින් සූර්යාලෝකය කෙළින් ම විදුලි බලය බවට පත් කරන බවයි.

‘මේ විදුලිය කෙළින් ම එන්ජින්වලටත් යානයේ බැටරිවලටත් එකවර යනවා. රාති‍්‍රයේ දී ඒ බැටරි බලයෙන් පියාසර කරන අපිට එළිවුණු පසු යළිත් හිරු එළිය ලැබෙනවා. පෙර දා කි‍්‍රයාවලිය යළිත් සිදු වෙනවා. මේ ආකාරයට න්‍යායාත්මකව අපට නොනවත්වා සදහටම ගමනේ යෙදිය හැකියි.’

ඉතාමත් සැහැල්ලූ ද්‍රව්‍යවලින් තනා ඇති මේ සෝලර් ඉම්පල්ස් යානයේ පියාපත් ප‍්‍රමාණයෙන් ජම්බෝ ජෙට් යානයක ඒවා තරම් විශාල වුවත් එහි බර සාමාන්‍ය කාරයකට වඩා නැහැ.

පිකාඞ් කියන්නේ වික‍්‍රමාන්විත කි‍්‍රයා කරන්නට ඇති ආසාව ඔහුට පරම්පරාවෙන් උරුම වුන දෙයක් කියලයි. ඔහුගේ සීයා ඔගස්ට් පිකාඞ් තමයි අහසේ වැඩිම උසකට මුලින්ම ගිය තැනැත්තා වීමේ වාර්තාව පිහිටුවා තියෙන්නේ. මහ පොළොවේ වක‍්‍රතාව මුලින් ම සියැසින් දුටු තැනැත්තාත් ඔහුයි.

සීයා අහසට ගියාට, පිකාඞ්ගේ පියා, යාකුස් පිකාඞ් ගියේ අනෙක් අතටයි. ඒ කියන්නෙ සාගරය වෙතටයි. ඔහු බැතිස්කෝපයකින් මහ මුහුදේ ගැඹුරුම ස්ථානය වූ මරියානා අගාධයේ ‘චෙලෙන්ජ්ර් ඞීප්’ වෙත ගවේෂණයේ යෙදුණා.

‘පියාගේත් සීයාගේත් ඒ අපූරු ගමන් මගේ සිත් ගත්තා. මා ඉතිහාස පොත්වලින් කියෙව්වා, පොළොව ගැන තොරතුරු, පැතලියි, වටකුරුයි ආදී වශයෙන්. මගේ සීයා උඩට ගිහින් ඇවිත් කිව්වා, ”පොළොවේ වටකුරු බව මම මගේ මේ ඇස් දෙකෙන් ම දැක්කා” කියා කීවා. පුංචි සන්දියෙදි ඒවා අහලා මටත් ඒවා දිගට ම කර ගෙන යන්න ඕනෑ වුණා.’

 
2010 දී මුලින් ම සූර්ය බලයෙන් ධාවනය වූ මුලාකෘති යානයෙන් සාර්ථක රාති‍්‍ර ගුවන් ගමනකින් පසු ජයග‍්‍රාහී ලෙසින් යානයෙන් පිටතට ආ බර්ට්රන්ඞ් පිකාඞ් හා ආන්ද්‍රෙ බෝෂ්බර්ග් යන දෙදෙනා.

පිකාඞ් පරපුරේ මේ පුංචි මුනුපුරා දැනටමත් වීර කි‍්‍රයාවක් සනිටුහන් කරලා ඉවරයි. ඔහු ප‍්‍රථම ට්රාන්ස් ඇට්ලෑන්ටික් බැලූන් තරගය දිනලා ඉවරයි. ලොව වටා නොනවත්වා බැලූනයකින් ගිය ප‍්‍රථමයා වෙමින් එහිදී ඔහු ලෝක වාර්තාවක් තැබුවා. ඔහු සමග ඒ ගමනට එක් වුණු අනෙක් තැනැත්තා වූයේ බ‍්‍රයන් ජෝන්ස්.

ඒ බැලූන ගමන අවසන් වුණේ ඉන්ධන අවසන් වී ඊජිප්තියානු කාන්තාර ප‍්‍රදේශයට කඩා වැටීමෙන් පසුවයි. ඒ වීක‍්‍රමයෙන් දිවි ගලවා ගත් පසු ඔහු ඊළඟට කල්පනා කළේ ඉන්ධන අවශ්‍ය නොවන අහස් යානයකින් ලෝකය වටා යන්නටයි.

