HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හෙට ලෝක අවසානය ද? නැතහොත් තව වසර බිලියන පහකින්ද? - නාසා ආයතනය අනාවැකි කියයි

ලෝක අවසානය ගැන නොයෙක් කතා පසුගිය කාලය පුරා ම අපට අසන්න ලැබුණා. ඒ දේවල් අපට අසන්න ලැබුණේ පැරැණි පොතපත් සහ ලිපි ලේඛන අවුස්සමින් ලියූ පොත්පත්වලින්, අනාවැකි කියන්නන්ගේ ප‍්‍රවාදවලින්, ආගමික හෙළිදරවුවලින් මෙන් ම පැරණි අභිලේඛන ඇසුරෙනුයි. ඉපැරණි මායා කැලැන්ඩරය 2012 වසරෙන් පසු ඉදිරියට ගණනය කර දක්වා නොමැති නිසා, 2012/12/21 එනම් හෙට ලෝක අවසානය සිදු වන බව බොහෝ දෙනාගේ මතයයි. එහෙත් ඇමෙරිකාවේ නාසා ආයතනය මේ මතය බැහැර කරනවා. නාසා විද්‍යාඥයන් ඔවුන් විසින් එක් කර ගනු ලැබූ නවතම දත්ත පාදක කර ගනිමින් ස්ථිරව ම පවසා ඇත්තේ ලෝක අවසානය හෙට සිදු වන්නක් නොව බවයි. ඔවුන්ගේ දත්තවලට අනුව එය සිදු වන්නේ තවත් වසර බිලියන ගණනකිනුයි.


නාසා විද්‍යාඥයන් මේ අනාවැකිය පවා පළ කරන්නේ විශ්වයේ ඈත කෙළවරක පිහිටා ඇති ග‍්‍රහලෝක දෙකක්, ප‍්‍රසාරණය වී මිය ගිය තරුවක ගිනි දැල්ලට හසු වී අඩක් විනාශ වී ඇති අයුරු දැක ගන්න ලැබීමෙන් පසුවයි. මේ නව ග‍්‍රහයින් දෙදෙනා මුලින්ම සොයා ගනු ලැබුවේ ප‍්‍රංශයේ තුලූස් සහ කැනඩාවේ මොන්ටි‍්‍රයෙල් විශ්ව විද්‍යාලවල තාරකා විද්‍යාඥයන් විසිනුයි. නාසා විද්‍යාඥයන් ඒ ගැන උනන්දුවීමට පටන් ගත්තේ ඉන්පසුවයි. විද්‍යාඥයන්, බ‍්‍රහස්පතී තරම් වූ එම ග‍්‍රහයන් දෙදෙනා පළමු වරට සොයා ගන්නා අවස්ථාවේදී ද ඒවා පිළිස්සී විනාශ වෙමින් තිබුණු බව පැවැසෙනවා.

ඒ ග‍්‍රහයන් දෙදෙනාට අයත් මවු තාරකාව මෙන්, තවත් බිලියන පහකින් පමණ අපේ හිරු ද ‘රතු යෝධයකු’ බවට පත් වී, පෘථිවිය සහමුලින් ම වාෂ්ප කර හරිනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. මේ සියලූම විස්තර පළ වී තිබුණේ ‘නේචර්’ විද්‍යා සඟරාවෙයි. විද්‍යාඥයන් විසින් අලූතින් සොයා ගත් එම ග‍්‍රහයන් දෙදෙනා වාෂ්ප නොවී ඉතිරි වී තිබෙන්නේ ඒවායේ ඇති විශාලත්වය නිසයි.

KOI 55.01 හා KOI 55.02 යනුවෙන් නම් කර ඇති එම ග‍්‍රහයන් දෙදෙනා, මේ වන විට රතු යෝධයකුගේ තත්වය පසු කර ඇති, ඔවුන්ගේ මවු තරුවට වඩාත් ආසන්නව පිහිටා ඇති අතර, ඒවායේ බාහිර ස්තරයන් සියල්ල විනාශ වී තවමත් ඉතිරි ව ඇත්තේ දැඩි ඝනත්වයෙන් යුත් මැද කොටස් පමණයි.

ග‍්‍රහයින් දෙදෙනා විනාශ කළ එම තරුව, ‘උපකුරුමිටි බී’ ගණයේ තරුවක්. එය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට අලෝක වර්ෂ 4000 ක් ඈතින්. නාසා ආයතනය විසින් ඈත අභ්‍යවකාශයේ රඳවා ඇති ‘කෙප්ලර්’ අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලත් දත්ත අධ්‍යයනය කරමින් සිටියදී මෙම ග‍්‍රහයන් පිළිබඳ දත්ත හමුවී තිබෙන බව වාර්තා වන්නේ.


