වෙළඳ ලෝකයේ විස්මිත සංකේතයේ නිමැවුම්කරු ජීවිතයෙන් සමුගනියි!

ඔහුගේ නම ඔබ නොදැන සිටියත් ඔහු දායාද කළ කේතය මෙය කියවන විටත් ඔබ අත පොවන මානයේ ඔබ දෙස බලා සිටිනවා වෙන්නට පුළුවන්. සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩයක් මිලදී ගත්තත් පොතක් මිලදී ගත්තත් ඔහු දායාදයෙන් ඔබට ගැළවෙන්නට බැහැ. ඒ තමයි, බාකෝඩය. එය ඔබට දායාද කළ ඔහු නෝමන් ජෝශප් වුඞ්ලන්ඞ්.

සුපිරි වෙළඳ සැලකින් බඩුවක් මිලදී ගන්නා හැම විට ම එහි සඳහන් මේ කේතය ස්කෑනරය දෙස හැරවීමෙන් ම බිල්පතක් මුද්‍රණය කර ඔබට ලැබෙන බව ඔබ කොතෙකුත් දැක ඇති. ඒ ඉරි කෑලි කීපයකින් හා පුංචි ඉලක්කම් කීපයෙන් එම බඩුවේ මිල, නම, වර්ගය, ගබඩාවේ ඇති ඒවායේ ප‍්‍රමාණය ආදී විවිධ තොරතුරු රැසක් දැන ගත හැකියි. කාලයත් ශ‍්‍රමයත් ඉතිරි කරන වෙළදාම පහසු කරන, මේ ක‍්‍රමය අපට ලැබුණේ බාකෝඩය නැමැති සකේතය හඳුන්වා දීමත් සමගයි.

ඒ බාකෝඩය වෙළඳ ලෝකයට හඳුන්වා දුන් එහි නිපැයුම්කරු ඇමරිකානු ජාතික නෝමන් ජෝශප් වුඞ්ලන්ඞ් ගිය සතියේ මිය ගියා. ඔහු මිය යන විට වයස අවුරුදු 91ක්. එය වෙළඳ පොළට හඳුන්වා දෙද්දී ඔහුට සම නිපැයුම්කරුවකු ලෙස තවත් අයෙක් එක් වුණා. ඊට හවුල් වූ අනෙක් නිපැයුම්කරුවා වූයේ බර්නාඞ් සිල්වර් ය. ඔහු මීට අවුරුදු 50කට පෙර එනම්, 1963 දී මිය ගියේය.

 
අයිබීඑම් ආයතනය විසින් නිපදවා ඇති වර්තමානයේ භාවිත වන චතුරස‍්‍රාකාර බාකෝඩය. විශ්ව නිෂ්පාදන කේතයක් ලෙස වර්ධනය වී අද ලොව පුරා භාවිත කෙරෙන දියුණු තාක්ෂණික සංකේතය.

නවීන පාරිභෝගික ලෝකයේ බඩු භාණ්ඩ නිෂ්පාදනයේ දී මෙන් ම අලෙවියේ දීත් නැතිවම බැරි උපාංගයක් ලෙස මේ බාකෝඩය හඳුන්වන්න පුළුවන්. අලෙවි කරන භාණ්ඩයට, ඇඳුමක්, පැලඳුමක්, සෙල්ලම් බඩුවක්, පොතක් පතක් ආදී ඕනෑම දෙයකට මේ නිෂ්පාදයෙන් පිටවෙන කොටම මේ බාකෝඩ ලේබලය යොදන්න පුළුවන්.

අද දිනකට කෝටි සංඛ්‍යාත වාර ගණනක් ස්කෑන් කෙරෙන මේ බාකෝඩය නෝමන් වුඞ්ලන්ඞ්ගේ සිතට ආවේ වැලි අතර ඇඟිලි යවමින් කල්පනාවේ යෙදී සිටියදීයි. මුලදී එහි හැඩය වක‍්‍රාකාර රේඛාවලින් යුක්ත වූ අතර පසුව එය දැන් පවතින ආකාරයට රේඛා දික් අතට විහිදුණු හැඩයකට පත් වුණා.