‘එදා අවසානයේ දී ඉන්ධන නැතිව සිදු වූ අකරතැබ්බයෙන් පස්සෙ මං ඉටා ගත්තා ඊළඟ වතාවේ මං ලෝක වටේ යන්නේ ඉන්ධන කිසිසේත් අවශ්‍ය නොවන යානයකින් කියා.’ ඔහු කියනවා.

වායුගෝලය දූෂණය කරන වායු විමෝචනයෙන් තොර, එනම් අහසට කිසිම දෙයක් එකතු නොකර නිදහස් ගුවන් ගමන් යා හැකි ක‍්‍රමයක් ඇති බව පෙන්වීම ඔහුගේ මේ ගමනේ එක අරමුණක්. ඒත් මේ සූර්ය තාක්ෂණය සම්ප‍්‍රදායික ජෙට් ගමන්වලට යොදා ගැනීම ඉක්මනින් සිදු වන එකක් නෙවෙයි.

මේ නව ව්‍යාපෘතිය සැලසුම් කර අත්හදා බලන්නේ නව බලශක්ති තාක්ෂණයේ කාර්යක්ෂමතාව පරීක්ෂා කරන්නයි.

පිකාඞ් හා බෝෂ්බර්ග් මේ අලූතින්ම සැලසුම් කළ යානයෙන් අත්හදා බැලීමේ ගමනක යෙදෙන්න බලාපොරොත්තු වෙනවා, ලබන වසරේ දී කැලිෆෝනියාවේ සිට වර්ජිනියාව දක්වා. ඉන්පසුවයි, 2015 දී ලෝකය වටේ යන ගමනෙහි යෙදෙන්න සැලසුම් කරලා තියෙන්නේ.

දැන් ඔබට දැන ගන්න ඕනැ ඇති ආරම්භයේ දී මා කිව් පිකාඞ්ට ඉරිසියා කරන ඉකරස් කවුද කියා.
ඉකරස් කියන්නේ ගී‍්‍රක කතාවල එන වීරයෙක්! ඔහුට කී‍්‍රටයේ වංකගිරියෙන් පැනයන්නට ආධාර කළ ඔහුගේ පියා වූ ඞීඩලස් ඒ සඳහා පියාසර කරන්නට පියාපත් දෙකක් තනා ඉටිවලින් ඒවා ඔහුගේ සිරුරට අලවා දුන්නා. පියාපත් ලද ඉකරස් ඈත අහසට පියාඹා ගියා. හිරු දෙසට නොයන්නැයි පියා දුන් අවවාදය නොතකා පියාසර කළ ඉකරස් පමණ ඉක්මවා හිරුට ළං වීම නිසා පියාපත් අලවා තිබූ ඉටි උණු වී තවදුරටත් පියාඹා ගත නොහැකිව ආපසු පොළොවට ඇද වැටුණා. ඔහු මෙසේ ඇද වැටුණු තැනයි, ඉකිරියානු මුහුද ලෙස නම් කර තියෙන්නේ. (පර්සි ජයමාන්නගේ ළමා හා යොවුන් විශ්වකෝෂයේ 4 වැනි කාණ්ඩය - 51 පිටුව.)

‘සෝලර් ඉම්පල්ස්’ යානයේ තොරතුරු කෙටියෙන්.

  • පියාපක්වල සූර්යකෝෂ 12,000කට ආසන්න ප‍්‍රමාණයක්.
  • එකක් අශ්ව බල 10ක් වන විදුලි අවරපත් එන්ජින් හතරක්.
  • බලශක්තිය ගබඩා කළ හැකි ලිතියම් බැටරි.
  • විදාහල පියාපත්වල දිග අඩි 208ක් (ජම්බෝ ජෙට් යානයට සමානයි)
  • දිග අඩි 71.7ක්.
  • උස අඩි 21ක්.
  • මගීන් සමග මුළු බර ටොන් 1.6ක්. (සාමාන්‍ය කාරයක් වගෙයි)
  • අහසට නංවන වේගය පැ.හැ. 22ක්.
  • සාමාන්‍ය පියාසර වේගය පැ.හැ. 43ක්.
  • උපරිම වේගය පැ.හැ. 75ක්.
  • සාමාන්‍ය පියාසර උස අඩි 27,900ක්.
  • උපරිම පියාසර උස අඩි 39,000ක්.







Post a Comment

0 Comments