විද්‍යාඥයන් පරීක්ෂාවට ලක් කරමින් සිටියේ කම්පනය වෙමින් ඇති තරුවලින් නිකුත් කෙරෙන ආලෝක කිරණ පිළිබඳ දත්තයි. ඒ තරුවල ඇති පීඩනය හා ගුරුත්වාකර්ෂණ බලය හේතු කොට ගෙන සිදු වන රිද්මයානුකූල ප‍්‍රසාරණයන් හා හැකිළීම් නිසා ඒවායින් නිකුත් ආලෝක කිරණවල ඇති වන වෙනස්කම්වලින් ඒවායේ සිදු වන දේ මෙහි සිට නිගමනය කළ හැකියි. උප වාමන බී තරුවක් වන KIC 05807616 තරුවෙන් ලැබෙන ආලෝක සංඥාවල ඇති සුළු වෙනස්කම් දෙකකින් ඊට ඉදිරියෙන් කක්ෂයක ග‍්‍රහයන් දෙදෙනකු ගමන් කරන බව නිගමනය කළ හැකි වූ බවත් KOI 55.01 හා KOI 55.02 යන ග‍්‍රහයන් දෙදෙනා හමුවූ බවත් විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

මෙම නිරීක්ෂණයට එක්වූ අමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ස්ටුවර්ට් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ ආචාර්ය එලිසැබත් ගී‍්‍රන් පවසන්නේ අපේ හිරුත් මේ අයුරින් රතු යෝධයකු බවට පත් වන විට අපේ පෘථිවියත් මේ ආකාරයෙන් ම ගිල ගනීවි කියායි. ‘අපේ පොළොව වගේ කුඩා ග‍්‍රහයෙක් ඒ වගේ පරිසරයක වසර බිලියනයක් පමණ ගත කළා නම් නිකම් ම වාෂ්ප වෙලා යනවා. පොළොවට වඩා ඉතා විශාල ස්කන්ධයක් ඇති බ‍්‍රහස්පතී හෝ සෙනසුරු වැනි ග‍්‍රහයකු නම් ඊට වඩා ටිකක් කලක් රැකේවි.’ යැයි ඇය පැහැදිලි කරනවා.

‘මේ අවස්ථාවට ළං වන විට තරුවට වඩාත් සමීප ව පිහිටන ග‍්‍රහයන් තරුව මගින් නිශ්චිත කක්ෂයක තිබියදී තදින් ග‍්‍රහණය කර ගන්නවා. එවිට ග‍්‍රහයාගේ එක පැත්තක් පමණක් හැම විට ම තරුව දිහාට හැරී තිබෙනවා. හරියට හැම විට ම සඳේ එක පැත්තක් විතරක් අපට පේනවා වාගේ. අපේ හිරුට ආසන්න බුද ග‍්‍රහයාගේ හිරු දෙසට හැරුණු පැත්තේ තාපය කොතරම් ද යත් ඊයම් පවා නිකම් ම උණුවෙනවා. ඒ අනුව ඔබට තේරුම් ගත හැකිවේවි, අපේ හිරු මෙන් පස් ගුණයකින් වැඩි තාපයක් ඇති ඒ තරුවට අයත් ඒ කුඩා ග‍්‍රහයන් දෙදෙනා එතරම් ළංවී තිබියදී කෙතරම් තාපයකට මුහුණ දෙනවාද කියා.’ යැයි ගී‍්‍රන් පැහැදිලි කරනවා.

‘තරුවක් විසින් ග‍්‍රහයක කක්ෂය ග‍්‍රහණය කර ගත් පසු ඒ තරුව රතු යෝධයකු වීමට ප‍්‍රසාරණය වෙද්දී ඒ තරුව විසින් ඒ ග‍්‍රහය ගිල ගැනීම සිදු වෙනවා.’ ආචාර්ය ගී‍්‍රන් පෙන්වා දෙන්නේ ග‍්‍රහයකු අවට ඇති වායුමය ආවරණය තරුව දෙසට ඇද ගත් විට එයින් තරුවේ විනාශය වේගවත් වන බවයි. ‘තරුවක් ග‍්‍රහයකු ගිල ගත්තාට පස්සෙ එහි ඇති වායුමය හා ද්‍රවමය ස්තර තරුව තුළ ඇති තාප ගෝලය විසින් උකහා ගන්නවා. අන්තිමේ දී ශේෂ වන්නේ අඟුරු වී යන ඝන කොටස් විතරයි.’ යැයි ඇය වැඩිදුරටත් කියනවා.


