HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇඟිලි සලකුණු ඉතිහාසයේ මෙතෙක් නොවූ රහසක් හෙළිවෙයි! 1840 ලියූ ලිපියක් එංගලන්තයේ දී වෙන්දේසි වෙයි!

ගැමි ශල්‍ය වෛද්‍යවරයෙක් පොලිසියේ බලධාරින්ට ලිපියක් ලිව්වා, මිනීමරුවන් අල්ලන්න ඇඟිලි සලකුණු යොදා ගත හැකි ආකාරය පෙන්වා දෙමින්. ඒ කාලේ එංගලන්තය දෙදරුම් කැවූ කාන්තා මිනීමැරුම් වැලක් සිදු වුණා. එහි මිනීමරුවා ‘ජැක් ද රිපර්’ නමින් හැඳින් වුණා. ඔහු පහසුවෙන් අල්ලා ගන්නට ඒ ලිපියෙන් කියා දුන් ක‍්‍රමය එදා පොලිසියට යොදා ගන්න තිබුණා. ඒත් එය සිදු වුණේ නැහැ. ඒ ඓතිහාසික ලිපිය මේ සතියේ එංගලන්තයේ දී වෙන්දේසි වීමට නියමිතයි.

එදා ඒ ලිපිය ලියා තවත් වසර 50කට පසුවයි, ඇඟිලි සලකුණු අධිකරණ කටයුතු සඳහා හඳුනා ගැනීමට යොදා ගනු ලැබුවේ.

1840 දී ලියූ පිටු තුනකින් යුත් ඒ ලිපිය ලන්ඩනයේ සූත්බීස් (Sothebys) හිදී මේ සතියේ දී වෙන්දේසි වීමට නියමිතයි.

 
‘ජැක් ද රිපර්’ මිනීමරුවාට ගොදුරු වූ කාන්තාවක් හා පරීක්ෂණයට ආ පොලිස් නිලධාරින් දැක්වෙන එකල පත‍්‍රයක පළ වූ චිත‍්‍රයක්.

එදා ශල්‍ය වෛද්‍යවරයාගේ ලිපිය ලියා තිබුණේ 1840 මැයි 6 වැනිදා සිදු වූ කුරිරු ඝාතනයක් කෙරෙහි අවධානය යොමු කරමිනුයි. ඒ එකල ප‍්‍රකට දේශපාලනඥයකු වූ 73 හැවිරිදි විලියම් රසල් සාමිවරයාගේ මරණය සම්බන්ධයෙනුයි. මධ්‍යම ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් නගරයේ මේෆෙයාර්හි පිහිටි ඔහුගේ නාගරික මැඳුර තුළ රසල් සාමිවරයා ගෙල කපා මරා දමා තිබුණා.

දින 10කට පස්සේ, ගි‍්‍රම්ස්ටෝන්හි නෝර්ෆෝක් ගම්මානයේ විසූ ශල්‍ය වෛද්‍ය රොබට් බ්ලේක් ඔවර්ටර්න් ඒ මරණකරුගේ බෑණා වූ ජෝන් රසල් සාමිවරයාට (ඔහු පසුව එංගලන්තයේ අගමැතිවරයා බවටද පත් වුණා) ලිපියක් එව්වා, එංගලන්ත රහස් පොලිසිය වූ ස්කොට්ලන්ඞ් යාඞ් වෙත යවන ලෙස ඉල්ලමින්.

 
ශල්‍ය වෛද්‍ය රොබට් බ්ලේක් ඕවර්ටන්ගේ ලිපිය - එහි ඇඟිලි සලකුණු පවා නිදසුන් වශයෙන් දක්වා තිබුණා.

ඒ ලිපියෙහි මෙසේ සඳහන් වුණා: ”අපරාධය සිදු වූ තැන තිබිය හැකි ලේ තැවරුණු ඇඟිලි සලකුණු ඉතා වැදගත්. වැඩි දෙනෙක් දන්නේ නෑ සෑම පුද්ගලයකුගේම ඇඟිලිවල සම මත වැටී ඇති ඉරි ඒ පුද්ගලයාට ම සුවිශේෂ බව.....”

ඒ ලිපිය මගින් ඔහු දැඩි ලෙස රෙකමදාරු කළා, අපරාධය පිළිබඳ සැක කරන අයගේ ඇඟිලි සලකුණු ලබා ගෙන ඒවා අපරාධය වූ තැන ඇති ඇඳ ඇතිරිලි, කොට්ටා උර ආදියෙහි ඇති ලේ තැවරුණු ඇඟිලි සලකුණු සමග සැසඳීමෙහි ඇති වැදගත්කම ගැන.

ඕවර්ටන් පැහැදිලි කර දුන්නා, ”ඇඟිලිවලින් තබන සලකුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ නිසා ඒවායේ හැඩයන් වෙනස් වෙනවා.”

වෛද්‍යවරයා ඒ කරුණු සනාථ කිරීමට නිදර්ශන ඇඟිලි සලකුණු පවා ලිපියෙහි යොදා තිබුණා.