නෝමන් ජෝශප් වුඞ්ලන්ඞ් 91 හැවිරිදි වියේ මිය ගියේ ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳිමින් සිටියදියි. ඒ වන විට ඔහු ජීවත් වූයේ නිව් ජර්සියේ එජ් වෝටර්හී පිහිටි ඔහුගේ නිවසේයි. ඒ බව ලොවට හෙළි කළේ නිව් යෝක්හී පදිංචිව සිටින ඔහුගේ දියණිය වූ සුසාන් වුඞ්ලන්ඞ් විසිනුයි.

ඇගේ පියා ෆිලඩෙල්ෆියාවේ ඩෙ‍්‍රක්සෙල් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදී ඔහු සමග එකට ඉගෙන ගත් බර්නාඞ් සිල්වර් නම් මිතුරා ඔහු සිත්ගත් ආරංචියක් ගෙනැවිත් තිබෙනවා. ඒ එක් සුපිරි වෙළඳ සැල් විධායකයකු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ ප‍්‍රධානියාගෙන් කළ ඉල්ලීමක්. සුපිරි වෙළඳ සලේ අලෙවියට ඇති විවිධ භාණ්ඩවල තොග ගණන් ගැනීමටත් අලෙවියේදී භාණ්ඩ තෝරා බේරා හඳුනා ගෙන අලෙවිය පහසු කිරීමටත් යොදා ගත හැකි නව නිපැයුමක් බිහි කිරීමට ඉංජිනේරු ශිෂ්‍යයන්ගේ සහය ලබා දිය හැකිදැයි ඔහු විමසීමක් කළා. මෙය අසන්නට ලැබුණු විගස බර්නාඞ් කළේ මේ අදහස තම මිතුරා වූ නෝමන්ට ඒ ගැන පැවසීමයි.

නෝමන් ඒ වන විට ඉංජිනේරු ශිෂ්‍යයකු හැටියට දෙවැනි ලෝක යුද සමයේ පරමාණු බෝම්බය තැනූ මෑන්හැට්න් ව්‍යාපෘතියට සම්බන්ධව වැඩ කර අත්දැකීම් ඇතිව සිටියා. යුද සේවයෙන් පසු යළි විශ්ව විද්‍යාලයට ආ නෝමන් මූලික ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කර ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටියා. මේ නව අදහස කෙරෙහි සිත යොමු කළ ඔහු වැඩි දුර ඉගෙනීම අත හැර දැම්මා. ඔහු මියාමිවල සිය සීයා ළඟට ගොස් භාණ්ඩ හඳුනා ගත හැකි කේතයක් තැනීම කෙරෙහි සම්පූර්ණයෙන් ම සිත යෙදෙව්වා.

 
1952 දී හිමිකම් බලපත‍්‍රයක් ලබා ගැනීමට නෝමන් වුඞ්ලන්ඞ් ඉදිරිපත් කළ ඕනම අතකට කියවිය හැකි වනසේ වටකුරුවට සැකසූ බාකෝඩයේ සටහන. (දකුණේ) ඒ සටහන කියවීමට නිපදවන උපකරණයේ සටහන (වමේ)

ඔහු එතෙක් දැන සිට එකම කේතය ඔහු කුඩා කල බාලදක්ෂයකුව සිටියදී ඉගෙන මෝස් සංඥා ක‍්‍රමය විතරයි. මියාමි වෙරළේ හිඳිමිනුත් ඔහු කල්පනාවේ නිමග්නව සිටියේ අලූත් අදහස ගැනයි.