තරුවක උපත සිදුවන්නේ විශ්වයේ පාවෙමින් තිබෙන විශාල වායු සහ ධූලි වලාවන්ගෙනුයි. මෙම වායු හා දූවිලි වලාකුළු හැඳින්වෙන්නේ ‘නෙබියුලා’ නැතහොත් ‘නීහාරිකා’ කියායි. නෙබියුලාවේ ඇති දූවිලි සහ වායු එක් වී කුඩා ගුළියක් සෑදෙනවා. කල්ගත වෙද්දී තවත් වායු සහ දූවිලි මීට එකතු වෙනවා. එය තවත් වර්ධනය වීමත් සමඟ තාපය පිට කිරීමට පටන් ගන්නවා. එය අවසන් වෙන්නේ න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාවක් ඇතිවීමෙනුයි. තරුවක් උපත ලබන්නේ ඉන්පසුවයි. පෘථිවියේ ජීවය පහළ වූයේ ද තරුවක් මුල් කර ගෙනයි. අප හඳුන්වන්නේ සූර්යයා හෙවත් හිරු කියා හඳුන්වන්නේ ඒ තරුවයි.

තරුවක මැද ඇති හයිඩ‍්‍රජන් වායුව දැවී අවසන් වෙද්දී තරුව මිය යෑමට පටන් ගන්නවා. ඉන්පසු එය ටිකෙන් ටික පිම්බෙනවා. රතු යෝධයන් යනුවෙන් හැඳින්වෙන්නේ මෙවැනි තරුයි. තව වසර බිලියන ගණනකින් අපේ හිරු මිය යන්න පටන් ගත් විට එය ද කෙමෙක් කෙමෙන් පිම්බී පෘථිවිය වසාගෙන එය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. මෙලෙස පිම්බෙන හිරු, බුද සහ සිකුරු ග‍්‍රහයන් පවා ගිලගෙන විනාශ කිරීමට සමත් වේවි. ලෝකය නිසැකවම විනාශ වෙන්නේ ඒ අවස්ථාවේදී කියලයි, නාසා විද්‍යාඥයන් නියන්නේ.

පිම්බී අවසන් වූ පසු ‘රතු යෝධයා’ පෘථිවිය තරම් ප‍්‍රමාණයේ ගෝලාකාර වස්තුවක් බවට හැකිළෙනවා. එවැනි තරු හැඳින්වෙන්නේ ‘සුදු වාමනයන්’ කියායි. මෙවැනි තරුවක ගුරුත්වාකර්ෂණය කොතරම් ප‍්‍රබලද කිවහොත් එවැනි තරුවක මත සිට කෝප්පයක් පිරෙන්න යම් දියරයක් දැම්මොත්, එම කෝප්පය ටොන් 550 ක් බරින් යුක්ත වෙනවා. එය හරියට 747 ජම්බෝ ජෙට් ගුවන් යානා දෙකක බරට සමානයි.


අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ප‍්‍රධානියා හා ප‍්‍රධාන තාරකාව හිරුයි. පෘථිවියේ ජීවය පහළ වී ඇත්තේ ද හිරු නිසයි. හිරු නොමැති නම් පෘථිවියේ ජීවයක් ඇති වන්නේ නැත. පෘථිවියේ සිට හිරුට ඇති දුර කි.මී. මිලියන 150ක්. හිරුගේ විෂ්කම්භය කි.මී. මිලියන 1.3ක්. මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 15,000,000ක්. මෙතරම් අධික උෂ්ණත්වයක් තිබීම නිසා හිරුගේ මතුපිට ඝන හෝ ද්‍රව හෝ නොමැති අතර හිරු නිර්මාණය වී ඇත්තේ වායුවලිනුයි. ප‍්‍රධාන වශයෙන් හිරු නිර්මාණය වී ඇත්තේ බරින් අඩු හයිඩ‍්‍රජන් සහ හීලියම් වායුවලින්. හිරුගෙන් පිට වන ආලෝකය පෘථිවියට ළඟා වීමට මිනිත්තු 8ක පමණ කාලයක් ගත වෙනවා. හිරුගේ ගුරුත්වය (පෘථිවිය - 1) 28 ක් වන අතර භ‍්‍රමණ කාලය දින 25 ක්. හිරු ලොකු දොඩම් ගෙඩියකට සමාන කළොත් පෘථිවිය එහි ඇති පුංචි ඇටයකට සමාන කරන්න පුළුවන්.

