HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රජ සබේදී - වටිනකම්ද? දුර්වලකම්ද? : නස්රුදින්ගේ තවත් කතාවක්

පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ කතා පොත් පෙළේ පළමු කොටසේ අලූත්ම මුද්‍රණයක් සීමාසහිත ඇම්. ඞී. ගුණසේන සමාගමෙන් පසුගියදා නිකුත් වුණා. ඒකෙන් එක කතාවක් ඔබේ ආස්වාදය සඳහා ඉදිරිපත් කරන්න මං කල්පනා කළා.


රජ සබේදී - වටිනකම්ද? දුර්වලකම්ද?

නස්රුදින් වරක් රජ සභාවට ආවෙ ලස්සනට වැඩ දාපු තලප්පාවක් පැලඳ ගෙනයි. එහෙම ආවේ රජතුමා ඒක දැක්ක ගමන් ඊට ආසා හිතිලා අගේ කළාම, ඒක රජතුමාට සෑහෙන ගානකට විකුණ ගන්න පුළුවන් වෙයි කියලා හිතා ගෙනයි.

හිතුව වගේම රජතුමාත් තලප්පාව දැක්ක ගමන් ඇහුව: ”නස්රුදින්, මේ හැබෑ ලස්සන තලප්පාවට තමා කොච්චර ගෙව්වද?” කියලා.

”දේවයන් වහන්ස, මේකට මං මසුරන් දාහක් ගෙව්වා” නස්රුදින් කිව්වා.

රාජ පුරෝහිතයට වහාම තේරුණා නස්රුදින් කරන්න යන දේ. තේරිලා රජතුමාගෙ කනට කරලා මෙහෙම කිව්ව: ”ඔය තරම් ගාණක් තලප්පාවකට වියදම් කරන්නේ මෝඩයෙක් විතරයි.” එහෙම කිව්වෙ රජතුමා ඒක මිල දී ගැනීම වළක්වන්නයි.

ඒක අහපු රජතුමා අනික් පැත්තට හැරිලා ඇහුවා නස්රුදින්ගෙන්, ”ඇයි, තමා එච්චර ගාණක් ගෙව්වෙ? මං කවදාවත් අහල නෑ, මසුරන් දාහක් වටින තලප්පාවක් ගැන.”

”දේවයන් වහන්ස, මං එච්චර ගාණක් ඒකට ගෙව්වෙ මේ වගේ දෙයක් මිල දී ගන්න පුළුවන්කම ඇත්තේ මේ මුළු ලෝකෙන්ම එකම එක රජ කෙනෙකුට විතරක් බව දන්න හින්දයි.” නස්රුදින් පිළිතුරු වශයෙන් කිව්වා.
ඒ වර්ණනාව ගැන සතුටට පත් රජතුමා නස්රුදින්ට මසුරන් දාහක් දෙන්න නියම කරලා ඒ තලප්පාව ගත්තා.
නස්රුදින් පස්සෙ ඉඩ ලැබුණු වෙලාවක පුරෝහිතයගෙ කනට කරල මෙහෙම කිව්වා: ”තමුසෙ දන්නවා ඇති තලප්පාවල වටිනාකම් ගැන. ඒත් මං දන්නවා රජවරුන්ගෙ තියෙන දුර්වලකම් ගැන.”

(නස්රුදින් 1 හා 2 නවතම මුද්‍රණ සීමාසහිත ඇම්. ඞී. ගුණසේන වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකියි.)

Post a Comment

2 Comments