ඔහු මුහුදු වෙරළේ කල්පනා කරමින් සිටියදී නොදැනුවත්වම මෝස් සංඥවල එන තිත් හා ඉරි කීපයක් වැල්ලේ ඇඳුණා. ඇඟිලිවලින් ඉබේම ඇඳුණු ඉරිවලින් ඔහුට අලූත් අදහසක් ආවා. තිත් වෙනුවට කෙට්ටු මහත ඉරිවලින් කේතයක් තැනිය හැකි බව ඔහුට කල්පනා වුණා.

ඒ විවිධ ප‍්‍රමාණයේ ඉරි රටා වෙනස්කරමින් කේත විශාල ගණනක් සෑදිය හැකි බව ඔහුට අවබෝධ වුණා. හැම පැත්තකින් ම පෙනෙන ලෙසට ඉරි රටා රවුමකට පිහිටුවා ගත්තා. ඒ තමා මුල් ම බාකෝඩය.

වුඞ්ලන්ඞ් මේ අදහස යාළුවාට ද ඉදිරිපත් කර, දෙදෙනාම එකතු වී 1949 දී හිමිකම් පත‍්‍රයක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළා. 1952 දී හිමකම් බලපත‍්‍රයක් ලැබුණා. ඉන්පසු මේ යහළුවන් දෙදෙනා එකතුව ඩොලර් 15000කට එය ෆිල්කෝ නම් සමාගමකට වික්කා.

ඒ කාලේ දැන් වගේ බාකෝඩයක් කියවීමට ලේසර් තාක්ෂණය තිබුණේ නෑ. මේ අදහස වැඩි දියුණු කිරීමට සිතා වුඞ්ලන්ඞ් 1951 දී අයිබීඑම් සමාගමට බැඳුණා. ඔහුගේ එකම අරමුණ වුණේ බාකෝඩය වැඩි දියුණු කිරීමයි. ඔහුට අවශ්‍ය විදියට තාක්ෂණය දියුණු වීමට තවත් වසර 20ක් විතර ගත වුණා. ඔහු එතෙක් ඉවසා සිටියා. 1963 බර්නාඞ් සිල්වර් මියගියා.

 
වෙළඳ සැල්වල භාවිත කරන අයිබීඑම් නිපදවූ නවීනතම ලේසර් ස්කෑනරය. (දකුණේ) දැන් බාකෝඩය විශ්ව සංකේතයක් බවට පත් වී තියෙනවා. එය පච්චයක් ලෙස යෙදා ඇති අයුරු (වමේ)

 
දැන් බාකෝඩය තවත් අලූත්වෙමින් එසණ ප‍්‍රතිචාර කේතයත් හෙවත් කිව්ආර් කෝඩයක් ලෙස ජපානය විසින් නව නිපැයුමක් තනා තියෙනවා. එය ජංගම දුරකථනය මගින් හඳුනා ගන්නත් පුළුවන්.

නෝමන්ගේ සංවර්ධනය කළ විශ්ව නිෂ්පාදන කේතයක් ලෙස යෙදූ නව බාකෝඩය ඇතුළත් කොට වෙළඳ පොළට ආ මුල්ම භාණ්ඩය ඔහියෝ ජනපදයේ ට්‍රෝයි සුපිරි වෙළඳසලේ අළෙවි කළ රිග්ලිස් චුවින්ගම්ය. ඒ 1974 දීයි. අද ලොව පුරා බිලියන පහක් භාණ්ඩ සඳහා මේ බාකෝඩ යොදා ගැනෙයි.

නව නිපැයුම් සම්බන්ධයෙන් 1992 ධවල මන්දිරයේ දී ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් අතින් නොමන් වුඞ්ලන්ඞ් සුවිශේෂ සම්මානයකින් පුදනු ලැබුවා. ඔහු සමග අනෙක් සම්මානලත් නිර්මාණකරුවා මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගෙට්ස්ය.




Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. හොද විස්තරයක් ..නොදන්නා විශිෂ්ටයෙක් පිළිබඳව දැනගත්තා.

    ReplyDelete