ප‍්‍රධාන වශයෙන් හිරු නිර්මාණය වී තියෙන්නේ බරින් අඩු හයිඩ‍්‍රජන් වායුවෙන්. හිරුගේ න්‍යෂ්ටියේ සිදුවන න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියා හේතුවෙන් තත්පරයකට හයිඩ‍්‍රජන් ටොන් මිලියන 770 ක් දැවී යනවා. සෑම තත්පරයකටම වායු මිලියන 4.4 ක් දැවී යන බව විද්‍යාඥයන් කියනවා. හිරුගෙන් නිකුත් වන බලයෙන් තත්පරයෙන් එකක් ඇමෙරිකාවේ වසරකට භාවිතා කරන විදුලි පරිභෝජනය කරන ප‍්‍රමාණය වගේ මිලියන 13 කට වැඩියි. පෘථිවියේ බලශක්ති ලෙස භාවිත කරන සියලූම තෙල්, ගල් අඟුරු සහ දැව යොදා ගෙන හිරුට ඉන්ධන වශයෙන් සැපයුවොත් එය ප‍්‍රමාණවත් වෙන්නේ දින කීපයකට පමණයි.

හිරුගේ මැද, එනම් න්‍යෂ්ටියේ, උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 27 ක් පමණ නෙවා. තමා වටේ කිලෝ මීටර 100ක ප‍්‍රමාණයක් පුරා විහිදී ඇති සියලූම දේ දැවී අළු කර විනාශ කරන්න මේ තරමේ උෂ්ණත්වයක් ඇති, පුංචි අල්පෙනෙත්ති හිසක් තරම් සූර්යයකුට හැකියාව තියෙනවා. හිරුගෙන් විහිදෙන ගිනි ජාලා හැඳින්වෙන්නේ සූර්ය ජාලා (හිරුදැල්) කියලයි. මෙතෙක් වාර්තා වී ඇති විශාලතම සූර්ය ජාලාව කිලෝ මීටර හාර ලක්ෂ දෙදහසක් දුරට විහිදී තිබෙනවා. එය පෘථිවියේ සිට සඳුට ඇති දුරටත් වඩා වැඩියි.

හිරුගෙන් නිකුත් වෙන විදුලි ආරෝපණ අංශු හැඳින්වෙන්නේ හිරු සුළං කියායි. මෙම සූර්ය සුළංවලට සෞර ග‍්‍රහ මණ්ඩලයේ කෙළවරින් පිහිටි කුරු ග‍්‍රහයකු වන ප්ලූටෝ තරම් දෙගුණයක් ඈතට විහිදී යාමට හැකියාව තියෙනවා. ‘2012’ සහ ‘ක්නොවින්’ නැමැති ලෝක විනාශ හොලිවුඞ් චිත‍්‍රපටවල ලෝක විනාශයට හේතු වන්නේ මෙවැනි සූර්ය සුළංයි.

හිරුගේ පෘෂ්ඨයේ විවිධ තැන්වල වායු අනෙක් තැන්වලට වඩා සිසිල් වූ අවස්ථාවලදී ඒවා දිස්වන්නේ අඳුරු ලප විදියටයි. තාරකා විද්‍යාඥයන් මේවා හඳුන්වන්නේ ‘හිරු ලප’ කියායි. මෙවැනි හිරු ලපයක විශාලත්වය පෘථිවිය මෙන් අට ගුණයක්. 1989 සැප්තැම්බර් නව වැනිදා හිරුගේ අසාමාන්‍ය කි‍්‍රයාකාරීත්වයක් හේතුවෙන් කැනඩාවේ ටොරන්ටෝ නුවර කොටස් වෙළෙඳ පොළේ පරිගණක ජාලය අකි‍්‍රය වීමෙන් හිටිහැටියේ සියලූම කටයුතු මුළුමනින්ම බිඳ වැටුණා. තාක්ෂණවේදීන් පවා මවිත කළ මෙම සිද්ධියට හේතු වූයේ හිරුගෙන් ආරෝපණ අංශු විශාල ප‍්‍රමාණයක් එකවර පැමිණ පෘථිවි වායුගෝලයේ ඇතිවූ චුම්බක කුණාටුවක්. එම කුණාටුව හේතුවෙන් පෘථිවියේ රටවල් රැසක විදුලි බලය බඳ වැටීම් ද සිදු වූ බව වාර්තාවෙනවා.