මේ ලිපිය ඇතුළු අපරාධ පරීක්ෂණවලට අදාළ ඉපැරණි ලේඛනවල මුල් පිටපත් 700ක් පමණ මෙවර පැවැත් වෙන වෙන්දේසියට තැබීමට නියමිතයි. ඒවා මෙතෙක් පැවතියේ බි‍්‍රතාන්‍ය නීති සංගමය සතුවයි. මේ වෙන්දේසියෙන් පවුම් 6,000ක් පමණ ආදායමක් ඔවුන් අපේක්ෂා කරනවා.

මෙම ලිපි ලේඛන වෙන්දේසි කරන සූත්බීස් ආයතනයේ අත්පිටපත් විශේෂඥ ආචාර්ය ගේබි‍්‍රයල් හීටන් මේ පිළිබඳව ලන්ඩනයේ ‘ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පතට මෙහෙම කියල තියෙනවා: ”මේ යෝජනාව එදා පිළිගත්තා නම් වික්ටෝරියානු යුගයේ මුළු අපරාධ ඉතිහාසය ම වෙනස් වෙන්න ඉඩ තිබුණා. ෂර්ලොක් හෝම්ස්ගේ කතාවල අබිරහස් විසඳීමේ කි‍්‍රයාවලිය පමණක් නොවෙයි, ‘ජැක් ද රිපර්’ ආදියත් මුළුමනින්ම වෙනස් මුහුණුවරක් ගන්නට ඉඩ තිබුණා.

”ඒ විතරක් නෙවෙයි, ඒ අප‍්‍රකට ගම්මානයේ ශල්‍ය වෛද්‍යවරයා යෝජනා කළ පරිදි අපරාධ විසඳීමට ඇඟිලි සලකුණු භාවිතය වසර 50කට කලින් එන්නට ඉඩ තිබුණා.” හීටන් කියනවා.

බි‍්‍රතාන්‍ය ජාතික විලියම් හර්ෂෙල් කියන නිලධාරියා තමයි, ඊට වසර 10කට පසු මුල්වරට රජයේ කොන්තරාත් සඳහා කම්කරුවන් බඳවා ගැනීමේදී හඳුනා ගැනීමේ ක‍්‍රමයක් ලෙස ඇඟිලි සලකුණු භාවිත කරන්න පටන් ගත්තේ. ඒත් අපරාධ සඳහා ඇඟිලි සලකුණු යොදා ගැනීම තවත් වසර 40කින් පමා වුණා. ඒ 1890 ගණන්වල දී. ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස්ගේ කතාවලට ඇඟිලි යොදා ගත්තේ 1903දියි.

 
වයිට්චැපල්හී කාන්තාවන් පෙළක් ඝාතනය කළ ‘ජැක් ද රිපර්’ගේ පුවත්පතක පළ වූ චිත‍්‍රයක්. ඒ සමග ඇඟිලි සලකුණක සැසඳිය යුතු කොටසකට නිදසුනක්.

ආචාර්ය ගේබි‍්‍රයල් හීටන් කියන විධියට මේ ලිපිය ගැන වැඩි අවධානයක් යොමු කළා නම් එදා ‘ජැක් ද රිපර්’ මිනීමරුවා අල්ලා ගන්න ඉඩ තිබුණා විතරක් නොවෙයි, වෛද්‍ය ඕවර්ටන්ගේ නමත් අධිකරණ වෛද්‍ය ඉතිහාසයට එක් වන්නට ඉඩ තිබුණා.

ඒත් එදා රසල් සාමිගේ මරණයට මේ ඇඟිලි සලකුණු සාක්ෂි වශයෙන් යොදා ගන්නට උත්සාහයක් ගත්තද හරි ගියේ නෑ. එදා ස්කොට්ලන්ඞ් යාඞ් රහස් පරීක්ෂකයන් ඕවර්ටන්ගේ යෝජනාව ගැන සලකා බැලූ බවට සටහනක් මේ ලිපිය පසුපස යොදා තියෙනවා. ‘මෙහිදී අපට සැක කටයුතු ඇඟිලි සලකුණු කිසිවක් හමුවුණේ නැහැ. එහි තිබූ ඇඟිලි සලකුණු සියල්ල මියගිය තැනැත්තාගේ තුවාලය පරීක්ෂා කළ ශල්‍ය වෛද්‍යවරුන්ගේ ඒවායි.’ කියා එහි සඳහන් වෙනවා.

ඒත් මරණයට වගකිවයුතු අපරාධකරු ස්කොට්ලන්ඞ් යාඞ් රහස් පරීක්ෂකයන් අල්ලා ගෙන තිබුණා. ඔහු රසල් සාමිවරයාගේ සේවයට ඒ නිවසේ සිටි ප‍්‍රංශ ජාතික මෙහෙකරු ප‍්‍රංශුවා බෙන්ජමින් කූවොයිසියේ බවට හඳුනා ගත්තා. ඔහු පසුව ඒ පිළිබඳ පාපොච්චාරණයක් ද කළා. ඔහු වරදකරු කොට මරණයට පත් කරනු බලන්න දහස් ජනතාව එක් රැුස්වුණු බව සඳහන් වෙනවා.

Post a Comment

0 Comments