නාසා ආයතනයේ මාධ්‍ය සාකච්ඡාවෙන්

ලෝක විනාශය සම්බන්ධයෙන් බොහෝ දෙනා නොයෙක් නොයෙක් විදියේ මත පළ කරනවා. මායාවරුන්ගේ දින දර්ශනය විශ්වාස කරන ජෝතීර්වේදීන් සහ ඇතැම් විද්‍යාඥයන් පවා පවසා ඇත්තේ හෙට එනම් 2012/12/21 වැනිදා ලෝකය අවසන් වන බවයි. හෙට දිනයේ ලෝකය අවසන් නොවන බව පෙන්වා දෙමින්, ඒ පිළිබඳව විද්‍යාත්මකව කරුණු පැහැදිලි කිරීමට නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ කණ්ඩායමක් පසුගියදා නාසා ආයතනයේදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. එහිදී මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප‍්‍රශ්න සහ ඒවාට නාසා විද්‍යාඥයන් ලබා දුන් පිළිතුරු මෙහි දැක්වෙනවා.

ප‍්‍රශ්නය: 2012 දෙසැම්බර් 21 වැනිදා පෘථිවියට කිසියම් තර්ජනයක් එල්ල වී තිබෙනවාද? බොහෝ වෙබ් අඩවිවල සඳහන් වී තිබෙන්නේ, 2012 දෙසැම්බර් 21 වැනිදා ලෝකය අවසන් වන බවය. මෙහි ඇත්ත නැත්ත කුමක්ද ?

පිළිතුර: 2012 දෙසැම්බර් 21 ලෝකය අවසන් වෙන්නේ නැහැ. අපේ පෘථිවියේ ආයු කාලය වසර බිලියන 4 ක්. බිලියන 4 ක් තිස්සේ කිසිදු කරදරයක් අපට වුණේ නැහැ. තවත් බිලියන 4 ක් ලෝකය පවතිනවා කිසිදු අනතුරක් වෙන්නේ නැහැ. පිළිගත් විද්‍යාඥයන් හොඳින් දන්නවා 2012 දෙසැම්බර් 21 ලෝකයට කිසිදු අනතුරක් සිදු නොවන බව.

ප‍්‍රශ්නය: 2012 දෙසැම්බර් 21 ලෝක අවසානය සිදු වන බවට අනාවැකි පළ වීමට පාදක වූ කරුණු කාරණා මොනවාද?

පිළිතුර : මායා කැලැන්ඩරය වගේම ‘නිබරු’ නමැති ග‍්‍රහලොවක් ගැනත් එම අනාවැකිවලට පාදක වෙනවා. ‘නිබරු’ කියන ග‍්‍රහලොව සොයා ගත්තා යැයි පැවැසෙන්නේ සුමේරියානුවන් විසිනුයි. විද්‍යාත්මකව නම් එවැනි ග‍්‍රහලොවක් ගැන අප දන්නේ නැහැ. මේ ග‍්‍රහලොව පෘථිවිය දෙසට එනවා. එය පෘථිවියේ හැපී ලෝකය විනාශ වෙනවා යැයි අනාවැකි පළ වෙනවා. ග‍්‍රහයකු මීට පෙර 2003 වසරේදීත් පෘථිවිය දෙසට පැමිණ පෘථිවියේ හැපී මේ ලෝකය විනාශ වන බව පැවැසුණා. එදාත් කිසිවක් සිදු වුණේ නැහැ.

ප‍්‍රශ්නය: මායා කැලැන්ඩරයට අනුව 2012 දෙසැම්බර් 21 ලෝක අවසානය සිදුවෙනවාද ?

පිළිතුර: මායාවරුන්ගේ කැලැන්ඩරයේ අවසන් දිනය ලෙස සටහන් වෙන්නේ 2012 දෙසැම්බර් 21 වැනිදා. ඒක සැබෑවක්. නමුත් එයින් අදහස් කෙරෙන්නේ නැහැ එදින ලෝකය අවසන් වෙන බවක්. ලෝකය අවසන් වන බව මායාවරුන් විශ්වාස කරන්නට ඇති. ඒත් පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසිවක් හමුවෙලා නැහැ, ඔවුන් කිසිම අවස්ථාවක 2012/12/21 ලෝකය අවසන් වෙනවා කියා පවසා ඇති බවක්. මායාවරුන්ගේ කැලැන්ඩරය 2012/12/21 අවසන් වෙන්නේ සූර්ය නිවර්තනය සිදුවන දිනයේයි. 2012/12/21 අවසන් වී එය යළි මුල සිට ආරම්භ වෙනවා.

ප‍්‍රශ්නය: දෙසැම්බර් 23 වැනිදා සිට 25 තෙක් ලෝකය අඳුරු වෙනවා යැයි පැවැසෙනවා. මෙහි ඇත්ත නැත්ත කුමක්ද ? නාසා ආයතනය ඒ බව තහවුරු කරනවාද ?

පිළිතුර: කොහෙත්ම නැහැ. නාසා ආයතනය හෝ වෙනත් විද්‍යා ආයතන හෝ එවැනි අනාවැකි පළ කර නැහැ. ඒක මහ බොරු අදහසක්. ඒ අදහසට පාදක වී තිබෙන්නේ ග‍්‍රහලෝක එක එල්ලයට පිහිටීමක් මුල් කර ගනිමින්. ග‍්‍රහලෝක එක එල්ලයට පිහිටද්දී, සූර්යයා වැසී යන බවත් එවිට පෘථිවිය අඳුරු වන බවත් පැවැසෙනවා. ඒත් එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය: පෘථිවියට බලපෑමක් සිදුවන අයුරින් ග‍්‍රහ පිහිටීමක් සිදුවෙනවාද ?

පිළිතුර: එවැනි ග‍්‍රහ පිහිටීමක් සිදුවනවා නම් සිදුවන්නේ තවත් දශක කිහිපයකින්. එවැනි ග‍්‍රහ පිහිටීමක් සිදුවුවත්, එයින් පෘථිවියට කිසිදු ආකාරයක බලපෑමක් සිදු වෙන්නේ නැහැ. මීට පෙර ග‍්‍රහයින්ගේ පිහිටීමේ වෙනස් වීමක් සිදුවුණේ 1962 වසරේදීයි. ඒ වගෙමයි 1982 වසරේත් 2000 වසරේත් එවැනි වෙනස් වීමක් සිද්ධ වුණා. සෑම දෙසැම්බර් මාසයකදීම, ග‍්‍රහයින්ගේ වෙනස් වීමක් සිදුවෙනවා. ඒක ස්වාභාවිකයි. එයින් පෘථිවියට අනතුරක් වන්නේ නැහැ.

ප‍්‍රශ්නය: දෙසැම්බර් 21 වැනිදා ග‍්‍රහකයක් පෘථිවිය සමඟ ගැටෙනවාද ?

පිළිතුර: කුඩා ග‍්‍රහක කැබැලි උල්කාපාත ලෙසින් නිරන්තරයෙන්ම පෘථිවි වායු ගෝලයට ඇතුළු වෙනවා. ඒවා වායු ගෝලයේදී අධික තාපය හේතුවෙන් ගිනි ගෙන දීප්තිමත්ව දැල්වෙනවා. පසුගිය දිනවලදී යෝධ ග‍්‍රහක දෙකක් පෘථිවිය අසළින් ගමන් කළා. පෘථිවිය අසළින් යැයි කීවත් ඒවා ගමන් කළේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන ගණනක් දුරින්. එම ග‍්‍රහක සමඟ කුඩා ග‍්‍රහක කැබැලි පෘථිවියට පතිත වුණා. පසුගිය 14 වැනිදාත් 15 වැනිදාත් උල්කාපාත වර්ෂාවක් අපට දකින්න ලැබුණා. මීට වසර මිලියන 65 කට පෙර අති දැවැන්ත ග‍්‍රහකයක් පෘථිවිය සමඟ ගැටුණා. ඩයිනසෝරයන්ගේ වඳ වී යෑමට හේතුවක් වුණේ එයයි. යළිත් එවැන්නක් සිදුවේවි. නමුත් ඒ දෙසැම්බර් 21 වැනිදා හෝ 23 වැනිදා හෝ නොවේ.

ප‍්‍රශ්නය: දෙසැම්බර් 21 වැනිදා සූර්ය කුණාටුයකින් බලපෑම් එල්ල වේවිද ?

පිළිතුර: සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය සිදුවන්නේ චක‍්‍රයකට අනුවයි. එම කි‍්‍රයාකාරීත්වය සෑම 11 වසරකටම වරක්ම වැඩිවෙනවා. එවැනි අවස්ථාවලදී සූර්යයාගේ ගිනිදැල් විහිදීම් හට ගන්නවා. එම ගිනිදැල් සමඟ විහිදෙන විකිරණ කුණාටු පෘථිවිය තරම් ඈතට විහිදෙනවා. මේ වසරේ සිට 2014 තෙක් එවැනි සූර්ය කුණාටු බහුලව සිදුවෙනවා. මේ වසරේ පමණක් මේ වන විට සූර්ය කුණාටු කිහිපයක් හටගත්තා. ඒවායින් පෘථිවි චන්ද්‍රිකාවලට බලපෑම් එල්ල වී සන්නිවේදන කටයුතුවලට අවස්ථා කිහිපයකදී බාධා එල්ල වුණා. ඒත් 2012 වසරේ ලෝකය විනාශ වීමට තරම් ගිනි දැල් විහිදීමක් හෝ සූර්ය කුණාටුවක් නිර්මාණය වීමක් හෝ සිදුවන බවක් දැනගන්න ලැබී නැහැ.

ප‍්‍රශ්නය: දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශය ගැන නාසා ආයතනයේ මතය කුමක්ද ?

පිළිතුර: විනාශයක් සිදුවෙනවා නම් ඒ බව කල්තියා දැන ගැනීමේ සාක්ෂි තියෙන්න ඕනෑ. අසුරු සැණින් පෘථිවිය විනාශ වී යන්නේ නැහැ. එසේ විනාශ වෙනවා යැයි විද්‍යාත්මක සාක්ෂි කිසිවක් ඇත්තේ නැහැ. චිත‍්‍රපටවල සහ පොත්පත්වල ලෝකය විනාශ වෙන බව පැවැසෙන ආකාරයේ අසාමාන්‍ය සිදුවීම් කිසිවක් ගැන නාසා ආයතනයට දැනගන්න ලැබී නැහැ.



Post a Comment

9 Comments

  1. මෙතරම් වටිනා ලිපියකට කමෙන්ට් නොවටන්නේ මන්දැයි මට හිතා ගන්නත් බෑ. ලෝක විනාශය වනවා කිව්වානම ඕනෑතරම් කමෙන්ට් බලන්න තිබුණා. මෙය ඉතාම කාලීන වටිනාකමක් තිබෙන ලිපියක්.

    ReplyDelete
  2. ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක්. නොදැන හිටපු ගොඩක් දේවල් දැන ගත්තා. ස්තූතියි...

    ReplyDelete
  3. දෙසැම්බර් 12ද..කෙසේවෙතත් වැදගත් ලිපියක්

    ReplyDelete
  4. බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්ෂුවක්‌ විය. මේ භික්ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්යකයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.

    එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්ෂු ව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්ෂු ව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.

    "ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?

    බුදුන් වහන්සේ කිසිවක්‌ නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක්‌ පසුබා සිටි භික්ෂු ව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක්‌ පසුබා සිටි භික්ෂුහව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.

    "රාත්‍රී කාලයේදී ඔබට පහදා දෙමි" යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹින. භික්ෂු න් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

    භික්ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ: "ඇවැත්නි• දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."

    එවිට බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ. "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්ය‍ කාලයයි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ.

    ------------------------------------------------------------------------------------
    සවෙනි සූර්යයාගේ පහළ වීමත් සමගින් මුළු මහත් පෘථිවි තලයද, මහාමේරු පර්වතයද හාත්පස පැතිර ගිය මහා දුමාරයකින් වැසී පවතී. සත්වෙනි හිරුගේ පහළ වීම සිදු වන විට ලෝකය සිය ගමන් මඟේ අවසන් කඩයිමට පැමිණ සිටී. දුම් පිට වෙමින් පැවති ලෝකය දැන් ගිනි ගෙන ඇවිලෙමින් පවතී. මහාමේරුවද දැවී සුනුවිසුනු වී යයි. මහමෙර ගින්නෙන් වැනසෙන කළ යොදුන් ගණන් ප්‍රමාණයට බිඳී වෙන් වෙන එහි පර්වත කැබලි අහසෙහිම දැවෙමින් සුනු විසුනු වී යන්නේය. පෘථිවිය, මහමෙර පමණක් නොව, යුගන්ධර පර්වතය ආදී කොට ඇති සත්කුළු පවුවද, චාතුම්මහාරාජිකය ඇතුළු සදිව්ය ලෝකද, බ්‍රහ්මපාරිසජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම යන බ්‍රහ්ම ලෝකද දැවී වැනසී යන්නේය. දෑඟීල්ලෙන් අසුකර ගන්නා තරම් අළු හෝ දැලි අඟුරු නැතිව ආභස්සර බඹ ලොව දක්වා ඒකකුහරව පැතිරෙන අන්ධකාරයක් යළිත් අන්තඃ කල්ප විස්සක් පමණ ගත වන තුරු පවතී.

    ----- සප්ත සූර්යෝද්ගමන සූත්‍රය ----------

    ------------------------------------------------------------------------------------------



    නාසා විද්යා ඥයන් මේ අනාවැකිය පවා පළ කරන්නේ විශ්වයේ ඈත කෙළවරක පිහිටා ඇති ග්‍රහලෝක දෙකක්, ප්‍රසාරණය වී මිය ගිය තරුවක ගිනි දැල්ලට හසු වී අඩක් විනාශ වී ඇති අයුරු දැක ගන්න ලැබීමෙන් පසුවයි. මේ නව ග්‍රහයින් දෙදෙනා මුලින්ම සොයා ගනු ලැබුවේ පරංි ශයේ තුලූස් සහ කැනඩාවේ මොන්ටිර පායෙල් විශ්ව විද්‍යාලවල තාරකා විද්‍යාඥයන් විසිනුයි. නාසා විද්‍යාඥයන් ඒ ගැන උනන්දුවීමට පටන් ගත්තේ ඉන්පසුවයි. විද්යාතඥයන්, බ්‍ර හස්පතී තරම් වූ එම ග්‍රහයන් දෙදෙනා පළමු වරට සොයා ගන්නා අවස්ථාවේදී ද ඒවා පිළිස්සී විනාශ වෙමින් තිබුණු බව පැවැසෙනවා.

    ඒ ග්‍රහයන් දෙදෙනාට අයත් මවු තාරකාව මෙන්, තවත් බිලියන පහකින් පමණ අපේ හිරු ද ‘රතු යෝධයකු’ බවට පත් වී, පෘථිවිය සහමුලින් ම වාෂ්ප කර හරිනු ඇතැයි විද්යාීඥයෝ පෙන්වා දෙනවා. මේ සියලූම විස්තර පළ වී තිබුණේ ‘නේචර්’ විද්යා සඟරාවෙයි. විද්යාරඥයන් විසින් අලූතින් සොයා ගත් එම ගරයලූහයන් දෙදෙනා වාෂ්ප නොවී ඉතිරි වී තිබෙන්නේ ඒවායේ ඇති විශාලත්වය නිසයි.

    Read more: http://www.malkakulu.com/2012/12/blog-post_20.html#ixzz2Fag82j5a

    ReplyDelete
  5. ඇත්තමයි අගනා මහන්සියක්...සුභපැතුම් ඔබට!

    ReplyDelete
  6. ඇත්තමයි අගනා මහන්සියක්...සුභපැතුම් ඔබට!

    ReplyDelete
  7. ඉතාම වටිනා ලිපියක්! යාන්තම් දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ... :D

    ReplyDelete
  8. සුදීක කමෙන්ටු නොවැටීම ගැන ප‍්‍රශ්න කළා. ඒත් වැඩිම කමෙන්ටු වැටිලා තියෙන්නෙ මේ පෝස්ටුවට තමයි. කමෙන්ටු නොවැටුණාට අපි දන්නවා ඔබේ දැනුම අවබෝධය වැඩි කර ගන්න මොනවද ලියන්න ඕනෑ දේ කියලා. ඒත් නිතරම අපව අගය කරන බුද්ධි වගේ අයත් අනිකුත් කමෙන්ටු ලියන දිශාන්, ෂදිශ්, රේෂාන් වගේ අයත් ලියන දෙයින් අපි ධෛර්යමත් වෙනවා. අපේ අවිවේකී ලේඛක දිවිය තුළින් සුළු කාලයක් මිඩංගු කර නොමිලේ කරන මේ සේවාව වඩාත් ඵලදායී වන්නට නම් අප නොදකින ඔබට අවශ්‍ය දේ අපට කොමෙන්ටු මගින් කියනවා නම් අපේ කාරිය වඩාත් පහසු වෙනා. මෙහිදී දිග කමෙන්ටුවක් එවූ ෂාරාඑක්සෙල්ට ඔබට හැමටත් අපේ ස්තුතිය පිරි නැමෙනවා. - පර්සි

    ReplyDelete